Home » Blog » පොත්පත් අපේ ජීවිතේ කොටසක් කරගනිමු

පොත්පත් අපේ ජීවිතේ කොටසක් කරගනිමු

by thanushika
0 comments

වර්තමානයේ සියලුම දරුවන් තරගයට යොමු වෙලා. එකිනෙකා පරදවා නැඟී සිටින්නට හැමෝම උත්සාහ දරනවා. එහෙත් පිටතින් නොබැලුවාට සෑම දරුවකුටම මේ නිසා හානියක් සිදු වෙනවා. මේ හානියේ ප්‍රතිඵලය සමාජයට අත්වි¼දීමට සිදු වනුයේ දරුවා වැඩිහිටියකු වූ විටයි.

මේ පිළිබඳ ප්‍රවිණ මාධ්‍යවේදියකු සහ සිළුමිණ පුවත්පතෙහි හිටපු කර්තෘවරයකු වන තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.

” සමාජ පරිසරය නිරන්තරයෙන්ම වෙනස් වෙන දෙයකි. කලින් කලට එය විවිධ මුහුණුවරක් ගන්නවා. අතීතයේදී අපට තිබුණේ සරල සමාජයක්. එහෙත් වර්තමානය වන විට එය සංකීර්ණ වෙලා. වැඩිහිටියන් තමන්ගේ රාජකාරීවල නිරත වෙන්නේ තරගයට වගේ. ඒ අයට පුංචි දරුවන් ගැන සොයලා බලන්න වෙලාවක් නැහැ. ඒ කියන්නේ වැඩිහිටියන් ආර්ථික උත්පාදන මාර්ගවල නිරත වෙලා. ඒ අය කාර්යය බහුල වෙලා. මේ නිසාම එකිනෙකා සමඟ ඇති සබඳතා දුරස් වෙලා. බොහෝ දරුවන්ට ජංගම දුරකතනය ලබාදෙන්නේ අම්මලාමයි. ඒකට හේතුව ඔවුන්ගේ වැඩ කඩිනම් කරගන්න දරුවාට මේ දුරකතනය දීලා ඒකට යොමු කරනවා. මේක හොඳ පුරුද්දක් නෙවෙයි. එතකොට දරුවා කුඩා කාලයේදීම ජංගම දුරකතනයට ඇලුම් වෙනවා.”

”ජංගම දුරකතනයට දරුවා පොලඹන්නේ අම්මලාමයි. ජංගම දුරකතනය දරුවාට දීලා අම්මලා ඒ අයගේ වැඩ කටයුතුවල නිරත වෙනවා. ඒකෙන් අප දරුවාට කරන්නේ වැරැද්දක්. මේ නිසා නිරායාසයෙන්ම දරුවා ජංගම දුරකතනයට ඇබ්බැහි වෙනවා. අද අම්මලා දරුවන්ට කවන්නේ පොවන්නේ පවා ජංගම දුරකතනය ළඟ තියාගෙනයි. ජංගම දුරකතනයේ ඇති කතන්දර තමයි දරුවන් දන්නේ. මේ නිසා දරුවන් ලෝ වැඩ සඟරාවේ, සුභාෂිතයේ තිබෙන කවි දරුවන් දන්නේ නැහැ. අතීතයේ තිබුණ විස්තෘත පවුල් ක්‍රමය නිසාම දරුවන්ට කතා කියලා දෙන්න අත්තම්මලාට සීයලාට හැකි වුණා. උපමා, ප්‍රස්තා පිරුළු, ජනකතා මේ හැම දෙයක්ම අත්තම්මලා දරුවන් වට කරගෙන කියලා දුන්නා. වර්තමානයේ එවැනි තත්ත්වයක් නැහැ. ළමා කාලයේදී තමයි දරුවන්ට සෞන්දර්ය, සාහිත්‍ය කියලා දෙන්න ඕනේ. එතකොට තමයි ඔවුන් වැඩිහිටි වුණ විගස ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නේ. සාහිත්‍යමය අවබෝධය නිසා අනෙක් අය ගැන සංවේදීව බැලීමට හැකි මනසක් ලැබෙනවා. එය සමාජීය වෙනසක් කිරීමට හැකියාව ලැබීමක්.”

”පනින්න පෙර හිතා බලමු, ආරේ ගුණ නෑරේ, පනින රිලවුන්ට ඉනිමං බැන්දා වගේ, වැනි උපමා දරුවන් දැන ගන්නේ වැඩිහිටියන්ගෙන්. ඒත් වර්තමානයේදී දරුවන්ට එවැනි හුරුවීමක් නැහැ. ඒක ඔවුන්ගේ අනාගතයට සිදු වෙන ලොකු පාඩුවක්. එදා දරුවන් පොත්පත් කියවීමට හුරුවෙලා තිබුණා. ඒවගේම ඒ අය පත්තර කියවන්නත් කැමැත්තක් තිබුණා. විශේෂයෙන් මිහිර පත්තර ගොඩක් දරුවන් කියෙව්වා. ඒ වගේම එයින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අද හැමදෙයක්ම ඩිජිටල් වෙලා. ඒක දරුවන්ට සිදුවී තිබෙන විශාල පාඩුවක් විදිහට තමයි මම දකින්නේ.පොතක් පතක් වගේම පුවත්පතක් වුවත්, අතින් අල්ලලා කියවලා බැලුවොත් තමයි ඒ ගැන අපේ හිතේ දැඩි කැමැත්තක් ඇති වෙන්නේ. ඒ කැමැත්ත ඇති වෙන්න තිබුණු අවස්ථාත් අද අඩුවෙලා. ඒක දරුවන්ට ඇති වුණු විශාල පාඩුවක්. දරුවන් පොතපතට හුරු කරවන්න ඕනේ කුඩා කාලයේදීමයි. ඒක මව්පියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේත් වගකීමක්. මට පෙනෙන

විදිහට අද පොත්පත් කියවන ගුරු සංඛ්‍යාව අඩු වෙලා. වැඩිහිටියන් ගැන කියන්න තියෙන්නෙත් එවැනිම දෙයක්. ඔවුන් කවියට, කතාවට , සාහිත්‍යයට තිබෙන නැඹුරුව ගොඩක් අඩු කරලා . ඒ වෙනුවට ඔවුන් මුහුණුපොතේ සැරිසරනවා. ඒ අයගේ ආභාසය තමයි දරුවනුත් අත්විඳීන්නේ. ඒ නිසා දරුවන්ටම වැරැදි කියන්න අපට බැහැ. ඒ අය අනුගමන කරන්නේ වැඩිහිටියන්. මේ නිසා අපේ වැඩිහිටියන් මේ ගැන අවධානය යොමු කරලා දරුවන්ට පොතපත කියවන්න හුරු කළහොත් වඩාත් හොඳයි කියලායි මට හිතෙන්නේ. ඒ වගේම පත්තර කියවන්නත් දරුවන් උනන්දු කරවන්න ඕනේ. එහෙම නැතිනම් අනාගතයේ සංවේදී, කරුණාවෙන් පිරුණු පරපුරක් ඇති වන්නේ නැහැ. මේ නිසා අප සියලු දෙනාම ඒ ගැන සැලකිලිමත් වුණොත් හොඳයි. ඒක අප සෑමදෙනාගේම වගකීමක්.

රූපාන්ති බුලත්සිංහල


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department