Home » Blog » නැඟෙන සිතේ මනුදම් පුබුදා සැමට රැගෙන තාක්ෂණයෙන් යමු ඉදිරියට

නැඟෙන සිතේ මනුදම් පුබුදා සැමට රැගෙන තාක්ෂණයෙන් යමු ඉදිරියට

by thanushika
0 comments

ආදරණීය දුවේ පුතේ, මේ උදා වූයේ 2025 වසරයි. මේ වසරේදී පුංචි ඔබත් බොහෝ දේ සැලසුම් කරන්නට ඇති. වැරැදි අඩු පාඩු හදාගෙන අලුත් අධ්‍යාපන අරමුණකට පිවිසෙන්නත් ඔබට කැමැත්තක් ඇති නේද? මේ නිසා හොඳ අවබෝධයෙන් සහ අවධානයෙන් කටයුතු කළයුතු වසරක් ලෙස පුංචි ඔබත් හිතට ගන්න. ඒ වෙනුවෙන් කළ යුතු සෑම දෙයක්ම ඔබත් කැපවීමෙන් කරන්න.

නව තාක්ෂණ දැනුම

මේ වන විට තාක්ෂණය සෑම කෙනකුටම නැතිවම බැරි දෙයක් වී තිබේ. ඒත් දුවේ පුතේ, තාක්ෂණය පිළිබඳ දැනුම්වත් වූ පමණින්ම, ඉදිරියට යෑමට නොහැකි ය. ඉදිරියට යෑමට නම් මනුදම් අවශ්‍ය වේ. තාක්ෂණය ලෝකයට අවශ්‍ය වුවත්, මිනිසුන් අතර සහයෝගය ඇති කරගැනීමට අවශ්‍ය වන්නේ මනුෂ්‍යත්වයි. අතීතයේදී බොහෝ මිනිස්සු එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළහ. ඒ නිසාම ඔවුහු සහයෝගයෙන් වැඩ කටයුතු කළහ. එහෙත් තාක්ෂණයේ පැමිණීමත් සමඟ එකිනෙකා ළඟ තිබූ මනුදම් ඔවුන්ට අහිමි විය. එහෙත් දුවේ පුතේ, වර්තමානයට මනුදම් මෙන්ම තාක්ෂණය ද අවශ්‍ය වේ. කෙසේ වුවත් කනගාටුදායක කරුණ නම් වත්මන් ළමා පරපුර තාක්ෂණය පසු පස පමණක් හඹා යෑමට පෙලඹීමයි. එහෙත් දුවේ පුතේ, තාක්ෂණයෙන් ඉදිරියටම යන්න. එහෙත් මනුදම් කිසිවිටකත් අමතක නොකරන්න.

මනුදම් සුරකිමු

“හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙයි” යැයි කියමනක් තිබේ. ඕනෑම දෙයක් පිළිබඳ එහි මුල් අවධියේදී දැනගැනීමට හැකියාව තිබේ. මේ නිසා සෑම කෙනකු ගැනම මුල් අවස්ථාවේදීම තීරණයක් ගැනීමට හැකියාවක් ලැබේ. කෙනකුට නිවැරැදි මාර්ගයේ යනවා ද? නැද්ද? යන්න පිළිබඳ තීරණය කිරීමට හැකියාවක් තිබේ. ඒ සඳහා ස්වයං විනයක් තිබිය යුතුයි. ස්වයං විනය නීතියකින් හෝ කිසියම් ආධිපත්‍යයකින් හෝ ඇති කළ නොහැකි ය.

සාහිත්‍යය පිළිබඳ අවබෝධය

වර්තමානයේ බොහෝ දරුවන්ට සාහිත්‍යය පිළිබඳ අවබෝධයක් නොමැත. එයට හේතුව ඔවුන් බෙහෙවින්ම තාක්ෂණයට යොමු වීමයි. මේ නිසා ඔවුන් සාහිත්‍යයට තිබෙන ඇල්ම අඩු වී තිබේ. සාහිත්‍යයට ඇල්ම අඩු වූ විට ඔවුන්ට ආවේණික වූ මනුදම් ද නැතිවී යයි. එයට හේතුව සාහිත්‍යය මඟින් මනසේ ඇති කරන්නා වූ මානසික වර්ධනයයි.

සුභාෂිතය, ලෝකෝපකාරය, බුදුගුණ අලංකාරය, සිරිත්මල්දම වැනි කෘති කුඩා කාලයේ සිට කියවීමෙන් දරුවාගේ මනසේ සාහිත්‍යය රසය පිළිබඳ කැමැත්ත වර්ධනය වේ. පුංචි ඔබට කුඩා කාලයේදී එම කෘති කියවීමට නොහැකි නිසා ඒවා වැඩිහිටියන්ගෙන් අසා දැනගත යුතුයි. පාසලේදී සාහිත්‍යය උගන්වන්නේ කිසියම් වයස් සීමාවකදී ය. එසේ ඉගැන්නුවත් ඇතැම් අවස්ථාවලදී සමහර දේවල් මඟහැරීමට ඇති ඉඩ ප්‍රස්තාව වැඩි ය. අතීතයේදී අත්තම්මා වටා එක්රොක් වූ දරුවෝ ජන කතා, ප්‍රස්තාව පිරුළු මෙන්ම ජන කවි ඉගෙන ගත්හ. මෙයින් එදා දරුවන්ට සමාජ යථාර්ථය පිළිබඳ අවබෝධයක් ලැබිණි.

පරිසරයට ආදරය කිරීම

පරිසරය යනු මිනිසාගේ ජීවය සමඟ බැ¼දී පවතින්නකි. එම නිසාම පරිසරය පිළිබඳ සෑමදෙනකුම සැලකිලිමත් විය යුතුයි. මෙහිදී තුරුලතා ඉතා වැදගත් වේ. ගස් වැල් වැවීමෙන් පරිසරයට පිරිසුදු වාතය ලැබේ. එනම් වාතයේ ඇති ඔක්සිජන් ප්‍රතිශතය වැඩි වේ. එහෙත් සංවර්ධන ව්‍යාපෘති ඉදිවීමත් සමඟ ගස්කොළං කැපීමට ඇති ඉඩ ප්‍රස්තාව වැඩි වී තිබේ. මෙය ජන ජීවිතයට මෙන්ම සතා සිව්පාවාගේ ජීවන පැවැත්මට ද හිරිහැරයක් වී තිබේ. එහෙත් මේ තත්ත්වය මඟහරවා ගැනීම සඳහා වර්තමානයේදී පාසල්වල පරිසර නියමු ව්‍යාපෘති ආරම්භකර තිබේ. මෙය පරිසර අමාත්‍යාංශයේ දායකත්වයෙන් කරගෙන යන අතර, මෙයින් පරිසරයට ආදරය කරන දරුවන් බිහිවී තිබේ.

වැඩිහිටියන්ට සැලකීම

කුඩා කාලයේදී අම්මා, තාත්තා සහ අත්තම්මාගෙන්, සීයාගෙන් ගුරුහරුකම් ලබන කුඩා දරුවෝ පාසලේදී ගුරුවරුන්ගෙන් අවවාද ලබති. අවවාද අනුශාසනා ලබමින් නිසි මඟ යෑමට හුරු වේ.බොහෝ දරුවෝ තමන්ගේ අභිමතයට ක්‍රියා කරති. එහෙත් මෙය සුදුසු නොවේ. සෑම විටම වැඩිහිටි අනුශාසනාවක් අනුව ක්‍රියා කළ යුතු ය. එයින් වැරැදීමට ඇති ඉඩ ප්‍රස්තා අවම වේ. වැඩිවියට පත් වූ පසු කුඩා කාලයේදී තමන්ට උදව් උපකාර කළ, අනුශාසනා කළ වැඩිහිටියන් කිසි විටෙකත් අමතක නොකිරීම මානුෂීය ගුණාංගයකි. මේ ගුණාංගය රැකීමට අප කුඩා කල සිටම අවධානය යොමු කළ යුතු ය. මව්පියවරුන්ට, ගුරුවර ගුරුවරියන්ට සැලකීම සෑම විටම උතුම් වූ කාර්යයකි. ඕනෑම දහමක මෙය කියා දෙයි.

ඉරුදින දහම් පාසල් යෑම

දෛනිකව පාසල් යන පුංචි ඔබ පාසලේදී හොඳ ගුණ දහම් මෙන්ම අධ්‍යාපනික කටයුතුවල ද නිරත වේ. එහෙත් දහම් අධ්‍යාපනය පිළිබඳ දැනුම් සම්භාරයක් දහම් පාසලේදී දරුවකුට ලබා ගැනීමට හැකියාව තිබේ. බොහෝ දරුවෝ දහම් අධ්‍යාපනය ගැන එතරම් අවධානයක් යොමු නොකරති. එයට හේතුව ඔවුන් ඉරිදා දිනට අතිරේක පන්ති කෙරෙහි අවධානය යොමුකර තිබීමයි. මෙයින් පුංචි ඔබ අනුගමනය කළ යුතු දහම් පිළිවෙත් ඔබට මඟහැරෙයි. අතිරේකව කියවිය යුතු දහම් පොත පත මඟහැරෙයි. මේ නිසා ධාර්මික දිවිපෙවෙතකට අවනත වීමට ඇති හැකියාව අවම වේ. මේ නිසා ආදරණීය දුවේ පුතේ, ඔබ ඉරු දින දහම් පාසල් යෑමට කිසිවිටකත් අමතක නොකළ යුතු ය. අධ්‍යාපනය තිබුණු පමණින්ම ඔබ පරිපූර්ණ දරුවකු නොවේ. ඒ සඳහා ධාර්මික දිවිපෙවෙතක් ඔබට අවශ්‍ය වේ. මේ නිසා කුමන කටයුත්තක් තිබුණත්, ඉරු දින දහම් පාසලට යන්න කිසිවිටෙකත් අමතක නොකරන්න.

