Home » Blog » නත්තලේ  අරුත

නත්තලේ  අරුත

by thanushika
0 comments

උඳුවප් මාසය උදාවත්ම දැනෙන සීතල අපට කියන්නේ අපූරු පණිවිඩයකි. කඳු මුදුන් වසාගෙන පැතිරෙන මීදුම දෙස බලද්දී මැවෙන්නේ ලස්සන දසුනකි. පාට පාට මල් සුළඟක් එක්ක නටද්දී ඇසෙන්නේ හුරුපුරුදු ගීතයකි. අහසේ දිලෙන පුංචි වල්ගා තරුව දකිද්දි මතක් වෙන්නේ ආදරණීය කතාවකි. ඒ ආදරයේ, සාමයේ අරුත ලෝකයට කියා දුන්, බෙදාහදා ගැනීම ගැන මිනිස්සුන්ට ඉගැන්වූ, පව් නොකරන්නට මෙන්ම පවින් මිදෙන්නට ද මිනිසුන්ට කියා දුන් දෙවියන් වහන්සේගේ පුතණුවන් වූ ජේසුස් වහන්සේගේ උත්පත්තියයි. සොඳුරු නත්තල යනුවෙන් අප සමරන්නේ ඒ උපන් දිනයයි .

බෙත්ලෙහෙමේ දිළිඳු ගවලෙනක දේව මාතා මරියතුමියගේ කුසින් උපත ලැබූ ජේසු කුමාරයා නොමඟ යමින් සිටින මිනිසුන් යහමඟට ගැනීමට මේ ලෝකයට දෙවියන් වහන්සේ විසින් එවන ලද දූතයා වේ. ජේසුස් වහන්සේ මිනිසුන්ට, සතුන්ට පමණක් නොව පරිසරයට පවා කරුණාව දක්වන ලදි . ආදරය, දයාව දක්වන ලදි.

උන්වහන්සේ අපට කියා දුන් වැදගත්ම පණිවිඩය වන්නේ බෙදා ගැනීමේ පණිවිඩයයි. අනෙක් පණිවිඩය,

“අසල්වැසියාට ප්‍රේම කරන්න”

“මුළු ලෝකෙටම ආදරේ කරන්න යන්නයි.” උන්වහන්සේ කියා දෙන්නේ එසේ ය. වෛරයෙන් ක්‍රෝධයෙන් තොරව අනෙකා සමඟ ගැටුම් ඇති කර නොගැනීම යහපත් සමාජයක් උදා කරගැනීමට ඇති පහසුම මඟකි.

සීතල සුළං හමාගෙන යද්දී , ගස්වල පුංචි පුංචි මල් පිපෙද්දී නත්තල උදාවෙනවා කියන පණිවිඩය පරිසරය

අපට දෙද්දි පරිසරයට විතරක් නෙවෙයි පුංචි අපටත් උදා වන්නේ වෙනස්ම කාලයක්. නත්තල උදාවත්ම සෑම කිතුනු නිවෙසකම පුංචි දරුවන් ගවලෙනක් නිර්මාණය කරන්නේ බොහෝ සතුටිනි. දේව මාතාව වූ මරියතුමිය⁣ත් සුරැකි පියා වූ ජුසේතුමාත් පුංචි ජේසු බිලිඳාත් එම ගවලෙනෙහි තබන්නේ හදවත පුරා පිරුණු ආදරයෙනි. පවුලක් ඇතුළත ඇති ආදරය, බැඳීම එයින් අර්ථවත් වේ. එකිනෙකාට සෙනෙහස, කරුණාව දක්වන පවුලක රැකවරණය ලස්සන ලෝකයක් නිර්මාණය කිරීමේ පළමු පියවරයි. මෙම ගවලෙන ඇතුළේ කුඩා බැටළු පැටවුන් කිහිපදෙනකුට ද ඉඩකඩ වෙන් වේ. මිනිසාට පමණක් නොව සතුන්ට ද ලෝකයේ ඉඩක් වෙන් කිරීම සුන්දර හෙට දවසක් නිර්මාණය කිරීමට අත්‍යවශ්‍ය බව එයින් කියවේ. ජේසු සමිදාණන් මිනිසාට පමණක් නොව සතුන්ට ද ආදරය කරන්නට උගන්වන්නේ එලෙසිනි.

නත්තල සමරන ඕනෑම නිවෙසක ලස්සනට සරසන ලද නත්තල් ගසක් දක්නට හැකි ය. නොයෙක් සැරසිලිවලින් හැඩ වූ නත්තල් ගසක් මෙන් අපේ ජීවිතය ද පාට පාට විසිතුරුවලින් හැඩ ගැන්විය යුතු බව කියා දෙයි. ඒ පාට පාට විසිතුරු වන්නේ අනෙකාට උදව් කිරීම, සමගිය, කරුණාව, කීකරුකම, සහෝදරත්වය වැනි උතුම් ගුණාංගයන් ය. නිවෙසක නත්තල් ගස පුංචි දරුවන්ට ද අලුතින් හිතන්නට, නව නිර්මාණ කරන්නට, අත්කම් බිහිකරන්නට හොඳම අවස්ථාවක් ලබා දෙයි. එය අලුතින් හිතන අලුත් විදියට දකින දරුවකු නිර්මාණය කිරීමට නත්තලෙන් ලබා දෙන තෑග්ගයි.

