ආදරණීය දුවේ පුතේ, අද දවසේ උරුමයක වගතුගවලින් ඔයාලට මම ශ්‍රී ලංකාවේ තවත් ඓතිහාසික වශයෙන් වැදගත්කමක් තිබෙන ස්ථානයක තොරතුරු කියාදෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ තමයි දනකිරිගල රජමහා විහාරස්ථානය.
මෙම විහාරස්ථානය මාවනැල්ලේ සිට අරණායක මාර්ගයේ උස්සාපිටිය හන්දියෙන් හැරී ගල්අතර මාර්ගයේ කි. මී. 5ක් ගමන්කර හමුවන පාට්ටගම ගම්මානයේ කඳුගැටයක පිහිටා තිබේ. මනරම් කඳු වැටියකින් අලංකාර වී ඇති මෙම විහාරස්ථානය සුන්දර පරිසරයකට උරුමකම් කීම හේතුවෙන් බැතිමතුන් විශාල සංඛ්‍යාවකගේ පුද පූජාවන්ට ලක්ව තිබේ.
දනකිරිගල පර්වතය පව්ව ඉහළට යන තෙක් කළුගල් අල්ලා තැනූ පියගැට 367ක් මෙම විහාරස්ථානයට ප්‍රවේශ වීමේදී අපට දැක
ගත හැකි ය. මෙම පියගැටපෙළ ඉදිකරන ලද්දේ යැයි සැලකෙන්නේ නුවර රාජධානි සමයේ හතර කෝරළේ පාලනය කළ ලෙව්කේ විජේසුන්දර බණ්ඩාර දිසාවේ විසිනි. මෙම විහාරස්ථානය නැවත ඉදිකිරීමට මුල්වී ඇත්තේ ද ඔහු ය. පිටගැට නැඟීමෙන් අනතුරුව ලෙන් විහාර අංගනයට ප්‍රවේශ විය හැකි ය. කඳු මුදුනට ආසන්නව මෙම විහාරය ඉදිකර තිබේ. මහනුවර යුගයේදී මෙම විහාරය නවීකරණයකර තිබේ. මෙහි ඉතිහාසය පැහැදිලි කරන්නේ ලෙන අසල පිහිටුවා ඇති සෙල්ලිපියයි. එහි‘පරුමක වෙශ පුත පරැමක වෙශහ ලෙණෙ’ යනුවෙන් එහි සඳහන් වේ. එහි අර්ථය නම් වෙස නම් වූ ප්‍රධානියාගේ පුත්‍ර වෙස ප්‍රධානියාගේ ලෙන යන්න යි. මෙම විහාර ලෙන අසලින් බටහිර බෑවුම දෙසට ගොස් නැවත නැඟෙනහිර දෙසට යන විට කැලෑවේ සැඟවුණු තවත් ලෙන් තුනක් දක්නට ලැබේ. එයින් එක ලෙනක පරුමක නදක ලෙණෙ (නන්ද ප්‍රධානියාගේ ලෙන) යනුවෙන් කොටන ලද පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපියක් හමු වේ.
මෙහි විහාර අංගනය පර්වත බෑවුමේ ප්‍රාකාරයක් බැඳ, පස් පුරවා සමතලා කර සකස්කර තිබේ. මෙහි පිහිටි ලෙන ප‍්‍රමාණයෙන් කුඩා වුවත් එහි ඇති ප්‍රතිමා සහ බිතුසිතුවම් මහනුවර යුගයට අයත් වටිනා නිර්මාණ වශයෙන් සලකයි.
