ආදරණීය දුවේ පුතේ, අනාගතයේ දක්ෂයන් වන්නට නම් ඔබත් බොහෝ ඇසූ පිරූ පුද්ගලයන් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය දැනුම ඔබ විසින්ම එකතු කරගත යුතුයි. ඒ සඳහා කැපවීම උනන්දුව මෙන්ම හොඳ මඟ පෙන්වීමක් අවශ්‍යයි. මේ අයුරින් දැනුම් සම්භාරයක් එක් කරගත් විශේෂ පුද්ගලයකුගේ ඔවදනකින් ඔබට මඟ පෙන්වන්නයි අපේ මේ සූදානම. පුවත්පත් ක්ෂේත්‍රයේ සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රවීණ දේශකයකු මෙන්ම ක්‍රියාකාරී පුද්ගලයකු ලෙස සමාජ මෙහෙවරක් ඉටු කරන ප්‍රවීණ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතායි මෙවර මිහිර සමඟ එක් වන්නේ. ඉතින් දුවේ පුතේ,
ඒ මහතා පුංචි ඔබට දෙන ඔවදන කුමක්ද කියලා බලමු නේද?
” ලේඛනයට දරුවකු හුරු පුරුදු විය යුත්තේ කුඩා කාලයේදීමයි. අපට හැම දෙයකටම පුරුද්ද තිබෙන්න ඕනේ. ආයාසයෙන් දෙයක් හුරු කරවන්න බැහැ. ඒ සඳහා කැමැත්තක් තිබෙන්න ඕනේ. ලේඛනයටත් ඒ වගේමයි. කැමැත්තක් නැතිනම් කිසිම දෙයක් වර්ධනය කරගන්න බැහැ. ඒ නිසා මූලික වශයෙන්ම ඕනෑම දෙයකටම කැමැත්තක් ඇති කරගත යුතුයි. ඔබ කියවන්න කැමැතියි නම් ඒ සඳහා හොඳ පොත පත තෝරාගන්න ඕනේ. ඒ සඳහා වැඩිහිටියකුගේ මඟ පෙන්වීම ලබා ගන්න අවශ්‍යයි. එයින් අපට හොඳ පොත පත හඳුනාගන්න පුළුවන්. මට මතකයි මගේ පුංචි කාලයේ පොත් කියෙව්ව ආකාරය. එක දවසක් මම එළිවෙනකම් මඩොල්දූව කියෙව්වා. මඩොල්දූව කියවලා ඉවර වෙන තෙක් මට නිදාගන්න හිතුණෙ නැහැ. ඒ තරම් ඒ පොත කියවන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒ වගේම දුවේ පුතේ, පොත්වලට දැඩි කැමැත්තක් තිබිය යුතුයි. පොත්පත් කියවන්න කියවන්න තමයි භාෂා දැනුම දියුණු වන්නේ. එලෙස දියුණු කරගත් භාෂා දැනුම යොදාගෙන අපට පුළුවන් කුඩා රචනා , කවි ලියන්න. එතකොට තමයි නිර්මාණාත්මක පසුබිමක් ඇති වන්නේ. එදා අපි එලෙස ගොඩනඟා ගත් පසුබිම වැඩිහිටියන් වන විටත් වැදගත් වුණා.”
” නිවැරැදිව භාෂාව ඉගෙන ගත් විට නිවැරැදිව ලියන්නත් හුරු පුරුදු වෙනවා. ගැළපෙන ආකාරයට ගොඩනැඟූ වාක්‍යය අනෙක් අයට තේරුම් යන ආකාරයට ඉදිරිපත් කළ යුතුයි. නිරවුල් අයුරින් වාක්‍යයක් ලිවීමට හුරුවීමට පහසු වන්නේ කුඩා කාලයේදීයි. එලෙස හුරුවීම පහසුවෙන් පාඨකයාට යමක් සන්නිවේදනය කිරීමට වැදගත් වෙනවා. ඒ වගේම අප කුඩා කාලයේදී සාමාන්‍ය දැනුම වර්ධනය කරගන්නත් අවශ්‍යයි. එලෙස වර්ධනය කරගත්තේ නැතිනම් ලිවීමේ හැකියාව කෙතරම් තිබුණත් නිවැරැදි කරුණු ඉදිරිපත් කරන්න අපොහොසත් වෙනවා. ඒ නිසා සෑම විටම සාමාන්‍ය දැනුම සොයන්නෙක් විය යුතුයි. ඒ සඳහාත් පොත්පත් සඟරා, පුවත්පත් පරිශීලනය කිරීම අවශ්‍යයි. රට රටවල විශේෂ තොරතුරු , ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු , එදිනෙදා කාලීන තොරතුරු, කාලගුණික, දේශගුණික වෙනස්කම් පිළිබඳ අවබෝධයක් තිබීමත් වැදගත්. මේ සඳහා නිරන්තරව විමසිලිමත් වෙන්න සිද්ධ වෙනවා. පාසලේදී ලබන අධ්‍යාපනයට අමතරව අතිරේක පොත්පත්වලින්, තමන් ජීවත් වන පරිසරයෙන් දැනුම රැස් කරන්න පුරුදු වෙන්න ඕනෙ.”
” ඕනෑම දෙයකට හුරුවීමක් තිබිය යුතුයි. මට මතකයි මම මුලින්ම පුවත්පතකට ලිපියක් ලිව්වේ 8 ශ්‍රේණියේදියි. ඒ ලිපිය පුවත්පතේ පළවුණු විට මට දැනුණේ ලොකු සතුටක්. ඒ වගේම පුංචි ඔබටත් ඔබේ ලිපියක් පුවත්පතක පළවුණොත් ලොකු සතුටක් දැනේවි. එහෙත් ඒ සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන්න ඕනේ. එකවරක් කරන උත්සාහයෙන් එය සාර්ථක නොවෙන්න පුළුවන්. ඒත් අධෛර්යය නොවී දෙවැනි වරත් ඒ සඳහා උත්සාහ කරන්න ඕනේ. ලිපියක් ලියනවා කියන්නේ දන්න වචන ගොඩක් එකතු කරගැනීම නොවෙයි. ගැළපෙන වචන ටිකක් අනෙක් අයට තේරුම් ගන්න හැකි ආකාරයට එකතුකර ලිවීමයි. හැබැයි මේ ආකාරයට ලිවීමට නම් ලේඛකයාට එලෙස ලිවීමේ හැකියාව තිබිය යුතුයි. බොහෝ දෙනා මෙය දන්නේ නැහැ. ඒ නිසා තමයි, අපේ සන්නිවේදනය දුර්වල වෙන්නේ. නිවැරැදි ලෙස භාෂාව හැසිර වූවොත් නිවැරැදි තොරතුරු පාඨකයාට ලැබෙනවා. එසේ නැතහොත් පාඨකයාට ලැබෙන්නේ වැරැදි තොරතුරුයි. කුඩා කාලයේ සිටම නිවැරැදි තොරතුරු සමාජගත කරන සන්නිවේදකයකු වෙන්න උත්සාහ ගත යුතුයි. ඒ සඳහා භාෂාව නිවැරැදිව හසුරුවන්න කල්පනාකාරී වන්න. එවිට රටටත් , ඔබටත් යහපතක් වේවි කියලා මම හිතනවා.”
රූපාන්ති බුලත්සිංහල