නත්තල් සතිය උදාවත්ම පැමිණෙන විශේෂ අමුත්තකු පිළිගැනීමට පුංචි දරුවන් කල්තියාම සූදානම් වන්නේ හද පිරි සතුටිනි. ඒ, පිනිමුවන් බැඳී රථයකින් සීතල හිම කඳු මැදින් ගෙයින් ගෙයට දොරින් දොරට සිනහව රැගෙන එන නත්තල් සීයා ය. වයස, තරාතිරම, ධනය, බලය මේ කිසිවක් නත්තලට අවශ්‍ය නැති බව පුංචි දරුවන්ට කියා දෙන්නේ මේ අපූරු මිතුරා ය. කිසිම භේදයකින් තොරව නත්තල් සීයා පුංචි දරුවන්ට තෑගි බෙදා දෙන්නේ නත්තල සෑම දෙනාටම අයිති බව මතක් කරමිනි. දෙවියන් වහන්සේගේ දරුවන් වන මිනිසුන් සෑම දෙනාම එක සමාන වන බව අපට කියා දෙන වැදගත්ම පණිවිඩයයි.

නත්තල ලස්සන වනවා පමණක් නොව රසවත් ද වේ. නත්තල රසවත් කරන්නේ නත්තල් කේක් ප්‍රධාන කොටගත් නොයෙක් පාට පාට රසකැවිලි වර්ගයි. මෙහි විශේෂත්වය වන්නේ නිවෙසක කෙතරම් කේක් වර්ග හැදුණත් නත්තලට හැදෙන නත්තල් කේක් කිසිම දවසක තනියෙන් භුක්ති විඳීමට නොසිතීමයි. එය අසල්වැසි නිවෙස් රාශියකට යන්නේ බෙදා හදා ගැනීම පිළිබඳ අත්දැකීම ලබා දෙමිනි. එමඟින් සාමය, සමගිය, එකමුතුකම මෙන්ම දුකත් සැපත් එකට වි¼දීමට ද අපට කියාදෙයි. ලැබෙන කුඩා දේ හෝ අසල්වැසියන් සමඟ බෙදා ගැනීමට කුඩා කාලයේ සිටම හුරු කරන්නේ කිතුනු දහමේ ඇති යහපත් ඉගැන්වීම් වසරකට වරක් හෝ අපට මතක් කරමිනි.

දේවමෙහෙය ද සෑම දෙනාම එකතු වී සිදු කරනු ලබයි. පව් සමා කරගන්නේ ද එකට එක්ව ය . හිත මිතුරන්ට ආරාධනා කරමින් සංග්‍රහ කරන්නේ ද තෑගි බෝග රැගෙන නෑදෑ හිත මිතුරන් බැලීමට යන්නේ ද හැකි පමණ අනෙකා සතුටින් තැබීමට තමන්ට කළ හැකි දේ කිරීම උදෙසා ය. තමන්ගේ සතුටු ගැන පමණක් මිනිසුන් සිතීමෙන් ලෝකයට සිදුවන නපුර වළක්වා ගැනීමට මෙවැනි බැඳීම් බොහෝ උපකාරි වේ.

නපුර ජයගත් ලෝකයක ඉපදුණත් ජේසුස් වහන්සේ යහපත් ලෝකයක් ගොඩ නඟන්නට ගම්දනව් පුරා සැරිසරමින් සත්‍යය පහදා දෙන්නට කටයුතු කළේ ය. රෝගීන්ට උපකාර කළේ ය. සතුන්ට ආදරය කරුණාව දැක්විය. උන් වහන්සේගේ ඉගැන්වීම් සර්ව සාධාරණ විය. සරල විය. අනෙකාට ප්‍රේම කරන්නට, උදව් උපකාර කරන්නට, රැක බලාගන්නට ජනතාවට කියා දුන් නිසාම උන්වහන්සේ වටා බොහෝ පිරිස් එකතු වන්නට වූහ.

දුකින් පිරුණු ලෝකයක සිනාසෙන මිනිසුන් සොයන්නට උන්වහන්සේ ජීවිතයම කැප කළ නිසා තමන් ගැන නොසිතා අනෙකා ගැන සිතන සුළු හෝ පිරිසක් අප අතර දක්නට ලැබේ. ඔවුන් අනාගතයට වටිනා සම්පතකි. ධනවත් පුද්ගලයන් අගහිඟකම් ඇති මිනිසුන් වෙනුවෙන් හැකි පමණ යමක් ලබා දී ඔවුන් ද සතුටු කිරිම සැබෑ නත්තලේ අරුතයි.

මගෙ නත්තල දුගියා බත් කන දාය
මගේ නත්තල වැරහැලි නැති වනදා ය

මේ ගී පද ලියවෙන්නේ ඒ නිසා ය. සතුටින්, විනෝදයෙන් තමන් පමණක් සතුටුවන නත්තලක් ජේසුස් වහන්සේගේ බලාපොරොත්තුව නොවේ. එනිසා උන්වහන්සේ සතුටු කිරීමට නම් නත්තලේ සැබෑ අරුත වටහාගෙන කටයුතු කිරීම කළ යුතු ය. එවිට නත්තල කිතුනු ආගමට පමණක් නොව අනෙකුත් ආගම්වලට ද අයත් උත්සවයක් වනු ඇත. සැබෑ නත්තල එයයි.

ටී.ඩබ්ලිව්. මෙතුලි උමල්ජා

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department