ආදරණීය දුවේ පුතේ, අද දවසේ අපි 1818 උඩරට මහා කැරැල්ලේ නායකත්වය ගත් සෙන්පතියා වශයෙන් සැලකෙන මොණරවිල කැප්පෙටිපොළදිසාවේගේ මාතලේ පිහිටි හුලංගමුව වලව්ව පිළිබඳ තොරතුරු සොයා බලමු.
මාතලේ දිශාව වශයෙන් රාජකාරී කටයුතු කිරීමේදී කැප්පෙටිපොළ දිසාවේ මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොනරවිල ග්‍රාමයේ ජීවත් වී ඇත. උඩරට මහ කැරැල්ල ග්‍රන්ථයේ සඳහන් වන පරිදි ඔහුගේ එම වලව්ව මුල් කාලයේදී ඉංග්‍රීසින් විසින් රාජසන්තකකර තිබී ඇති අතර, පසු කාලීනව ඉංග්‍රීසි පාලකයන් විසින් එහි තිබූ බොහෝ දේපළ විනාශකර තිබේ. අද වන විට මෙම පුරාණ වලව්වේ ගල් කණු කිහිපයක් පමණක් ඉතිරිව ඇත.
කැප්පෙටිපොළ මහ වලව්ව ඉදිකර ඇත්තේ කැප්පෙටිපොළ දිසාව මාතලේ දිසාව භාරව රාජකාරි කරන අතරතුරදී ය. පසුව ඔහු මාතලේ හුලංගමුව ගමේ ද වලව්වක් ඉදිකර ඇති අතර, අදටත් එය අපට දැක ගත හැකි ය. ඒ අනුව මොණරවිල කැප්පෙටිපොළ මහා දිසාවේ, ඌවේ දිසාව පදවිය දැරූ අවසාන කාලයේ ජීවත් වී ඇත්තේ මෙම වලව්වේ ය. මෙම හුලංගමුව වලව්ව විශාල දෙමහල් ගොඩනැඟිල්ලකි. පසුකාලීනව මොණරවිල කැප්පෙටිපොළ පරම්පරාවට අයත් මුතු බණ්ඩා මොණරවිල කැප්පෙටිපොළ මෙම වලව්වේ ජීවත් වී ඇති අතර, ඔහු විසින් මෙම වලව්ව නඩු ඇසීම සඳහා භාවිතකර තිබේ. එයින් අනතුරුව ඔහු විසින් සිය පුතාගේ විවාහ කටයුතු සඳහා මෙම වලව්ව අලුත් වැඩියාකර ඇත. එයට පසුවත් මෙම වලව්ව විටින් විට කිහිප අවස්ථාවකදී ප්‍රතිසංස්කරණයකර තිබේ.
දැනට අවුරුදු දෙසීයකට පමණ ඉහතදීකර වූ මෙම ගොඩනැඟිල්ල කාමර දහසයකින් යුක්ත වේ. උඩරට ගෘහ නිර්මාණ කලාවට මෙහි නිර්මාණ බොහොමයක් නෑකම් කියයි. මෙම ගොඩනැඟිල්ල උසින් අඩි 30ක් ද දිගින් අඩි 40ක් හා පළලින් අඩි 25ක් ද වන ලෙස නිර්මාණයකර තිබේ. එහි බිත්ති මැටි බදාමවලින් තනා හුණුවලින් කපරාරුකර ඇති අතර, ඝනකම අඟල් 16කි. වහලේ බාල්ක සහ රීප්පවලටත් දොර ජනෙල් ඉදිකිරීම සඳහාත් යොදාගෙන ඇත්තේ වටිනා දැව වන අතර, ඉදිරිපස පිවිසුම ආරුක්කු හැඩයෙන් ප්‍රධාන දොරටු දෙකක් සහිතව තනා තිබේ. මැද්දෙන් විසිත්ත කාමරයට පිවිසීම සඳහා දැවයෙන් නිමකළ පියන් දෙකක් සහිත දොරටු දෙකකි. එහි ඉදිරිපස තවත් කොටසක ඕලන්ද සම්ප්‍රදායට අයත් වන ආකාරයට නිර්මාණයකර ඇති රවුම් කුලුනු සහිත බරාඳයක් දැක ගත හැකි ය.
මෙහි විසිත්ත කාමරයේ දිග අඩි හතළිහක් හා පළල අඩි 15ක් වේ. එහි මැදින් අලංකාර ලෙස තැනූ බිත්ති ආරුක්කුවකි. එහි ඇති කෑම කාමරයට දොරටු දෙකකින් පිවිසිය හැකි ය. එය විසිත්ත කාමරය තරම් විශාලව තනා තිබේ. පහත මහලේ පියස අලංකාර ලෙස තනා ඇති අතර, මැද මිදුලක් ද සහිතව නිර්මාණයකර තිබේ.
හුලංගමුව වලව්වේ උඩුමහල සඳලුතල දෙකකින් සමන්විත ය. එහි උඩුමහලේ සොල්දරයක් ද දැකිය හැකි ය. එහි එක සඳලුතලයක ආරක්ෂිත වැට ලීවලින් නිර්මාණයකර තිබේ. ප්‍රධාන ගොඩනැඟිල්ල දෙපසින් හා පිටුපසින් ඉහළ මාලයට පිවිසීම සඳහා ඉදිකරන ලද පියගැට පෙළ දෙකකි. ඒවා ද අලංකාරව නිර්මාණයකර ඇත. මෙහි පියස්ස සිව්රැස් ආකාරයේ වහලකින් යුක්ත අතර, එයට සෙවිලිකර ඇත්තේ සිංහල උළු ය. වර්තමානය වන විට මෙම ඓතිහාසික වලව්ව ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින අතර, එය විධිමත් ආකාරයට සංරක්ෂණය කළ යුතු බව බොහෝ විද්වතුන්ගේ මතයයි.
ලක්නා නිරෝෂිමාලා