Home » Blog » පාසැල් පුවත්

පාසැල් පුවත්

by thanushika
0 comments

ගෝලීය බාලදක්ෂ කිචන් ජම්බෝරිය බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේදී

බදුල්ල දිසා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 2024 ගෝලීය බාලදක්ෂ කිචන් ජම්බෝරිය දෙසැම්බර් 21 වැනිදා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේදී පැවැත්විණි.

මෙම ජම්බෝරියට ප්‍රදේශයේ පාසල් විසිහයක් නියෝජනය කරමින් බාලදක්ෂයන් දහසකට ආසන්න පිරිසක් සහභාගි වූ අතර, කිතුල් ගස් රැගෙනවිත් කිතුල් පිටි නිෂ්පාදනය සහ කිතුල් පිටිවලින් නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය, ඉවුම් පිහුම් ක්‍රම, ආහාර වට්ටෝරු පිළිබඳ ප්‍රායෝගික පුහුණුව සමඟින් දරු දැරියන් ද, ගෝලීය ප්‍රජාව ද සජීවීව (Online) දැනුම්වත් කරන ලදි.

මෙම අතථ්‍ය ගෝලීය බාලදක්ෂ මුළුතැන්ගෙයි ජම්බෝරිය විවිධ බාලදක්ෂ කලාපවලට විවිධ ආහාර පිසීම් ගවේෂණය කිරීමට තරුණ තරුණියන්ට උපකාරයක් විය.

මෙම ජම්බෝරියට ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ ජේ. එම්. කපිල ජයසේකර, බදුල්ල නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, ශ්‍රීලංකා බාලදක්ෂ සංගමයේ උප සභාපති ආර්.එම්. තිලක් ජයසිරි, බදුල්ල බාලදක්ෂ දිසා කොමසාරිස් ජී. ඩී. මහින්දරත්න, පාසල්වල විදුහල්පතිවරු සහ ගුරුභවතුන් ද සහභාගි වූහ.

ඩී. එස්. ගුණතිලක – ඌව වෙල්ලස්ස විශේෂ

පොඩ්ඩන්ගේ ලෙදර් ක්‍රිකට් තරගාවලියේදී තන්ඩර් ෆෝල්කන් කණ්ඩායම පැරද වූ තන්ඩර් බෝල්ට්ස් කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයක්

ඩබ්ලිව්. ඩබ්ලිව්. සී. ක්‍රීඩා පාසල සංවිධානය කළ එකොළහෙන් පහළ පොඩ්ඩන්ගේ ලෙදර් ක්‍රිකට් තරගාවලියේදී තන්ඩර් ෆෝල්කන් කණ්ඩායම පැරදවූ තන්ඩර් බෝල්ට්ස් කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයක් හිමි විය.

මැදගම සහ බිබිල කොට්ඨාසවල පුහුණුවීම් කරන අවුරුදු 11න් පහළ ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ ළමයින්ගෙන් සැදුම්ලත් පාසල් 15ක පමණ කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගි වූ අතර, සංවිධානය සහ මෙම පාසල්වල ක්‍රීඩකයන් පුහුණු කිරීම නුවන් අත්තනායක මහතා විසින් සිදුකර තිබිණි.

අවසාන මහා තරගයේදී මුලින් පන්දුවට පහරදුන් කෞෂික රණහස් ප්‍රමුඛ ධර්මප්‍රදීප ප්‍රාථමික විදුහලේ තන්ඩර් බෝල්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු අටකට ලකුණු 64ක් ලබාගත් අතර, ඊට පිළිතුරු වශයෙන් සිහින හසරැල් ප්‍රමුඛ මැදගම ප්‍රාථමික විදුහලේ තන්ඩර් ෆෝල්කන් කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 63ක් පමණි. මේ අනුව එක් ලකුණක තියුණු ජයක් තන්ඩර් බෝල්ට්ස් කණ්ඩායමට හිමි විය.

දක්ෂතම පන්දු රකින්නා ලෙස ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ මහේෂ් ද, දක්ෂතම පන්දු යවන්නා ලෙස කඩුලු පහක් දවාගත් ඌව විජය ප්‍රාථමික විද්‍යාලයේ ශානුක දිල්ෂාන් ද, දක්ෂතම පිතිකරු ලෙස ලකුණු 42ක් ලබාගත් ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ ශෙහාන් ද, දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස කඩුලු 12ක් , ලකුණු 32ක් සහ උඩපන්දු 04ක් ලබාගත් මැදගම ජාතික පාසලේ මලීෂ ද සම්මානයට පාත්‍ර වූහ.

