ආදරණීය දුවේ පුතේ, සුන්දරව සිනාසෙන්න ඔබේ මුතුවැනි දත් ගොඩක් වටිනවා. ඇතැම් දුවලා පුතාලා මේ ගැන සැලකිලිමත් වන්නේ නැහැ. ඒ අය තමන්ගේ හිතුමතේ ඕනෑ ඕනෑ ජාති කනවා. ඒ නිසා දත් ඉතා ඉක්මනින් නරක් වෙනවා. මේ නිසා ඔබේ දත් ආරක්ෂා කරගන්න ඔබ වග බලාගන්න. මේ නිසා ඔබ සෑම විටම ඔබේ දත් පිළිබඳ උනන්දු වන්න.
► දිනපතා උදේ සහ රාත්‍රී නින්දට යෑමට පෙර ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිත කරමින් දත් මදින්න. දත් මැදීමේදී දත්වල සියලුම පැති, විදුරුමස දාරය, තල්ල, කම්මුල් ඇතුළු පැත්ත ආවරණය වන සේ විනාඩි 5ක් දත් මැදිය යුතු ය.
► කුඩා දරුවකු නම් අවම වශයෙන් වයස අවුරුදු හත වන තෙක්ම මව්පියන් විසින් දත් මැදීම අධීක්ෂණය කළ යුතු ය.
► ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න දත් වර්ධනය කිරීමට සහ පවත්වා ගැනීමට ඔබගේ ආහාරවේල ඉතා වැදගත් වේ. ශක්තිමත් දත් සෑදීම සඳහා දරුවාගේ ආහාරවේලට කැල්සියම් (යෝගට්, බ්‍රොකලි සහ කිරි) වැනි හොඳ මූලාශ්‍ර ඇතුළත් කිරීම ප්‍රයෝජනවත් වේ. සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ගැන දරුවාට ඉගැන්වීම ජීවිත කාලය පුරාම යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා හොඳම පිළිවෙත්වලින් එකකි.
► පැණි රස සහ පිටි සහිත ආහාර, කෙටි ආහාර වෙනුවට පලතුරු සහ එළවළු අනුභව කරන්න.
► පලතුරු යුෂ ඇතුළු සීනි අඩංගු බීම නොගන්න. ඒ වෙනුවට ජලය වඩා සුදුසු ය. ජලය මඟින් මුඛයේ ඛේටය ස්‍රාවය යහපත්ව තබා ගැනීමටත්,ආම්ලික වීම අවම කිරීමටත් උපකාරී වේ.
► කුඩා දරුවකු නම් මාස හයකට වරක්, වැඩිහිටියකු නම් වසරකට වරක්වත් දන්ත වෛද්‍ය උපදෙස් මත දත් පරීක්ෂා කරවා ගන්න.
► දත් දිරායෑම සිදු වන්නේ මුඛයේ ඇති බැක්ටීරියා ක්‍රියාකාරිත්වය නිසා සෑදෙන අම්ල මඟින් දත මතුපිට කැල්සියම් ඇතුළු ලවණ වර්ග ඉවත් වීමෙනි.
► දත් කුහර සෑදීමට ප්‍රධාන හේතුව අම්ල වුවත්, මෙම ක්‍රියාවලියට උදවු කරන අනෙකුත් අවදානම් සාධක රාශියක් හඳුනාගෙන ඇත. ඒ අතර, මුඛයේ අපවිත්‍රතාව, පොකුරු, ඇද වූ හා කරකැවුණු දත් පිහිටීම, පැණි රස ආහාර නිතරම භාවිත කිරිම, ඛේටයේ ස්‍රාවය මදි වීම, අස්වාභාවික ආහාර පුරුදු, නිසි ලෙස සකස් නොකළ හා නඩත්තු නොකළ දත් තිබීම, මුඛ පලඳනා, ආම්ලික ආහාර පාන වැනි දේ බලපායි.
► සීනි සහිත ආහාර සහ බීම වර්ග බොහොමයක් අනුභව කිරීම සහ පානය කිරීම ඔබේ දත් දිරායෑමේ අවදානම වැඩි කරයි. එහෙත් දත්මැදීම සහ flossing වැනි සෞඛ්‍ය සම්පන්න පුරුදු මඟින් දත් දිරායෑම වළක්වා ගත හැකි ය.
නදීෂා හේරත්