යහළු යෙහෙළියන් සමඟ එක්ව වැඩ කිරීම

වර්තමානයේ පවතින්නේ ආත්මාර්ථකාමී සමාජයකි. මේ නිසා සෑම පුද්ගලයෙක්ම තනි තනිව තමන්ගේ ගමන් මාර්ගවල ගමන් කරයි. කිසිවෙක් අනෙකා කෙරෙහි අවධානය යොමු නොකරයි. එහෙත් කුඩා කාලයේ සිටම අනුන් කෙරෙහි අවධානය යොමු කරමින් පරාර්ථකාමීත්වය කෙරෙහි කැප වුණොත්, එය ඔබ වැඩිවියට පැමිණීමේදී වුවද ඔබට ප්‍රගුණ කිරිමට හැකියාව තිබේ. මේ නිසා කුඩා කාලයේ සිටම තමන්ගේ යහළු යෙහෙළියන් සමඟ එක්ව වැඩ කිරීමට හුරුපුරුදු වන්න. උදාහරණ ලෙස ඔබ විභාගයකට පාඩම් කරන විට අනෙක් අය නොදන්නා කරුණු කියා දීමට කිසිදු පැකිළීමකින් තොරව ඉදිරිපත් වන්න. එවිට ඔබ ඉගෙනගන්නා දෙය වඩා හොඳීන් ඔබට මතක තියේවි. දැනුම යනු බෙදන්න බෙදන්න වැඩි වන දෙයකි. බොහෝ දරුවෝ මේ පිළිබඳ එතරම් අවධානය යොමු නොකරති. එහෙත් අපි මේ වෙනුවෙන් කුඩා කාලයේ සිටම අවධානය යොමු කරමු. එවිට ඔබේ අනාගතය සාර්ථක වේ.

දුගී මගී යාචකයන්ට දන් දීම

බොහෝ අය දහම් පිළිවෙතකට අනුගත වන්නේ මහලු කාලයේදී ය. එහෙත් කුඩා කාලයේ සිටම දහම් පිළිවෙතකට යොමු වීමෙන් එය ඔබ වැඩිහිටි වූ විට ද පුරුදු පුහුණු වේ. සෑම විටම තමන්ගෙන් උදව් අවශ්‍ය අයට පැකිළීමකින් තොරව උදව් කරන්න. එවිට ඔවුන්ගේ සිත සතුටට පත් වේ. අනුන්ගේ සිත නිරායාසයෙන් සතුටට පත් කිරීමෙන් එයින් පින් රැස් කිරීමට හැකියාව ලැබෙයි. කුඩා කාලයේ සිට පින් පව් කුමක්ද? හඳුනාගත් දරුවකු වන්න, පුංචි ඔබත් මතක තබා ගන්න. එවිට ඔබ වැඩිහිටි වූ විට පවා එයට පෙලඹවීමක් ඇති වේ. අමාරුවෙන් ගුණදහම් වර්ධනය කිරීමට නොහැකි ය. එහෙත් ඒවා නිරායාසයෙන් ප්‍රගුණ කිරීමට හුරු වන්න. එවිට ඔබට යහපතක්ම හිමි වේ.

අවංකව වැඩ කිරීම

පාසලේදී ඔබට පැවරෙන කුමන හෝ කාර්යයක් උපරිම ශක්තියෙන් කිරීමට ඔබ මතක තබාගන්න. අවංකව විශ්වාසවන්තව යමක් ඉටු කිරීමෙන් සෙසු අය ඔබ කෙරෙහි විශ්වාසය තබයි. මේ විශ්වාසය ඉතා වැදගත් වේ. පාසලට, නිවෙසට විශ්වාසවන්ත පුද්ගලයෙක් වීමට කුඩා ඔබ උත්සාහ කරන්න. උදාහරණ ලෙස පාසලේදී ගුරුතුමිය ඔබට කිසියම් කාර්යයක් පැවරූ විට එය අවංකම තමන්ගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කිරීමට මතක තබාගන්න. මුලින්ම ඔබ කෙරෙහි විශ්වාසය තැබූ කෙනකුගේ විශ්වාසය කිසිවිටෙකත් කඩ නොකරන්න. කුඩා කාලයේදී විශ්වාසය ආරක්ෂා කිරීමට පුරුදු වීමෙන් ඔබ වැඩිහිටියකු වූ විට ද එය රැකීම පහසු වෙයි.

රූපාන්ති බුලත්සිංහල


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department