Home » Blog »  නත්තලේ සංකේත

 නත්තලේ සංකේත

by thanushika
0 comments

ආදරණීය දුවේ පුතේ, තව දවස් දෙකකින් නත්තල උදා වෙනවා. නත්තල කියන්නේ සාමයේ කුමරුගේ උපතයි. ලොවට සාමය, සතුට ගෙනා ක්‍රිස්තුස්වහන්සේ උපත ලැබූ අලංකාර දිනය සැමරීමේදී බොහෝ දෙනා නත්තලට ආවේණික සංකේතවලින් නත්තල හැඩ කරගන්නවා. ඉතින් දුවේ පුතේ, අද අප ඔබට මිහිර පෝස්ටරයෙන් කියන්නට සූදානම් වන්නේ එලෙස නත්තල හැඩ කරන සංකේත පිළිබඳයි.

දේව දූතයෝ

ජේසු උපත පිළිබඳ දැනගත් ‍ සැණින්ම එඬේරුන් කිහිප දෙනෙක්ම ජේසු බිලිඳා බැලීමට ගවලෙන වෙත ආ බව ශුද්ධ බයිබලයේ සඳහන් වේ. එවිට ගවලෙන ඇතුළත දේව දූතයන් සිටි බව ද සඳහන් වේ. එමෙන්ම ජේසුස් නමින් ගැලවුම්කරුවකු ලොව ඉපදෙන බව මරිය තුමියට ගේබ්‍රියල් නම් දේව දූතයා පැවසුවේ ය. මේ දේව දූත සංකල්පය කිතුනු සාහිත්‍යයේ බහුල සංකේතයකි.

නත්තල් සුබ පැතුම්පත්

19 වැනි සියවසේ එංගලන්තයේදී නත්තල් සුබපැතුම්පතේ උපත සිදුවී තිබේ. ජෝන් හෙසෙල් නමැත්තකු විසින් අඳීන ලද සිතුවමක් පළමු නත්තල් සුබ පැතුම්පත ලෙස සලකනු ලබයි.

නත්තල් ගස

නත්තල් උත්සවයේ ප්‍රධානම සැරසිල්ල නත්තල් ගසයි. මේ සංකේතය සඳහා වසර දහස් ගණනක ඉතිහාසයක් ඇත. අතීතයේ මිනිස්සු දේවදාර ගස්වල අතු යොදාගෙන නත්තල් ගස් සකස් කළහ. යුරෝපයේ මධ්‍යකාලීන යුගයේදී නත්තල් ගස් ඇපල්වලින් සරසන ලදි. එහෙත් වර්තමානයේදී නොයෙක් සැරසිලිවලින් නත්තල් ගස අලංකාර කරයි. ශ්‍රී ලාංකේය කිතුනුවෝ ද නත්තල් ගස් සාදති. මේ සඳහා යොදා ගන්නේ සයිප්‍රස් ශාකයේ අතු ය.

නත්තල් තරුව

ජේසුතුමාගේ උපත පිළිබඳ රජවරු තිදෙනා දැනගත් වල්ගා තරුව නත්තල් තරුව ලෙස හඳුන්වයි. මෙම නත්තල් තරුව සිහිපත් කිරීමට කිතුනුවෝ නත්තල් දවසේ වල්ගා තරුවක සංකේතයක් යොදා ගනියි. මෙය නත්තලේ ප්‍රධාන සංකේතයකි. මෙය නත්තල් ගසේ මුදුනෙන් සැරසිල්ලක් ලෙස සංකේතවත්කර තබයි.

රජතුන් කට්ටුව

ජේසු බිලින්දාගේ උපත සිදු වූ බව දැනගත් විගස රජවරු තිදෙනෙක් බෙත්ලෙහෙමට ගොස් අලුතින් ඉපදුණු බිලිඳා දැක තෑගි භෝග ප්‍රදානය කළහ. ශුද්ධ බයිබලයේ සඳහන් වන පරිදි එදින රාත්‍රී මැදියම අහසේ පායා තිබූ තාරකාවක සලකුණු ඔස්සේ පැමිණි ඔවුන් ජේසු බිලිඳාට ගෙනා තුටු පඬුරු වශයෙන් පිරිනැමුවේ කට්ටකුමංජල්, රත්රන් සහ සුවඳ ලාටු ය. මෙවැනි විශිෂ්ට වූ ත්‍යාග පිරිනමන්නේ රජකු ඉපදුණුවිට යන්න එකල සිරිතක් පැවතිණි.

