Home » Blog » ලෝක හිම මිනිසාගේ දිනය

ලෝක හිම මිනිසාගේ දිනය

by thanushika
0 comments

දුවලා පුතාලා ප්‍රිය කරන අපූරු දිනයක් මේ මාසයට යෙදී තිබේ. ඒ තමයි සෑම වසරකම ජනවාරි 18 වැනිදාට සමරනු ලබන ලෝක හිම මිනිසාගේ දිනය! හිම මිනිසාගේ හැඩය අටේ ඉලක්කමට සමාන වන අතර, අංක එක ඔහුගේ සැරයටිය නියෝජනය කරන නිසා, මෙම ශීත සංකේතයට ගරු කිරීම සඳහා අංක 18 තෝරා ගෙන තිබේ. ජනවාරි සාමාන්‍යයෙන් හිම මිනිසුන් සෑදීමට තරම් අධික හිමපතනයක් සහ අධික සීතලක් පවතින අතර, එනිසා හිම මිනිසා සාදා එම දිනය සැමරීමට සුදුසුම කාලය මෙය වේ. බොබ් එක්ස්ටයින් නමැත්තා විසින් හිම මිනිසාගේ ඉතිහාසය පිළිබඳ පොතක් ද රචනාකර තිබේ. ලෝක හිම මිනිසාගේ දිනය මුලින්ම පැවැත්වුණේ 2011 වසරේදී ය.

විනෝදාංශයට විවිධ දේ එකතු කරන්නකු වූ ජර්මනියේ Cornelius Grötz විසින් මෙම අදහස ඉදිරිපත් කරන ලදි. ඔහු තරුණ වියේදී හිම මිනිසාගේ පින්තූර එකතු කිරීමට පටන් ගත් අතර, 2008 දී ඔහු, මෙම එකතුව සමඟ ගිනස් වාර්තා පොතට ඇතුළත් විය. එහි තුන්දහසකට වඩා හිම මිනිසුන්ගේ පින්තූර තිබිණි. ඉන්පසු Cornelius හිම මිනිසාගේ දිනය සැමරීමට යෝජනා කළේ ය. කොර්නේලියස් මෙසේ සිතුවේ ය. පළමුව, ජනවාරි මැද භාගයේදී බොහෝ රටවල හිම පවතියි. දෙවනුව, අංක 18 හිම මිනිසකු අතේ කොස්සක් අල්ලාගෙන සිටින බවක් පෙන්නුම් කරයි. තෙවනුව, ඒ වන විට හිම මිනිසා වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් නොතිබිණි.

හිම මිනිසා යනු මානවරූපී හිම මූර්තියකි. සමහර අවස්ථාවලදී, ශීත ඍතු උත්සවවලට සහභාගිවන්නන් හිම මිනිසුන් විශාල සංඛ්‍යාවක් ගොඩනඟනු දැක ගත හැකි ය. උතුරු අමෙරිකාවේ, සාමාන්‍ය හිම මිනිසුන් විශාල හිමබෝල තුනකින් සමන්විත වන අතර, මුහුණ සහ අනෙකුත් අංග සඳහා අමතර උපාංග කිහිපයක් ද ඇත. හිම මිනිසාගේ අත් සඳහා ගස්වල අතු රිකිලි යොදාගනී. ඇස් සඳහා කළු පැහැති බොත්තම් හෝ කුඩා ගල් කැට යොදා ගන්නා අතර, කුඩා ගල් කැටවලින් මුව සකසයි. කැරට් අලයකින් නාසයක් සාදයි. තොප්පියක් හෝ ස්කාෆ් වැනි මිනිස් ඇඳුම් පවා හිම මිනිසාගේ ඇඳුම් පැලඳුම්වලට යොදාගනී. හිම මිනිසුන් අධික හිම වැටෙන කාලවලදී වියදම් අඩුවෙන් පහසුවෙන් සකසා ගත හැකි වේ. සාමාන්‍යයෙන් සීතල හෝ තෙත් පරිසරයක හිම මිනිසා සකසා තබන නිසා ටික කාලයක් දිය නොවී තබා ගත හැකි වේ. ඉන්පසු ක්‍රමයෙන් දියවීම බොහෝ හිම මිනිසුන්ගේ ජීවිතයේ අවසාන අවස්ථාවකි. නත්තල් සහ ශීත ඍතුවේ සැරසිලි සඳහා මෙන්ම ළමයින් අතර ද හිම මිනිසුන් ජනප්‍රිය තේමාවකි.

නත්තල් සීයාට අමතරව ප්‍රධාන ශීත වීරයා වන්නේ හිම මිනිසා ය. දරුවන්ගේ ප්‍රියතම අංගයක් වන හිම මිනිසා නොමැතිව ඇති ශීත ඍතුවකින් ඇති පලය කුමක්ද? එබැවින් හිම මිනිසාගේ දිනය ජනවාරි 18 සමරමින් හිම මිනිසාට ද ගෞරවයක් ලබා දෙයි.

හිම ගෝල තුනකින් සහ කැරට් නාසයකින් සමන්විත සම්භාව්‍ය හිම මිනිසා 19 වැනි සියවස අවසානයේ පළමුවරට නිර්මාණය වී තිබේ. 19 වැනි ශතවර්ෂයේදී, හිම මිනිසුන් නත්තල් සහ අලුත් අවුරුදු සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට පත් විය. ප්‍රීතිමත් දරුවන් වටකරගත් හුරුබුහුටි, සිනහවෙන් සිටින හිම මිනිසකුගේ රූපය ඇතුළත් සුබපැතුම් පත් ද ඉක්මනින් ජනප්‍රිය විය.

විශාල සහ උසම හිම මිනිසුන්ගේ මූර්ති නිර්මාණය කිරීමෙන් විවිධ රටවල ලෝක වාර්තා ද පිහිටුවා ඇත.

හිම මිනිසාගේ චරිතය ඇතුළත් සුරංගනා කතා සහ ළමා කතා ද වරින් වර නිර්මාණය වී තිබේ. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ ‘ද ස්නෝව් මෑන්’ සුරංගනා කතාව එයට එක් උදාහරණයකි. හිම මිනිසාගේ චරිතය ඇතුළත් ළමා චිත්‍රපට ද කාටූන් චිත්‍රපට ද නිර්මාණය වී තිබේ.

හර්ෂණී ගමගේ

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department