Home » Blog » අලංකාර පරිසරයකින් යුතු පැටගෝනියානු තෘණභූමිය

අලංකාර පරිසරයකින් යුතු පැටගෝනියානු තෘණභූමිය

by thanushika
0 comments

පැටගෝනියානු තණබිම ආර්ජන්ටිනාවේ පිහිටි අලංකාර පරිසර කලාපයකි. මෙහි අර්ධ ශුෂ්ක තෘණ සහ පඳුරු සහිත ශාක දක්නට ලැබේ. මෙම තණබිම ආර්ජන්ටිනාවේ නැඟෙනහිර ටියෙරා ඩෙල් ෆියුගෝ ඔස්සේ විහිදී ඇත. උසස් තත්ත්වයේ මෙරිනෝ ලොම් සපයන බැටළුවෝ මෙහි තණ බුදිති. මේ නිසාම මේ තෘණභූමියට හානි පැමිණෙන අවස්ථා තිබේ. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට පැටගෝනියානු තණබිම පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

පැටගෝනියාව සෑදී තිබෙන්නේ මෙසෝසොයික් සහ තෘතීයික යුගවල ගිනිකඳු තැන්පතු සමඟ මිශ්‍ර වූ අවසාදිත පස්වලිනි. කොලරාඩෝ, නීග්‍රෝ, චුබුට්, චිකෝ, සැන්ටා කෲස් සහ කොයිල් වැනි ගංගා මෙම තෘණ භූමියට යාබදව පිහිටා තිබේ. මෙම ගංගාවල රොන්මඩ මෙහි නිම්නවලට එකතු වෙයි. මේ එකතුවන රොන්මඩ ශාකවලට හොඳ පොහොර වේ. මේ නිම්නවල සෑදෙන පැළෑටි වර්ග විවිධ ය. තෘණ භූමිය සීමාවේ මේ නිම්න ඇති නිසාම තෘණ හොඳීන් වැවීමට ද මේ පොහොර පිටිවහලක් වෙයි. මේ අසලින් ගොවිපොළ කිහිපයක් ද පිහිටා තිබේ.

සෑම ගොවිපළකම, හෙක්ටයාර 5000ක වැටක් සහිත කුඹුරු තුනක් හෝ හතරක් ඇත. බොහෝ සත්තු විශාල ප්‍රදේශවල නිදහසේ තෘණ ආහාරයට ගනිති. වරින් වර පැමිණෙන ශීත ඍතු සතුන්ට මෙන්ම ශාකවලට ද බාධවක් වෙයි. බැටළුවන්ට පානීය ජලය ලැබෙන්නේ උල්පත්, කළපු, ගංගා, පොකුණු සහ සුළං මෝල්වලින් පොම්ප කරන ලද භූගත ජලයෙනි. අවට ඇති වනාන්තරවල ඊට ආවේණික ජීවීහු ජීවත් වෙති. මෙහි ඇති මොන්ටේ කලාපයේ බහුලව වාසය කරන්නේ බැටළුවන් ය.

කෘෂිකාර්මික කලාපයක් ලෙස වෙන් වූ මේ කලාපයේ ඇතැම් ස්ථානවල ගවයෝ ද වාසය කරති.

ශීත කාලයට දර්ශනීය විල් සහ කඳු හිමවලින් වැසී යයි. විලක් තිබෙනවා ද යැයි සොයාගන්නටවත් බැරි තරම් ය. දරාගන්නට බැරි සීතල නිසාම සත්තු ප්‍රදේශය හැර යති. පැටගෝනියාවටම ආවේණික කහපාට ෆින්ච් කුරුල්ලා මෙහිම කාලය ගත කරයි. ඒ හැරුණු විට මේ සීතල දරා ගැනීමට සමත් විවිධ පාත්ත වර්ග මෙහි ජීවත් වෙති. සීතල කාලය අවසන් වීමත් සමඟ නැවත සත්තු තමන් කැමැති ප්‍රදේශයට පැමිණෙති. සීත කාලය අවසන් වීමත් සමඟ වෘක්ෂලතාවලට සිදුවී ඇති හානිය හොඳීන්ම පෙනෙයි. නැවතත් කොළ හැළී ගිය ගස්වල දලු දැමීමට පටන් ගනියි. මේ කාලය නැවත පැමිණෙන සතුන්ට පීඩාවකි. එහෙත් ඔවුහු මේ ප්‍රදේශයේ අමාරුවෙන් හෝ කාලය ගත කිරීමට උත්සාහ කරති. ආවේණික පක්ෂීන් වුවද මේ කාලයේදී මියයනු දක්නට ලැබේ. සීත ඍතුව නිසා තෘණ වැවීම ප්‍රමාද වී තිබූ පැටගෝනියානු තෘණභූමියෙහි නැවත තෘණ වර්ධනය වීමට පටන් ගන්නේ මේ කාලයේදී ය. නැවතත් පැටගෝනියාවට වසන්තය උදා වෙයි. තද හිරු එළිය නිසා පැටගෝනියා තෘණ භූමියෙහි සත්තු එහා මෙහා ඇවිදිමින් තෘණ කෑමට පටන් ගනිති. මෙහිදී බැටළුවෝ විශේෂ වෙති.

චතුරි ලක්ෂිකා

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department