වර්තමානයේ ව්‍යාපාරික ක්ෂේත්රයට දරුවන් හුරුකරවීමේ අවශ්‍යතාවක් පවතී. එයට හේතුව අපේ රටේ ආර්ථික දියුණුවක් අවශ්‍ය බැවිනි. දරුවන්ගේ කුසලතා එකිනෙකට වෙනස් වේ. ඔවුහු තමන්ට කැමැති කුසලතා දක්වන අංශවලින් ඉදිරියට යෑමට කැමැත්තක් දක්වති. මේ නිසා දරුවන් එවැනි අංශ කෙරෙහි හුරුකරවීම වැඩිහිටියන් වන අපගේ යුතුකමයි. මේ කාර්ය භාරය ඉටු කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ විදුහල්පතිවරයකු සහ ඔහුගේ පාසල වන හම්බන්තොට කදිරගොඩ ප්‍රාථමික විද්‍යාලය පිළිබඳයි මේ අප කතා කරන්න සූදානම් වන්නේ. ඉතින් දුවේ පුතේ, අහලා බලන්නකෝ ඔහුගේ කතාව.
” හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කදිරගොඩ ග්‍රාම නිලධාරී වසමේ මෙම පාසල පිහිටලා තිබෙනවා. මෙය ආරම්භ වෙලා තිබෙන්න්නේ 1957 වර්ෂයේදියි. දම්බල ගෙදර වත්තේ අක්කර භාගයක භූමියක මෙය ඉදිකර තිබෙනවා.1957දී ලංකා බෞද්ධ අධ්‍යාපන සංගමයට මෙය පවරා දුන්නා. 1957 මැයි මාසයේ 01 දින කදිරගොඩ බෞද්ධ මිශ්‍ර පාසලක් ලෙස මේ පාසල ලියාපදිංචි කළා. 1960 දෙසැම්බර් පළමුවැනිදා පාසල් අධ්යක්ෂතුමා පාලනයට ගැනීමෙන් පසු මිශ්‍ර පාසලක් ලෙස මේ පාසල පවත්වාගෙන ගියා. 1962 පෙබරවාරි පළමුවැනිදා මෙම පාසල සම්පූර්ණයෙන් රජයට පවාරාගෙන හම්බන්තොට කදිරගොඩ විද්‍යාලය ලෙස නම් කළා.”
”1969 දෙසැම්බර් මාසයේදී තිබුණු ගංවතුර නිසා පාසල පැවැත්වුණු ස්ථානයේ පාසල පවත්වාගෙන යෑමට නොහැකි වෙලා තිබෙනවා. මේ නිසා අද තිබෙන තැනට පාසල ගෙන ඒමට එවකට සිටිය පාලනාධිකාරිය තීරණය කරලා තිබෙනවා. 1970 අප්‍රේල් පළමුවැනිදා මේ ස්ථානයේ පාසල අභිනවයෙන් ආරම්භ කරලා තිබෙනවා. එවකට පුරප්පාඩුවක් ලෙස පැවැති මුල් ගුරු තනතුර 1970 වර්ෂයේදී එච්. ඩී. සිල්වා මහතා භාරගෙන තිබෙනවා. මෙය මේ පාසලට ශක්තියක් වී තිබෙනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව මේ පාසල සංවර්ධනය වෙලා තිබෙනවා.”
”පාසලේ දරුවන්ගේ වර්ධනය සඳහා රජය ක්‍රියාත්මක කරන ලද පෝෂක පාසල් 5000ක වැඩසටහන හේතුවෙන් මේ පාසලෙත් ගොඩනැඟිලි අලුත්වැඩියා වුණා. 2014දී අපේ පාසලේ ශිෂ්‍යත්වය සමත් වෙලා තිබෙන ශිෂ්‍ය සංඛ්‍යාව සියයට තිස්තුනක්. අප අලුත් පුස්තකාල ගොඩනැඟිල්ලක් විවෘත කළා. ඒ වගේ පරිගණක විද්‍යාගාරයක් ද අලුතින් ඉදි කළා.”
” අපේ පාසලට දැක්මක් තිබෙනවා. ඒ තමයි කලාපයේ හොඳම හා ජනප්‍රියතම ප්‍රාථමික පාසලක් බවට පත් කිරිම. ඒ වගේම අපේ පාසලේ මෙහෙවර තමයි, සාරධර්මවලින් හෙබිවූ ද ගුණනුවණින් යුතු ද රට දැය සමයට ආදරය කරන්නාවූත් උතුම් දරු පිරිසක් මව්බිමට දායාද කිරීම.”
”වර්තමානයේ සිසු දරුවන් දැනුමට විතරක් සීමා කිරීම සුදුසු නැහැ. ඒ හින්දා තමයි අපි ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළක් යොදලා තිබෙන්නේ. කුසලතා වර්ධනය කිරීමට නම් මානසික සංවර්ධනයත් ඇති කරන්න ඕනේ. ප්‍රාථමික පාසලක් වුවත්, දරුවන්ට එවැනි වාතාවරණයක් සැලසීමට අපේ පාසලේ ගුරුවරු සමත් වෙලා තිබෙනවා. කුඩා දරුවන් කියලා අප ඔවුන්ව සීමා කරලා නැහැ. ඔවුන්ගේ දක්ෂතා ඔප්නැංවීම සඳහා අප සෑම පියවරක්ම ගන්නවා. කුසලතා කියන්නේ දරුවකුගේ පෞරුෂත්වය නඟා සිටුවන අවශ්‍යතාවක්. මේ නිසා අප ඒ වෙනුවෙන් විශේෂයෙන්ම කැප වෙනවා.”
” අපේ පාසලේ ළමයින්ගේ අම්මලා තාත්තලා වෙනුවෙන් ඉංග්‍රීසි පන්තියක් පවත්වනවා. ඒ වගේම දරුවන්ට ගෙදරදොරේ වැඩ කටයුතු කිරීමට හුරු කරන ගෘහ විද්‍යා පන්තිත් පවත්වනවා. දරුවන්ට සමාජාවබෝධයක් කුඩා කාලයේ සිටම ලබා දිය යුතුයි. මෙවර අපේ පාසලේ ශිෂ්‍යත්වය සමත් වෙලා තිබෙන ළමයි සංඛ්‍යාව සියයට සියයක්. එයින් වෙනත් පාසල්වලට යෑමට සුදුසුකම් ලබා තිබුණේ සීමිත පිරිසක් පමණයි. අතීත ප්‍රතිඵල ගැන සිතන විට මේක විශිෂ්ට ජයග්‍රහණයක්. මේ නිසා අපට අපේ පාසල ගැන ඇත්තේ ලොකු ආඩම්බරයක්.”
අනාගත ලෝකයට ගැළපෙන යහපත් පුරවැසියන් බිහි කරන පාසලක් වේවා යැයි, අපි මිහිර පුවත්පත වෙතින් සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල