Home » Blog » නිර්මාණාත්මක කුසලතා ඇති දරුවන් අපේ රටට අවශ්‍යයි

නිර්මාණාත්මක කුසලතා ඇති දරුවන් අපේ රටට අවශ්‍යයි

by thanushika
0 comments

හේවාගම කනිෂ්ඨ විද්‍යාලයේ

විදුහල්පතිනිය

කාන්ති ලියනගේ මහත්මිය

වර්තමානයට නිර්මාණාත්මක කුසලතාවලින් පිරිපුන් දරුවන් අවශ්‍යයි. එලෙස දරුවන් බිහි කිරීම පාසලේ වගකීමකි. මෙම වගකීම පාසලක විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලය හඳුනා ගැනීම වැදගත් ය. අධ්‍යාපනයෙන් දරුවා ඉදිරියට ගෙන යෑම මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරීත්වයට දරුවා යොමු කිරීමෙන් ඔහුගේ හෝ ඇයගේ මනස සැහැල්ලු කිරීම ද පාසලක යුතුකමකි. මේ බව ගුරුවරු මෙන්ම මව්පියන් ද තේරුම් ගත යුතු ය. එලෙස තේරුම් නොගතහොත් අධ්‍යාපනයෙන් ඉදිරියට ගිය විශිෂ්ටයන් පාසලෙන් බිහිවීමට ඉඩ ප්‍රස්තාව තිබුණත්, මනුෂ්‍යත්වයෙන් පිරිපුන් දරුවන් පාසලකින් බිහි නොවේ. මේ යථාර්ථය අවබෝධ කරගත් විදුහලක් සහ එහි විදුහල්පතිනියගේ ධෛර්යවත් වැඩපිළිවෙළ පිළිබඳ කතා කිරීමටයි මේ අපේ සූදානම. ඒ , හේවාගම කනිෂ්ඨ විද්‍යාලය සහ එහි විදුහල්පතිනිය කාන්ති ලියනගේ මහත්මිය ගැනයි. ඉතින් දුවේ පුතේ, මේ නව වසරේ අපි ඇගේ කතාව අහමු නේද?

” අපේ පාසල ආරම්භ වෙලා තිබෙන්නේ 1959දීයි. ඒ ප්‍රාථමික විද්‍යාලයක් ලෙසයි. පොල් අතු සෙවිලි කළ පුංචි කොටසක අපේ පාසල ආරම්භ වෙලා තිබෙනවා. ඒ වන විට මේ පාසල තිබිලා තිබෙන්නේ මේ භූමියේ නොවෙයි. හේවාගම අභිනවරාම පන්සලෙයි. මේ ආකාරයට ක්‍රම ක්‍රමයෙන් බිහි වුණ මේ පාසල ඉතා වේගයෙන් වර්ධනය වෙලා තිබෙනවා. එහෙත් පසුකාලීනව පාසලේ සිටිය ළමයින් අවට ජනප්‍රිය යැයි කියූ පාසල්වලට යෑමට පටන් ගෙන තිබෙනවා. මේ නිසා මේ පාසල වැසී යන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. 2013 වර්ෂයේදී මේ තත්ත්වය උග්‍ර වුණත්, කෙසේ හෝ මේ පාසල පවත්වාගෙන ගොස් තිබෙනවා. 2019 වර්ෂයේදී විදුහල්පතිනිය ලෙස පත්වීම ගෙන මම හේවාගම කනිෂ්ඨ විද්‍යාලයට පැමිණියා. මෙලෙස කඩා වැටී තිබුණු පාසලක් නඟා සිටුවීම මගේ ලොකු වගකීමක් බවට පත් වුණා.

ඒ වෙනුවෙන් මම කැපවෙලා වැඩ කළා. බොහෝදෙනා අපට උදව් කළා. එවකට තිබුණ සෑම රජයකින්ම අපේ පාසලට උදව් කළා. මේ පාසල දහය ශ්‍රේණිය දක්වා තිබුණත් දරුවන් වෙනත් පාසල්වලට පිටව ගොස් තිබුණ නිසා ඉතිරි වී තිබුණේ ප්‍රාථමික අංශය පමණයි. ඒ දරුවන් රැක ගැනීමත් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමත් මගේ අරමුණ වුණා. මම ඒ වෙනුවෙන් කැප වෙන්න හිතා ගත්තා. එවැනිම අදහසක් තිබෙන ගුරු මණ්ඩලයකුත් මට ඉන්නවා. ඒ වගේම ඒ වෙනුවෙන් උදව් කරන මව්පියන් පිරිසකුත් අපේ පාසලේ ඉන්නවා. ඒක මට ලොකු සවියක් වුණා.”

” ඒ සවියෙන් ඉදිරි වැඩ කටයුතු පටන් ගන්න මම තීරණය කළා. මේ වන විට අපේ පාසල තිබෙන්නේ 5 ශ්‍රේණිය දක්වා විතරයි. එහෙත් ඒ දරුවන්ට උපරිම කැපවීමෙන් උගන්වන ගුරුවරු පිරිසක් ඉන්නවා. කැපවීම නැතිනම් අපට ඉදිරියට යන්න බැහැ. ඒ සත්‍ය තේරුම් ගත් මව්පියන් අප වටා රොක් වුණා. මේ වන විට අපේ පාසලේ ඉගෙන ගත්ත දරුවන් විවිධ ක්ෂේත්‍රවල සිටිනවා. සමහරු ගණකාධිකාරීවරු, තවත් අය දේශපාලන ක්ෂේත්‍රයේ සිටිනවා. ඒ වගේම මම සතුටින් කියන්න කැමැති එක් දෙයක් තිබෙනවා. ඒ තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අංශයේ මහාචාර්යවරියකුත් අපේ පාසලෙන් බිහිවෙලා තිබෙනවා. ඒක ඉතා වැදගත් දෙයක්. අතීතයේ එවැනි වටිනා දරුවන් බිහි කළ පාසලක් අපේ පාසල. මේ වගේ අතීතයක් තිබුණ පාසලක් කවදාවත් වැටෙන්න බැහැ. ඒ අරමුණ පෙරදැරි කරගෙන අපේ පාසල නඟාසිටුවන්න මම හැම දෙනාම එකතු කරගත්තා. මේ වෙනුවෙන් ස්වදේශිකයන් මෙන්ම විදේශිකයන් ද ඒකරාශි වුණා. ඒක අපේ පාසලට ශක්තියක්. මේ ශක්තිය නිසාම පාසල අලුත් වුණා. අලුත් පුස්තකාලයක් බිහි වුණා. අලුත් විදිහට පාසලේ සැලසුම හැදුණා. පාසලේ ළමයින් ප්‍රායෝගික කරන්න අප උත්සාහ කරනවා. අපේ පාසලේ දැක්ම වන්නේ සාමූහිකත්වයෙන් දිරියෙන් ඉදිරියට යන්නයි. අපේ පාසල ලස්සන පරිසරයක පිහිටා තිබෙනවා. ඒ වගේම විවිධ දක්ෂතා තිබෙන දරුවන් සිටිනවා. මේ සියල්ල මමත් ගුරු මණ්ඩලයත් හඳුනා ගත්තා. ”

ඔවුන්ගේ පාසලේ අරමුණු ඒ අයුරින්ම

ඉටුවේවා යැයි අපි මිහිර වෙතින් සුබ පතමු.

රූපාන්ති බුලත්සිංහල

ඡායාරූප – පාසලේ ඡායාරූප සංගමය


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department