එය වසරේ අවසාන දිනය වූ අතර, එමිලි සහ ඩැනියෙල්ට ඔවුන්ගේ උද්යෝගය පාලනය කරගත නොහැකි විය. ඔවුන් දෙදෙනා විශාල අලුත් අවුරුදු සාදයට සූදානම් වීමට තම මව්පියන්ට දවස පුරා උදව් කරමින් සිටියහ. නිවෙස පුරා කුකීස් සහ වෙනත් රසවත් කැවිලි වර්ගවල සුවඳ විහිදී ගියේ ය. දීප්තිමත් සැරසිලි සෑම තැනකම බැබළුණු අතර, මධ්‍යම රාත්‍රියේ මහ හඬින් නාද කිරීමට සූදානම්ව දිලිසෙන ඔරලෝසුවක් මැද සාලය කෙළවරේ සිටගෙන සිටියේ ය.
සවස් වන විට සීතල වැඩි වූ අතර, පිටත හිම මෘදු ලෙස වැටෙන්නට විය. සෑම විටම මෙන් කුතුහලයෙන් සිටි එමිලි ජනේලයෙන් එබිකම් කළා ය. “අද රෑ මොකක් හරි මැජික් එකක් සිදු වේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා,” ඇය රහසින් පැවසුවා ය.
තම සොහොයුරියට විහිළු කිරීමට ප්‍රිය කළ ඩැනියෙල් එය අසා සිනාසුණේ ය. “මැජික් කියන්නේ ඇත්ත දෙයක් නෙවෙයි එමිලි, මධ්‍යම රාත්‍රිය උදා වේවි , ඊට පස්සේ හැම අවුරුද්දේම වගේ අලුත් අවුරුද්දක් ආරම්භ වේවි” ඩැනියෙල් පැවසුවේ ය. ඒත් එමිලි, එය එතරම් විශ්වාස නොකළා ය . සඳ එළිය යට දිලිසෙන හිම පියලි ගැන යමක් ඇයට දැනෙන්නට විය.
“අපි එළියට යමු, ටික වෙලාවකට” එමිලි, ඩැනියෙල්ගේ අතින් අදිමින් පැවසුවා ය.
ඩැනියෙල් සුසුමක් හෙළූ නමුත් ඔහුගේ කබාය අල්ලා ගත්තේ ය. “හොඳයි, ඒ්ත් මිනිත්තු කිහිපයකට විතරයි. එළිය හරිම සීතලයි! ”
ඔවුහු ශීත ඍතුවේ අධික සීතල සහිත එළිමහනට පිටත්ව ගියහ. වීදි ලාම්පු එළියෙන් හිම පියලි දිලිසෙන බව පෙනුණු අතර, අසාමාන්‍ය ලෙස නිහඬ බවක් දැනුණි. ඔවුන් පසුපස මිදුල දෙසට ගමන් කරන විට, එමිලි අසාමාන්‍ය දෙයක් දුටුවා ය. ඔවුන්ගේ ගෙවත්තට එපිටින් තිබු කුඩා වනාන්තරයෙන් රන්වන් ආලෝකයක් පැමිණෙමින් තිබෙනු ඇය දුටුවා ය.
“ඩැනියෙල්, ඔයාට ඒක පේනවද?” එමිලි ඇසුවේ ආලෝකය පෙන්වමිනි.
ඩැනියෙල් ඇස් හොඳීන් ඇර ඒ දෙස බැලුවේ ය. “ඒක සමහරවිට ෆ්ලෑෂ් ලයිට් එකක් අතේ අරන් යන කෙනෙක් වෙන්න ඇති.”
එහෙත් එමිලිට එය පිළිගත්තේ නැත. ඇය වනාන්තරය දෙසට ඇවිදගෙන ගියා ය. ඇගේ සපත්තු හිමෙහි හැපෙන්නට විය . “අපි ඒ්ක පරීක්ෂා කරලා බලමු!” එමිලි පැවසුවා ය.
ඩැනියෙල් අකමැත්තෙන් මෙන් කෙඳීරි ගෑවත් ඇය පසුපස ගියේ ය. “ඔයා මාවත් අමාරුවේ දාන්නයි හදන්නේ” ඔහු මිමිනුවේ ය.
ඔවුන් වනාන්තරයට ඇතුළු වන විට රන් ආලෝකය වඩාත් දීප්තිමත් විය. හදිසියේම ඔවුන්ට දිලිසෙන විශාල ගසක් දැකගත හැකි විය. එහි අතු කුඩා විදුලි පහන්වලින් බැබළුණු අතර, එය ශක්තියෙන් මුමුනන්නට විය. ගස මුල කුඩා රුවක් සිටගෙන සිටියේ ය. ඒ තරු මෙන් දිලිසෙන සළුවකින් සැරසී සිටි සුදු දිගු රැවුලක් ඇති මහලු මිනිසෙකි.