ගවලෙන

කිතුනු සෑම නිවෙසකම නත්තලට ගවලෙනක් සෑදීමට කිතුනුවෝ අමතක නොකරති. ගවලෙන නත්තලේ ප්‍රධාන සැරසිල්ලකි. කිතුනු නොවන අය ද මෙය සෑදීමට පුරුදු වී සිටිති. ගවලෙන සැරසිල්ලක් වශයෙන් යොදා ගෙන ඇත්තේ ඉතාලියේ සැන් ෆ්‍රැන්සිස් පූජකතුමා විසින් බව ද කිතුනු ඉතිහාසයේ සඳහන් වේ. පුරාතනයේ සැබෑ මිනිසුන් සහ සතුන් යොදාගෙන ගවලෙන සකස් කිරීම සිදුකර ඇත. වර්තමානයේදී ජේසු බිලිඳා, මරියතුමිය, ජුසේතුමා, එඬේරුන්, ගවයන්, බැටළුවන්, දේව දූතයන්ගේ ප්‍රතිමා සහිත ගවලෙන ආකෘතිය සකස් කරයි.

නත්තල් සීනුව

නත්තල උදාවන මැදියම් රාත්‍රියේ දෙව් මැඳුරුවල දේව මෙහෙය ඇරැඹෙන්නේ සීනු හඬත් සමඟ ය. එය කිතුනු චාරිත්‍රයකි. නත්තල උදාවත් සමඟ සතුට ඉතිරී යන බව හැඟවෙන්නේ සීනුවලිනි. ”සීනුවක් හැඬවෙන හැම වරකම සුරදූතයකුට පියාපත් ලැබේ” යනුවෙන් කියමනක් ද වෙයි. නත්තල් සීයා ගමන් ගන්නා හිම කරත්තය ඇදගෙන යන පිනිමුවන්ගේ බෙල්ලේ බැඳ ඇති සීනු නත්තල් සීනුවේ ආරම්භක කතාවට හේතු වී ඇත. නත්තල් ගස් අලංකාර කිරීමට ද සීනු යොදා ගනියි. නත්තල් සීයා අතේ ද සීනුවක් තිබේ.

නත්තල් කුරුල්ලා

නත්තල් කුරුල්ලාගෙන් සංකේතවත් කරන්නේ ජේසුතුමා කුරුසයට ඇණ ගසන විට උන්වහන්සේගේ උරහිස මත හිඳීමින් උන්වහන්සේව වේදනාවෙන් මිදවීමට ගී ගැයූ රොබින් කුරුල්ලා ය. රොබින් කුරුල්ලන්ගේ පපු ප්‍රදේශය රතු පැහැති වූයේ ජේසුස් වහන්සේගේ සිරුරෙන් වහනය වූ රුධිරය තැවරීමෙන් බව කිතුනු විශ්වාසයයි.

නත්තල් මේස් කකුල

ක්‍රි.ව. 7 වැනි සියවසේදී නත්තල් සීයා හෙවත් ශාන්ත නිකලස්තුමා දිළිඳු දරුවන්ට තෑගි ලබාදීමේදී එක්තරා නිවෙසක දුම් කවුළුවෙන් රන්කාසි කිහිපයක් නිවෙස ඇතුළට වීසිකර තිබේ. එවිට නිවෙසේ දුම් කවුළුව අසල ඉක්මනින් වියළා ගැනීමේ වුවමනාවෙන් එල්ලා තිබුණු මේස් කකුලකට එම රන් කාසි කිහිපය වැටිණි. එයින් පසුව බොහෝ නිවෙස්වල ඉදිරිපස නත්තල් සීයාට තෑගි දමා යෑමට මේස් කකුලක් එල්ලා තැබීම සිරිතක් වී තිබේ. ඒ අනුව බොහෝවිට රතු පැහැති මේස් කකුලක් එල්ලා තැබීම සිදු වේ.

පිනිමුවා

කිතුනු ජනප්‍රවාදයේ කතාවලට අනුව නත්තල් සීයා දිළිඳු දරුවන්ට තෑගි ලබාදීමට පැමිණෙන්නේ පිනිමුවන් අටදෙනෙක් බැඳී කරත්තයකිනි. මේ පිනිමුවන් අතර, රතු පැහැති රවුම් නහයක් සහිත රුඩොල්ෆ් නම් පිනිමුවා ප්‍රධාන තැනක් ගනියි.

හිම පියලි

නත්තල සංකේතවත් කරන තවත් සංකේතයක් ලෙස හිම පියලි හඳුන්වා දිය හැකි ය. නත්තල් කාලය ඉතා සීතල කාලයක් බැවින් යුරෝපීය රටවල හිම වැටීම බහුලව සිදු වේ. මේ කාලයේදී පවතින අධික හිම වැටීම හිම පියල්ල මඟින් සංකේතවත් කරයි. නත්තල් කාලයේදී මේ හිම වැටීම සංකේතවත් කිරීම සඳහා හිම පියලි ද නත්තල් ගසේ එල්ලයි.