ඩී. එස්. ගුණතිලක-ඌව වෙල්ලස්ස විශේෂ

අමෙරිකානු ජාතික පන්නේන්ද්‍රිය විලියම් හිමියන් යක්කල ජිනරතන ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ට නත්තලට තෑගි අරන් ඇවිත්

අඩුපාඩුකම් සහිත පාසලක් වන යක්කල ජිනරතන ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියන් සඳහා අමෙරිකානු ජාතික පන්නේන්ද්‍රිය විලියම් හිමියන් විසින් නත්තල වෙනුවෙන් තෑගි භෝග බෙදාදීම පසුගියදා එම විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මෙම නත්තල් සැමරුම් උත්සවය ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා අජිතා ප්‍රියංගනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී විද්‍යාලයීය සිසු දරු දැරියන් 60 දෙනා සඳහාම නත්තල් තෑගි භෝග හා දිවා ආහාරය ලබා දීම අමෙරිකානු ජාතික පන්නේන්ද්‍රිය විලියම් හිමියන්ගේ දායකත්වයෙන් සිදු කෙරිණි. එයට අමතරව ආචාර්ය මණ්ඩලය වෙත ද තෑගි ලබා දෙන ලදි. මෙම නත්තල් සැමරුම් උත්සවය දරු දැරියන්ගේ නර්තනාංගයන්ගෙන් විචිත්‍රවත් වූ අතර, මෙම උත්සවය ඉංග්‍රීසි භාෂාවෙන් මෙහෙයවීම විශේෂත්වයකි. මෙම නත්තල් උත්සවය ජිනරතන විද්‍යාලයේ විදුහල්පතිනි එල්.ජී.ඒ. මිහිරාණි මහත්මියගේ මෙහෙයවීම යටතේ ආචාර්ය මණ්ඩලය විසින් සංවිධානය කෙරිණි. මෙම අවස්ථාවට පූජ්‍ය ගවරාගිරියේ ප්‍රේමරතන හිමියන්, අමෙරිකා එක්සත් ජනපදය, චීනය, වියට්නාමය, මියන්මාරය යන රටවල භික්ෂූන් වහන්සේලා ඇතුළු සිසු දරු දැරියන්ගේ මව්පියෝ ද සහභාගි වූහ.

ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක

ශ්‍රී ලංකා පාසල් ජ්‍යෙෂ්ඨ ටයිකොන්ඩෝ තරගාවලියේ සමස්ත බාලක ශූරතාව හාලිඇළ ඌව විද්‍යා විද්‍යාලයට

මෙම 2024 ශ්‍රී ලංකා පාසල් ජ්‍යෙෂ්ඨ ටයිකොන්ඩෝ තරගාවලියේදී රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් එකක් සමඟින් එම තරගාවලියේ සමස්ත බාලක ශූරතාව දිනා ගැනීමට හාලිඇල අධ්‍යාපන කොට්ඨාසයට අයත් හාලිඇළ, බ/ ඌව විද්‍යා විද්‍යාලය සමත් විය.

උතුරු මැද පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමය සංවිධානය කළ අදාළ තරගාවලිය මෙම දෙසැම්බර් මස 21,22,23 යන දිනයන්හිදී ශ්‍රී ලංකාවේ පාසල් විශාල ප්‍රමාණයක සහභාගිත්වයෙන් අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවත්වුණු අතර, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාප්ති උලෙළ හා පදක්කම් ප්‍රදානය සිදුකෙරිණි. බ/ ඌව විද්‍යා විද්‍යාලයේ විදුහල්පති ටී. එම්. එස්. තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත, විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාරිණී ඉවෝන් නිලුක්ෂි හා පුහුණුකරු චරිත් සංජීව යන මහත්ම මහත්මීන්ගේ මඟ පෙන්වීම මත අදාළ සිසු දරුවෝ මෙම ජයග්‍රහණය ලබාගත්හ.

හාලිඇළ සමූහ- ආර්.එම්. විජේරත්න

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට නත්තල්

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නත්තල් උත්සවය නිමිත්තෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සංවිධානය කළ “පුංචි අපිටත් නත්තල්” සැමරුම් උත්සවය දෙසැම්බර් 2 වැනිදා බඩල්කුඹුර “Littel Power”  විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී දරුවන් වෙනුවෙන් විවිධ විශේෂාංග සංවිධානයකර තිබූ අතර, ඔවුන් සඳහා නත්තල් සීයා විසින් ත්‍යාග ප්‍රදානය කිරීම ද සිදුකරන ලදි.

මෙම අවස්ථාවට බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කේ. වී. ඩී. සී. විමලසිරි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගි වූහ.

ඩී.එස්. ගුණතිලක -ඌව වෙල්ලස්ස විශේෂ

බුත්තල දහම් පාසල් ගුරුවරුන්ට පුහුණුවක්

බුත්තල කොට්ඨාසයේ පිහිටි දහම් පාසල්වල ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහනක් දෙසැම්බර් 24 වැනිදා බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දහම් පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව වැඩි දියුණු කිරීමේ අරමුණෙන් බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගය මත බුත්තල ශාසනාරක්ෂක මණ්ඩලය මෙම පුහුණු වැඩසටහන සංවිධානයකර තිබිණි.

මෙම අවස්ථාවට ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක බුත්තල යුදඟනාව රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන, බුත්තල ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මොනරාගල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක දෙමටමල් රජමහා විහාරාධිපති ගල්ටැම් වත්තේ පුඤ්ඤානන්ද, බුත්තල ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී බුත්තල දොළපීල්ල රජමහා විහාරාධිපති බුත්තල ධම්මාරාම ස්වාමීන්වහන්සේලා වැඩමකර සිටි අතර, බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්. එම්. ආර්.එස්. තිලකරත්න, පරිපාලන නිලධාරී රාජිකා දීශානි මෙණෙවිය ද සහභාගි වූහ.

ඩී.එස්. ගුණතිලක – ඌව වෙල්ලස්ස විශේෂ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department