Home » Blog » මගේ ටෙඩී ගැන මම කියන්නම්

මගේ ටෙඩී ගැන මම කියන්නම්

by thanushika
0 comments

ටෙඩී බෙයාර් කියන්නේ කවුද කියලා ඇහුවොත් නොදන්නා කෙනකු නැති තරම්. ඒ තරමටම ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය සෙල්ලම් සුරතලකු තමයි ටෙඩී බෙයාර් කියන්නේ. මේ ටෙඩී බෙයාර් ඉපදුණු හැටි ඔයාලා දන්නවාද? ඒක රසවත් කතාවක්. ඉතින් ඔන්න මේ කතාව අහන්නකෝ. මේ කතාව හරිම ලස්සනයි. අද ඔයාලාට ලස්සන පාට පාට ටෙඩීලා ඇති. ලොකු පොඩි ටෙඩීලා ගොඩක් දෙනා වෙළෙඳපොළේ ඉන්නවානේ. ඒ අය එක එක විදිහයි. පුංචි ළමයි ඒ අයට ගොඩක් ආදරෙයි. මමත් මගේ ටෙඩීට ගොඩක් ආදරෙයි. මම හිතනවා ඔයාලාත් එහෙම වෙන්න ඇති කියලා. ඒකයි මේ කතාව කියන්න හිතුණේ. මේ කතාව ටෙඩීලාට ආදරය කරන හැමෝටම වැදගත් වේවි.

1901දී අමෙරිකා එක්සත් ජනපදයේ 26 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන්නේ ටෙඩී රූස්වෙල්ට් හෙවත් තියඩෝර් රූස්වෙල්ට් මහතායි. 1902 වසරේ අවසන් භාගයේදී දඩයම් කිරීමේ චාරිකාවකට එක්වෙන ලෙස එතුමාට ආරාධනාවක් ලැබුණා. මේ ආරාධනාව ලැබුණේ මිසිසිපි ඇන්ඩෘ ලොන් ගිනෝ කියන ආණ්ඩුකාරයාගෙන්. ඒ කාලේ මිනිසුන් මේ දඩයම් චාරිකාව හැඳීන්වූයේ රාජකීය ක්‍රීඩාවක් ලෙසිනුයි. ඉතින් රූස්වෙල්ට් ජනාධිපතිතුමාත් ආරාධනාව පිළිගෙන දඩයම් චාරිකාවට එක් වුණා.

මේ දඩයම් චාරිකාවේ මඟ පෙන්වන්නා වුණේ හෝල්ට් කොලියර් නමැත්තායි. කොලියර්ට ඕනෑ වුණේ ටෙඩී රූස්වෙල්ට් ජනාධිපතිතුමාට හොඳ කළු වලසෙක් හොයා දෙන්නයි. ඉතින් මොහු දිගින් දිගට හොඳ කළු වලසකු සෙව්වා. ඉතින් හිතපු විදිහටම හොඳ කළු වලසකු හමුවුණා. ජනාධිපතිතුමා එන තෙක් මේ වලසා ගසක බැඳලා තියන්න ඕනෑ කියලා ඔහු හිතුවා. ඒත් එතැනට ආව රූස්වෙල්ට් ජනාධිපතිතුමා වලසාට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කළා. එහෙම ප්‍රතික්ෂේප කළේ මෙහෙම කියමිනුයි.” මම අමෙරිකාව පුරා දඩයම් කරලා තිබෙනවා. දඩයක්කාරයකු වීම ගැන මට ආඩම්බරයි. හැබැයි ගහක බැඳලා දාපු වෙහෙසට පත්වුණු වයසක වලසකුට වෙඩි තිබ්බොත් මට, මං ගැන ආඩම්බර වෙන්න බැරි වෙනවා.” ඉතින් තියඩෝර් රූස්වෙල්ට් ජනාධිපතිතුමාගේ දයානුකම්පිත බව මුළු අමෙරිකා එක්සත් ජනපදය පුරාම පැතිරුණා. මේ පුවත මුල් කරගෙන ක්ලිෆර්ඩ් බෙරිමන් කාටූන් ශිල්පියා විසින් වොෂිංටන් පෝස්ට් පුවත්පතෙහි පළ කළ Drawing the line in Mississippi  නම් සංවේදී කාටූනයයි.

මේ කාටූනය බොහෝදෙනා අතර ජනප්‍රිය වුණා. මේ කාටූනය දැක්ක රසකැවිලි වෙළෙන්දකු වන එන්. වයි. රසොස් හා ඔහුගේ බිරිය මොරිස් මිච්ටොව්ට මෙහෙම අදහසක් සිතට ආවා. “අපි ජනාධිපතිවරයාට ගෞරව කිරීම සඳහා රෙදි කැබලි පිරවූ වලසකු හදමු නේද?” සැමියා යෝජනා කළා. බිරියත් ඒකට එකඟ වෙලා දෙදෙනාගේම සහයෝගයෙන් වලසකු හැදුවා. වලසාගේ ඇස්වලට බොත්තම් ඇල්ලුවා. මේ වලසා නම් කළේ ටෙඩීගේ වලසා යනුවෙනුයි.Teddy’s Bear වූ ටෙඩීගේ වලසා ලෙස නාම පුවරුවක් සාදා මෙය ජනෙල් කවුළුවක් අසල ප්‍රදර්ශනය කළා. මෙම වලසා එක රැයකින් ජනප්‍රිය වුණා. ඊට පසු මේ වලසා වෙනුවෙන් ඉල්ලුමක් ඇති වුණා. එයින් පසු මොවුන් රසකැවිලි ව්‍යාපාරය නවත්වා ඒ වෙනුවට අයිඩියල් ටෝයි ව්‍යාපාරය පටන් ගත්තා. මොවුන් සාදන ටෙඩීගේ බෙයාර්ට බොහෝ පුංචි ළමයින් කැමැති වුණා. ටෙඩීගේ බෙයාර් පසු කාලෙක ටෙඩී බෙයාර් වූයේ මේ අයුරින්. ඔන්න ඔය විදිහට තමයි ටෙඩී බෙයාර් ඉපදුණේ. වර්තමානය වන විට අමෙරිකාවේ ඉපදුණු සෑම ටෙඩියකුගේම පරපුර සෑම රටකම ඉන්නවා. පුංචි ඔයගොල්ලොත් මම වගේම මේ ටෙඩීට ආදරෙයි නේද? පුංචි ඔබ විතරක් නෙවෙයි වැඩිහිටි අයත් මේ ටෙඩීට ආදරෙයි.

අබිරු නෙත්මිණ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department