“හොඳයි, ආයුබෝවන්,” මහලු මිනිසා උණුසුම් සිනහවක් නඟමින් කීවේ ය. “මං ඔයාලා එන තුරුයි බලා සිටියේ.”
එමිලි සහ ඩැනියෙල් නොසන්සුන් බැල්මක් හුවමාරු කරගත්හ. “ඔයා කවුද?” ඩැනියෙල් ඇසුවේ තම සොහොයුරිය ආරක්ෂා කරමින් ඇය ඉදිරියට යමිනි.
“මං තමයි කාලයට අධිපති පියා ” මිනිසා පැවසුවේ ය. “සෑම අලුත් අවුරුදු උදාවකම, ඉතා වැදගත් කාර්යයක් සඳහා මට උපකාර කිරීමට නිර්භීත දරුවන් දෙන්නෙක් මං තෝරා ගන්නවා. අද රෑ ඒ කාර්යය ඔය දෙන්නාට තමයි පැවරෙන්නේ .”
එමිලිගේ දෑස් කලබලයෙන් විශාල විය. “අපි මොනවද කරන්න ඕනේ?” ඔවුන් දෙදෙනා එක හඬින් ඇසූහ. එවිට කාලයේ පියා සිනාසුණේ ය. “අලුත් අවුරුද්ද අලුත් පොතක් වගේ, ලියන්න බලාගෙන ඉන්නවා. ඒ්ත් එය නිවැරැදිව ආරම්භ කිරීම සඳහා, අපි විශේෂ අංග තුනක් එකතු කරන්න ඕනෑ. ඒ තමයි බලාපොරොත්තුවේ ගිනි පුපුර, කරුණාවේ රිබන් පටිය සහ ප්‍රීතියේ සීනුව. ඔවුන් නොමැතිව අලුත් අවුරුද්ද ආරම්භ කරන්න බැහැ.” කාලයේ පියා පැවසුවේ ය.
කාලයේ පියා ඔහුගේ අත වැනූ අතර, රන් දොරටුවක් දිස් විය. “යන්න, ඔය දෙන්නා ඔයාලගේ ගමන ආරම්භ කරන්න. ඒත් ඉක්මන් කරන්න. අපි මධ්‍යම රාත්‍රියට කලින් මේ කාර්යය අවසන් කරන්න ඕනෑ!
එමිලි ඩැනියෙල්ගේ අතින් අල්ලා ගත්තා ය. “අපි යමු!” එමිලි, ඩැනියෙල්ව දොරටුව හරහා ඇද ගනිමින් කීවා ය.
අනෙක් පැත්තෙන්, ඔවුන්ට දිලිසෙන තණබිමක් හමු විය. කණාමැදිරියන් වාතයේ නටමින් සිටි අතර, ඉතා දුරින් ඔවුන්ට කුඩා, දිලිසෙන ආලෝකයක් පෙනුණි.
“ඒක බලාපොරොත්තුවේ ගිනි පුපුරක් වෙන්න ඇති” එමිලි ඒ දෙසට දිව යමින් කීවා ය.
ඔවුන් ඒ් දෙසට ළං වන විට, ගිනි පුපුර සෙවණැලි රූපයක් විසින් ආරක්ෂාකර ඇති බව ඔවුන්ට වැටහුණි. උස හා අද්භූත රූපයක් ඔවුන්ගේ මාර්ගය අවහිර කළේ ය. ඔහු එමිලිට සහ ඩැනියෙල්ට මෙසේ පැවසුවේ ය.
“බලාපොරොත්තුවේ ගිනි පුපුරක් ගැනීමට නම්, ඔයාලා මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ඕනෑ. අනෙක් අයට බලාපොරොත්තුව ගෙන එන්නේ කුමක්ද?”
එමිලි දැඩි ලෙස කල්පනා කළා ය. අවසානයේදී ඇය පැවසුවේ “කරුණාවන්ත වචන සහ මිනිසුන්ට අවශ්‍ය වූ විට ඔවුන්ට උපකාර කිරීම” යනුවෙනි. සෙවණැලි රූපය හිස වනමින් පසෙකට විය. බලාපොරොත්තුවේ ගිනි පුපුර එමිලිගේ අතට පාවී ආවේ උණුසුම් ලෙස බබළමිනි.
ඊළඟට, දොරටුව නැවත දර්ශනය වූ අතර, ඔවුන්ට මිනිසුන්ගෙන් පිරුණු කාර්යබහුල නගරයක් හමු විය. නගර චතුරශ්‍රය මැද කරුණාවේ දිලිසෙන පීත්ත පටියක් එල්ලා තිබිණි. එහෙත් ඔවුන් පුදුමයට පත් කරමින්, පීත්ත පටිය කණුවක ඉහළට බැඳ තිබූ අතර, එය එම නගරයේ වැසියන් කිසිවකු දුටුවේ නැත.
