Home » Blog » නුවණක්කාර මාෂා

නුවණක්කාර මාෂා

by thanushika
0 comments

එකමත් එක කාලයකදී රුසියාවේ කුඩා ගම්මානයක මහලු යුවළක් වාසය කළා. ඔවුන් සමඟ ඔවුන්ගේ මිනිබිරියක් ද එම නිවෙසේ සිටියා. ඇයගේ නම මාෂා. එක දවසක් මාෂාගේ මිතුරියන් පිරිසක් බිම්මල් සහ කැලෑ බෙරි කඩන්න අසල තිබූ කැලෑවට යන්න මාෂාටත් කතා කළා.

“අත්තම්මේ !අත්තේ! මං යන්නද මෙයාලත් එක්ක බිම්මල් කඩාගෙන එන්න?”

මාෂා ඇසුවා.

“ඔයා ගියාට කමක් නැහැ. හැබැයි යාළුවන්ගෙන් ඈතට යන්න එහෙම එපා. ඔයා කැලෑවේ තනි වුණොත් ඔයාට ආපහු එන පාර හොයාගන්න බැරිව කැලෑවේ අතරමං වේවි”

අත්තම්මයි අත්තයි මාෂාට අවවාද කළා.

” ‌හොඳයි මං පරෙස්සම් වෙන්නම්” අත්තම්මලාට පොරොන්දු වූ

මාෂා මිතුරියන් සමග බිම්මල් හොයන්න කැලෑවට ගියා. ඔවුන් බිම්මල් කඩමින් ,බෙරි ගෙඩි කඩමින් කැලෑවේ ඇතුළටම ගියා. මාෂාත් බෙරි පඳුරෙන් පඳුරට ඇවිදගෙන ගියා. මාෂා හදිසියේ වට පිට බැලුවා. මිතුරියන් කවුරුවත් පේන්න නැහැ. ඇයටත් නොදැනුවත්වම ඇය මිතුරියන්ගෙන් ගොඩක් ඈතට ගිහිල්ලා. හොඳටම බය වුණු මාෂා මහ හයියෙන් කෑ ගසා මිතුරියන්ට කතා කළා. ඒත් ඇයගේ හඬ ඇසෙන තරම් ළඟකින් එක මිතුරියක්වත් සිටියේ නැහැ. මාෂාගේ බිය වැඩි වුණා. ඇය වේගයෙන් ඇවිද ගෙන ගියා මිතුරියන් සොයමින්. ඒ්ත් ඇය තව තවත් ඇවිද ගියේ කැලෑවේ ඇතුළටයි. ඝන කැලෑව තුළට ඇවිද ගිය ඇයට කුඩා නිවෙසක් පෙනුණා. ඇය නිවෙසේ දොර අල්ලා බැලුවා. එය අගුළු දමා තිබුණේ නැහැ. ඇය බයෙන් බයෙන් ඒ නිවෙසට ඇතුළු වුණා. ඒ වෙලාවේ එහි කිසිම කෙනෙක් සිටියේ නැහැ. ඇය නිවෙස තුළ තිබූ බංකුවක වාඩි වුණා.

” කවුද මේ ගෙදර ඉන්නවා ඇත්තේ ? ”

ඇය කල්පනා කළා. ඒ නිවෙසේ සිටියේ කවුද දන්නවද? ඒ තමයි විශාල වලසෙක්. වලසා කෑම සොයන්නට කැලෑව තුළට ගොස් තිබූ අවස්ථාවකයි මාෂා, ඒ නිවෙසට ඇතුළු වුණේ. ටික වේලාවකින් වලසා නිවෙසට ආවා. නිවෙස තුළ සිටි මාෂා දුටු වලසාට සතුටු හිතුණා.

“ඔය ළමයට ආපහු ‍ගෙදර යන්න දෙන්න නම් බැහැ. මීට පස්සෙ මේ ගේදොර වැඩ ඔක්කොම කරගෙන හොඳට කීකරුව අවංකව මෙහි ඉන්න ඕනෑ”

වලසා පැවසුවා.