පෙති උළු යෙදූ පියස්සකින් යුක්ත විහාර මන්දිරය ඉදිරිපස මළුවේ බෝධිඝරයක් ඉදිකර තිබේ. එහි පුරාණ බෝධීන් වහන්සේ අභාවයට ගොස් ඇතත් ඔපමට්ටම් කළ කළු ගලින් තනා ඇති බෝධිඝරය සමචතුරස්‍රාකාර හැඩයෙන් යුක්ත ය. මෙහි දැවයෙන් කළ විශිෂ්ට මකර තොරණක් හා රන් පිළිමයක් තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, මෙහි වූ බුද්ධ ප්‍රතිමා ද නිදන් සොරුන් විසින් විනාශකර දමා තිබේ. විහාරයේ තිබූ කුඩා දාගැබට ද සිදුව ඇත්තේ එම විනාශයම ය.
මෙහි මැටියෙන්කර හුණු බදාම ආලේප කරන ලද මකර තොරණ තුනක් ද විහාර පරිශ්‍රයේ දක්නට හැකි ය. මකර තොරණ යට හිඳී බුදු පිළිම හතරකි. එයට අමතරව හිටි බුදු පිළිම හයක් ද සැතපෙන පිළිමයක් ද දකුණුපස විහාර බිත්තියට පිටුපා පිහිටා ඇත. මෙහි ඇති වටිනා සම්පතක් වන්නේ මෙහි ඇති චිත්‍ර හා මූර්ති ය. ඒවා කීර්ති ශී‍්‍ර රාජසිංහ රජ සමයේ සිටි විශිෂ්ට සිත්තරකු වූ දෙවරගම්පල සිල්වත් තැන නම් භික්ෂූන් වහන්සේ විසින් අඳීන ලද චිත්‍ර හා මූර්ති වශයෙන් සැලකේ. මෙම සිතුවම් නිමාකර ඇත්තේ සීමිත වර්ණ ප‍්‍රමාණයකින් වීම එහි ඇති තවත් විශේෂත්වයකි.
මෙහි බිතුසිතුවම් අතර විශේෂත්වයක් වන්නේ පුරාණ සිංහල ගමක ජන ජිවිතය නිරූපණය කෙරෙන සිතුවමයි. විහාරය අසල පිහිටි දහස්වත්ත නම් වූ ගස්වැල්වලින් පිරි උයන සිතුවමට නඟන ලද්දේ ලෙව්කේ දිසාවගේ අදහසක් අනුව බව ජනප්‍රවාදයේ සඳහන් වේ.එම සිතුවමෙහි පොල්, පුවක්, කිතුල්, සල්, සපු, නා, කොස්, අඹ, තල් යන ශාක මනාව හඳුනාගත හැකි සේ සාම්ප‍්‍රදායික චිත‍්‍ර ලක්ෂණ අනුව යමින් නිර්මාණයකර තිබේ. නාගසින් මල් නෙළන්නා, කිතුලට මුටිටියක් ගෙන නඟින මල් කපන්නා, සපු ගසින් මල් නෙළන්නා, අඹ ගසේ සිටින වඳුරන් එවැනි ස්වාභාවික සිදුවීම් මෙම සිතුවමෙහි අපට දැක ගත හැකි ය. එහි පත්තෑයා, ගෙම්බා, දිමියා සහ දිමි ගොටු පවා චිත්‍රයට අයුරු විස්මිත ය.
මෙහි ලෙව්කේ දිසාවගේ ප්‍රතිමාවක් ද දක්නට හැකි ය. එය අඩි 8ක් පමණ උස වේ. එහි ඇඳුම් ප‍්‍රදේශාධිපතියකුගේ ස්වභාවය පෙන්නුම් කරයි. විහාරය ඉදිරිපස මළුවේ බෝධිඝරයක් පිහිටා ඇත. ලෙනට වම් පසින් ඉදිරියට නෙරූ ගල් තලයේ සිරිපා සලකුණ සටහනක් ද පිහිටුවා තිබේ. විහාර ලෙන පිටුපසින් විශාල ගල් පර්වතයක් දක්නට හැකි අතර, ඒ මත වූ පොකුණ පස්වලින් පිරී ගොස් ය. එම පර්වත බැම්මේ තවත් තැනකින් පහළට බැසීමට පියගැට 48ක් කපා ඇත.
ලක්නා නිරෝෂිමාලා