“අපි ඒක ලබා ගන්නේ කොහොමද?” ඩැනියෙල් කල්පනා කළේ ය.
කුඩා පිරිමි ළමයෙක් බරැති දර කූඩයක් රැගෙන යෑමට වෙහෙසෙන ආකාරය එමිලි දුටුවා ය. ඇය ඉක්මනින් ඔහුට උදව් කිරීමට දිව ගියා ය. “ඉන්න, මට ඔයාට උදව් කරන්න දෙන්න!” ඇය කීවා ය.
පිරිමි ළමයා කෘතඥපූර්වකව සිනාසුණු අතර, කූඩය ආරක්ෂිතව රැගෙන යෑමට එමිලි භාර ගත් වහාම, කරුණාවේ පීත්ත පටිය කණුවේ සිට එමිලිගේ අතට පාවී ආවේ ය.
ඩැනියෙල් සිනාසුණේය. “කරුණාව ඇත්තෙන්ම ප්‍රතිඵල ගෙන දෙන බව මං අනුමාන කරනවා”
දොරටුව අවසන් වරට දර්ශනය වූ අතර, ඔවුන් හිම කඳු මුදුනකට ගෙන ගියේ ය. ඔවුන්ට ඉහළින්, ප්‍රීතියේ දීප්තිමත් සීනුවක් ගසක අත්තක එල්ලී තිබිණි.
“අපි ඒ්කට ළඟා වෙන්නේ කොහොමද?” ඩැනියෙල් ඇසුවේ ය.
එක්වරම සුළඟ උඩු බුරන්නට වූ අතර, එමිලි සහ ඩැනියල් උණුසුම සඳහා එකට ගුළි වූහ. “ප්‍රීතිමත් දෙයක් ගැන සිතන්න,” එමිලි පැවසුවා ය. “සමහරවිට එය අපට උපකාර වේවි .”
ඩැනියෙල් මොහොතක් කල්පනාකර, අලුත් අවුරුදු ගීතයක් ගායනා කිරීමට පටන් ගත්තේ ය. එමිලිගේ හඬ ද එයට එක් විය. ඔවුන්ගේ සිනහව සහ කටහඬ කඳුකරය හරහා දෝංකාර දෙන්නට විය. ප්‍රීතියේ සීනුව සෙමින් ඔවුන්ගේ අත්වලට පාවී ආවේ ය.
එකතු කරන ලද අංග තුනම සමඟ, රන් දොරටුව විවෘත වී කාලයේ පියා බලා සිටි දිදුලන ගස වෙත ආපසු ඔවුන් ගමන් කරවීය.
“ඔය දෙන්නා සියලු කාර්යයන් හොඳීන් කළා” කාලයේ පියා එම භාණ්ඩ රන් පෙට්ටියක තැබුවේ ය. “ඔයාලාට ස්තූතියි, අලුත් අවුරුද්ද බලාපොරොත්තුවෙන්, කරුණාවෙන් සහ ප්‍රීතියෙන් ආරම්භ කරන්න පුළුවන්.”
ගසේ ආලෝකය දීප්තිමත් වූ අතර, කාලයේ පියා ඔහුගේ අත සෙලවීය. “ඔයාලාට ආපසු ගෙදර යෑමට කාලය එළඹිලා ” ඔහු පැවසුවේ ය. “සුබ අලුත් අවුරුද්දක්, එමිලි සහ ඩැනියෙල්. මතක තබා ගන්න, අලුත් අවුරුද්දේ මායාව ඔයාලාගේ අත්වලත් තිබෙනවා ”
එමිලි සහ ඩැනියල් නැවත තම මිදුලට පා තබන විට ඔරලෝසුවේ මධ්‍යම රාත්‍රියේ කණිසම නාද විය. ගිනිකෙළි අහස ආලෝකවත් කළ අතර, ඔවුන්ගේ මව්පියන් ඔවුන්ව කැඳවන හඬ ඔවුන්ට ඇසෙන්නට විය. එමිලි සහ ඩැනියෙල් එකිනෙකා දෙස බැලුවේ ඔවුන් සැබවින්ම ඉන්ද්‍රජාලික දෙයක් අත්විඳ ඇති බව දැන සිටි බැවිනි.
“සුබ අලුත් අවුරුද්දක් වේවා, ඩැනියෙල්” එමිලි සිනාසෙමින් කීවා ය.
“සුබ අලුත් අවුරුද්දක් වේවා , එමිලි,” ඩැනියෙල් පිළිතුරු දුන්නේ ය. ඔවුහු ආපසු නිවෙස වෙත ගමන් කළහ. මෙය ඔවුන්ට කිසිදා අමතක නොවන අපූරු රාත්‍රියක් බව ඔවුහු දැන සිටියහ.
ඉංග්‍රීසි ළමා කතාවක් ඇසුරෙන්
හර්ෂණී ගමගේ