මාෂාට බය හිතුණා. දුක හිතුණා. ටික දවසක් දුකෙන් කල්පනා කරමින් සිටිය මාෂා පසුව සිත ශක්තිමත් කරගෙන වලසාගේ නිවෙසේ වැඩපළ කරන්න පටන් ගත්තා .

“ඔය ළමයා මං ගෙදර නැති වෙලාවේ මෙතැනින් පැනලා යන්න හැදුවොත් මං ඔය ළමයව ගිල දානවා එක කටට”

සෑම උදෑසනකම කැලෑවට යන්නට පෙර වලසා මාෂාට එහෙම කිව්වා.

වලසා ගිය පසු ගෙදර වැඩ කරන ගමන් මාෂා කල්පනා කළේම මේ නිවෙසින් පැනලා යන්නේ කොහොමද කියලයි. කල්පනා කරලා, කල්පනා කරලා මාෂාට අන්තිමේදී ‍ කදිම අදහසක් සිතට ආවා. එදා හවස වලසා ගෙදර ආවාම මාෂා වලසාට කතාකර මෙසේ පැවසුවා.

“වලස් හාමි! වලස් හාමි! මට මගේ අත්තම්මයි අත්තයි බලලා එන්න ගෙදර ගිහින් එන්න ඕනෙ. එයාලා හරි කැමැතියි කේක් කන්න. මට එයාලට ඒවා ගිහින් දෙන්න ඕනෑ”

“මට කේක් හදලා දෙන්න මං ඒවා ගිහින් දෙන්නම්. ඔය ළමයා තනිවම ගියොත් කැලෑවේ අතරමං වේවි”

වලසා පැවසුවා.

මාෂාටත් ඕනෑ වුණේ ඒකයි. ඇය හණිකට රසම රස කේක් හැදුවා. කේක් ටික විශාල පිඟානක ඇසුරුවා. කේක් පිඟාන විශාල වේවැල් කූඩයක් තුළ තැබුවා.

“වලස් හාමි කේක් ටික සූදානම්. දැන් ඔයා යන්න පිටත් වෙන්න. හැබැයි මඟදි මේ කූඩය ඇරලා බලන්න තහනම්. ඒවා කන්නත් බැහැ. මං අර උසම උස ඕක් ගසට නැඟලා බලා ඉන්නවා .හොඳයි දැන් යන්න. ඊට කලින් බලන්න එළියෙ වහිනවද කියලා ”

වලසා එළියට ගියා විතරයි මාෂා හණිකට කේක් කූඩයට රිංගලා හැංගුණා. නිවෙසින් පිටත වහින්නේ නැති බව දුටු වලසා ආපසු නිවෙස තුළට ආවා. කේක් කූඩය සූදානමින් තිබුණා. වලසා, මාෂා හැංගුණ කේක් කූඩයත් පිටේ එල්ලාගෙන මාෂාගේ ගම්මානය බලා පිටත් වුණා. ”ටොක් !ටොක්!” වලසා විශාල අඩි තබමින් කැලෑව මැද්දෙන් ඇවිදගෙන ගියා. විශාල පයින් ගස් , බර්ච් ගස් අතරින් වලසා ඈතට ඈතට ගමන් කළා. බොහෝ දුර ඇවිදලා වලසාට හරි මහන්සියක් දැනුණා. ගස් කොටයක් අසල නැවතුණු වලසා මෙහෙම පැවසුවා.

මං ටිකකට වාඩි වෙලා

විඩා නිවන්නට ඕනෑ.

ඒ ගමන් ම කේක් රසත්

බලන්න ඕනෑ හෙමිහිට

වලසා එසේ පවසනවාත් සමඟම මාෂාගේ කටහඬ ඈතින් ඇසෙන්න පටන් ගත්තා.

වලස් හාමි ! වලස් හාමි!