කැරොල් ගීත

කැරොල් ගීත යනු නත්තලට ආවේණික වූ ගීත වර්ගයකි. නත්තල් දිනයේදී දෙව්මැඳුරුවල මෙම ගීත ගායනා කරයි. එපමණක් නොව ඇතැම් දෙව්මැඳුරුවල කැරොල් ගීත ගායනා කරමින් වීදි සංචාරයේ යෙදෙන ගීතිකා කණ්ඩායම් ද බහුල වේ. ජේසුස් වහන්සේ ඉපදීමේ ප්‍රීතිය සහ ජේසුස් වහන්සේ ඉපදුණු විට ලෝකයට ඇති වූ සැනසීම පාදක කරගනිමින් මෙම ගීත නිර්මාණය වී තිබේ. අතීතයේ සිට වර්තමානය දක්වා මෙම ගීත කිතුනු ජනතාව අතර මෙන්ම වෙනත් ආගම් අදහන අය අතර ද ජනප්‍රිය වී ඇත.

ඉඟුරු පාන්

ඉඟුරු පාන් ද නත්තල් සංකේතවත් කරන විශේෂ සංකේතයකි. ඉඟුරු, මී පැණි සහ පාන් පිටි අනුසාරයෙන් සකස් කරන ඉඟුරු පාන් යනු රසවත් රසකැවිලි විශේෂයකි. හිම පියලි හැඩයෙන් සකසා ගන්නා ඉඟුරු පාන් එංගලන්තයේ පළමුවැනි එළිසබෙත් රැජනගේ පාලන සමයේදී මිනිසුන්ගේ හැඩයෙන් සකස් කිරීම සිදු විය.

නත්තල් කෙවිට

මෙය මුලින්ම නිර්මාණයකර ඇත්තේ 19 වැනි සියවසේ ජර්මනියේ විසූ එක්තරා පැණි රස නිපද වූ වෙළෙන්දෙකි. පැණි රසවලින් නිර්මාණය කළ මෙම කෙවිටේ සුදු පැහැයෙන් ජේසුස් වහන්සේගේ ශුද්ධ වූ බවත් රතු පැහැයෙන් ජේසුන්වහන්සේ කුරුසයට තබා ඇණ ගැසීමෙන් ගලා ගිය රුධිරයේ වර්ණයත් සංකේතවත් කරයි. එසේම කෙවිට උඩු අතට හැරවූ විට පෙනෙන බ් අකුරෙන් ජේසුස් යන නාමය සංකේතවත් කරයි. එසේම ජේසුස් වහන්සේගේ උපත සැලවීමෙන් පසු ගවලෙන වෙත පැමිණි එඬේරුන්ව මෙම කෙවිටෙන් නිරූපණය කරන බව ද මතයක් පවතී.

හෝලි ශාකය

ප්‍රංශ සහ ඉංග්‍රීසි ජාතිකයෝ හෝලි ශාකය නත්තල් සමයේ නිවෙස් ඉදිරියේ එල්ලා තැබීම සිදු කරති. කටු සහිත පඳුරු විශේෂයක් වන මෙහි රතු පැහැති ගෙඩි දැකිය හැකි ය. මෙහි කටුවලින් ජේසුතුමා කුරුසයට තබා ඇණ ගැසීමේදී භාවිත කළ කටු ඔටුන්නත් රතු පැහැති ගෙඩිවලින් ඇණ ගැසීමෙන් ගලා ගිය රුධිරයත් සංකේතවත් කරයි.

හිම මිනිසා

නත්තල් සමයට යුරෝපයේ සෑම රටකම හිම වැටීම සිදු වෙයි. එහිදී හිම ගොඩැලිවලට එක් වන අය හිම මිනිසුන් සාදා විනෝද වන්නට කටයුතු කරති.

නත්තල් ඉටිපන්දම

නත්තලට දල්වන ඉටිපන්දමින් ජේසුස් වහන්සේ මෙලොවට ගෙන ආ දිව්‍යමය ආලෝකය පිළිබඳ සංකේතවත් කරයි. ආලෝකයෙන් නිරූපණය කරන්නේ පාපයේ සිටි ජනතාව අඳුරින් එළියට ගෙන ඒමෙන් ඔවුන් ලැබූ ජයග්‍රහණයයි. සාමාන්‍යයෙන් දෙව් මැඳුරුවල සුදු පාට ඉටිපන්දම් දැල්වූව ද නත්තල් දිනට රතු පාට ඉටිපන්දම් දල්වනු ලැබේ.


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department