Home » Blog » අගනා මුතු ඇති සොන් ඩූන්ග් ගුහාව

අගනා මුතු ඇති සොන් ඩූන්ග් ගුහාව

by thanushika
0 comments

 

අප ජීවත්වන විශ්වයේ අප කිසිදිනෙක නොහිතන ආකාරයේ ඇතැම් ස්වාභාවික අරුම පුදුම දේවල් තිබේ. ඒ වගේ පුදුම හිතෙන ස්වාභාවික නිර්මාණයක් වියට්නාමයේ පිහිටා තිබේ. එය හඳුන්වන්නේ සොන් ඩූන්ග් ගුහාව (Son doong cave) නමිනි. හුනුගල් සහිත භූවිෂමතා තත්ත්වයක් මුළු ගුහාව පුරාම පැතිරී තිබේ. ගුහාවට පිවිසුම් මාර්ග දෙකක් තිබේ. මෙහි අභ්‍යන්තරයෙන් ගලා බසින ගංගාවක් ද පවතී. 1991 වර්ෂයේදී ගොවියෙක් මෙය දුටුවේ ය.එයින් පසු මේ ගුහාව පිළිබඳ සුන්දර කතාව ඇරැඹුණේ ය.

ලොව විශාලතම ගුහාව ලෙසින් හැඳීන්වෙන මෙය, ඉතා අපහසුවෙන් සොයාගත් ස්ථානයක් ලෙස සලකයි. 1991 වර්ෂයේදී ‘හෝ ඛාන්’ නම් වියට්නාමයේ ගමක විසූ පුද්ගලයකු වනයේ ගමන් කරන අතරතුර, ගලක විශාල කුහරයක් නිරීක්ෂණය කළේ ය. ගුහාවක ඇතුළුවීමේ දොරටුවක් වූ එහි අභ්‍යන්තරයේ සිට ගංගාවක් ද පිටතට ගලාගෙන එයි. ඔහු අත ලණුවක් හෝ වෙනත් ආරක්ෂිත උපකරණ නොතිබූ නිසා එයට ඇතුළු නොවීමට තීරණය කළේ ය. එහෙත් කෙදිනක හෝ මෙයට ඇතුළුවීමේ අදහස ඇතිව ඔහු එතැනින් පිටවුණේ ය.

මේ අතරතුර 2009 වර්ෂයේදී වියට්නාමයට පැමිණි, බ්‍රිතාන්‍ය ගුහා පිළිබඳ පරීක්ෂණ කරන කණ්ඩායමකට ‘හෝ ඛාන්’ ගේ එම සොයාගැනීම පිළිබඳ දැන ගන්නට ලැබී ඇත. ඒ අනුව මේ ගුහාව නිරීක්ෂණය කිරීමට එම ගස් කපන්නාගෙන් පරීක්ෂණ කණ්ඩායම උදව් ඉල්ලූහ.ඔහු ඒ සඳහා මඟ පෙන්වීමට කැමැත්ත පළකර ඇත. ඔවුන් එක්ව සිදුකළ පළමු ගවේෂණයේදී ගුහා 11ක් සොයාගත්තත් ඛාන් දුටු විශාල කුහරය සොයාගත නොහැකි විය.


එයින් මාස කිහිපයකට පසු ඛාන් විසින් එම ගුහාව නැවත වරක් සොයා ගන්නට සමත් වුණේය. මේ පිළිබඳ පරීක්ෂණ කණ්ඩායම දැනුම්වත් කළ ඔහු, 2010 අප්‍රේල් මාසයේදී එම ගුහාවට ඇතුළු විය. ඔවුන් එසේ ඇතුළු වුණේ සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වූ ලොව විශාලතම ලෙන නැතිනම් ගුහාවටයි.වියට්නාමයේ හැනෝයි අගනුවරට සැතපුම් 280ක් දුරින් පිහිටි Phon – Nha – ke – Bang ජාතික වනෝද්‍යානය තුළ මේ ගුහාව පිහිටා තිබේ. මීටර් 150ක් පළලින් හා මීටර් 200ක් උසින් යුත් මෙම ගුහාව තුළ, තට්ටු 40ක් උස ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩකඩ ඇති බව වාර්තා වේ. ගුහාවේ වනාන්තරයක් සහ ගංගාවක් ද තිබේ. ඉධද ච්ධධදඨ යන නම ලැබී ඇත්තේ ඒ නිසා ය.

වසර මිලියන 2 – 5ක් අතර කාලයකදී මේ ලෙන නිර්මාණය වී ඇති බවත්, දැන් ලෙන පිහිටා ඇති පාෂාණයේ යට කොටසේ තිබූ හුනුගල් ස්තරය ගංගාවේ ජලය නිසා ඛාදනය වීමෙන් මෙම විශාල ගුහාව නිර්මාණය වී ඇති බවත් විශේෂඥයෝ පවසති. මේ සම්පූර්ණ ලෙනම සැතපුම් 87ක දිගින් යුක්ත ය. වෙනත් ප්‍රාග් ඓතිහාසික ලෙන්වල හමුවන ප්‍රතිමා සහ ලෙන් සිතුවම් මෙම ලෙන අභ්‍යන්තරයේ දක්නට ලැබෙන්නේ නැත. අතීතයේ පටන්ම මෙම ලෙන නොඉඳුල්ව පැවැති බවට එය හොඳ සාධකයකි. සොන් ඩූන්ග් ලෙනෙහි තිබී ඉතා දුර්ලභ වර්ගයේ මුතු වර්ගයක් ද හමුවී තිබේ. ලෙනේ හුනුගල් සහිත ඉහළ කොටසින් වසර සිය ගණනක් තිස්සේ ජල බිංදු කාන්දු වීමෙන් මේවා නිර්මාණය වී තිබේ. ගුහාව නැරැඹීමට සංචාරකයන් පැමිණීම ආරම්භ වුණේ 2013 වර්ෂයේ සිට ය. වර්ෂාව අධික කාලයට මෙහි සංචාරය කිරීම අවදානම් සහිත ය. අනෙක් කාලවලදී මෙම ගුහාව නැරැඹීමට සංචාරකයෝ විශාල වශයෙන් පැමිණෙති.

වන්දනා අබේසේකර

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department