මට පෙනෙනවා වලස්හාමි

නවතින්නට එපා මෙතැන

අරින්නෙපා මේ කූඩය

මං කියනා දේ කරන්න

කේක් අරන් ගිහින් හණික

දෙන්න මගේ අත්තම්මට

“මොනවා! මාෂාට මේ තරම් දුරට ඇස් පෙනෙනවද ? හරි පුදුමයිනේ. හරිම දක්ෂ දැරියක්නේ ඇය”

වලසා පුදුමයෙන් එසේ සිතමින් කැලෑව මැදින් ඇවිද‍‍ගෙන ගියා. තවත් දුර ඇවිද ගිය පසු වලසාට නැවතත් මහන්සි දැනුණා.

ගස් කොටයක් අසල නැවතුණු වලසා මෙහෙම පැවසුවා.

මං ටිකකට වාඩි වෙලා

විඩා නිවන්නට ඕනෑ.

ඒ ගමන් ම කේක් රසත්

බලන්න ඕනෑ හෙමිහිට

එතකොටම මාෂාගේ කටහඬ ඇසුණා.

වලස් හාමි! වලස් හාමි!

මට පෙනෙනවා වලස්හාමි

නවතින්නට එපා මෙතැන

අරින්නෙපා මේ කූඩය

මං කියනා දේ කරන්න

කේක් අරන් ගිහින් හණික

දෙන්න මගේ අත්තම්මට

“මොනවා මාෂාට මේ තරම් දුරට පෙනෙනවද? මේ තරම් දුරට ඇසෙනවද ? ඇය ඒ තරම් උස ඕක් ගසකට නැඟලද ඉන්නේ?”

වලසට හරිම පුදුමයි. වලසා නවතින්නේ නැතිව දිගටම ගමන් කළා. ගිහින් ගිහින් වලසා මාෂාගේ ගම්මානයට ළං වුණා. වලසා, මාෂා කියා දුන් සලකුණු අනුව මාෂාගේ නිවෙස සොයා ගත්තා. මාෂාගේ නිවෙසේ ගේට්ටුව අසල නැවතුණු වලසා ගේට්ටුවට තට්ටු කළා. එම ශබ්දය ඇසී අහළ පහළ ගෙවල්වල සිටි බල්ලන් රංචුවක්ම එතැනට මහ හඬින් බුරාගෙන දිව ආවා. එය දැක බියට පත් වූ වලසා කේක් කූඩයත් එතැන දමලා පැනලා දිව්වා. ඒ ශබ්දය මොකක්දැයි කියා බලන්නට අත්තයි අත්තම්මයි ගේට්ටුව ළඟට ආවා. ඔවුන් දුටුවා විශාල වේවැල් කූඩයක්.

“මේ මොනවද මේකේ?”

පුදුමයට පත් වූ ඔවුන් එය විවෘතකර බැලුවා.

මෙන්න බොලේ මාෂා ඉන්නවා ඒක ඇතුළේ පණ පිටින්ම! මාෂා එයින් බැස හරිම සතුටින් අත්තවයි අත්තම්මවයි සිප වැළඳ ගත්තා. ඉන් පසු ඇය තමන්ට සිදු වූ සියලු දේ ඔවුන් සමඟ විස්තර කළා. ආයේ නම් කැලෑවෙ ඈතට බෙරි කඩන්න නොයන්නටත් ඇය ඔවුන්ට පොරොන්දු වුණා. ඒ විතරක් නෙවෙයි වලසාව රවටා තමන් කේක් කූඩයේ සැඟ වී පැමිණි ආකාරයත් මාෂා විස්තර කළා. එය අසා ඔවුන් මාෂාගේ නුවණ ගැන අගය කළා. ඒ විතරක් නෙවෙයි එයාලා තුන්දෙනා මාෂා ගෙනාව කේක්වල රසත් බැලුවා.

මේ කතන්දරය කිය වූ පුංචි ඔයාලාත් මාෂා වගේ තැනට සුදුසු නුවණින් කටයුතු කරනවා නේද?

රුසියානු ජන කතාවක් ඇසුරින්

හර්ෂණී ගමගේ

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department