හිම සහිත පොළොවට ඉහළින් නත්තල් තරුව රාත්‍රී අහසේ දීප්තියෙන් බැබළුණි. සෑම වසරකම, නත්තල් සීයා තෑගි බෙදාහරින විට තම රන්වන් ආලෝකය ලොව පුරා විහිදුවමින් නත්තල් තරුව නත්තල් සීයාට මඟ පෙන්වීය. එහෙත් මේ වසරේ එය වෙනස් විය. නත්තල් තාරුකාවට තමන්ගේම ඉතා වැදගත් මෙහෙවරක් තිබිණි.
නත්තල් තරුව රැක බලාගත් මුරකරු වූ ඥානවන්ත කුරුමිට්ටා (එල්ෆ් කෙනෙක්) දිනක් සවස් කාලයේ අසාමාන්‍ය දෙයක් දුටුවේ ය. නත්තල් තාරුකාවේ ආලෝකය දිලිසෙමින් තිබුණත් එහි දීප්තිය අඩුවන බවක් පෙනෙන්නට තිබිණි. “මොකක්ද තාරුකාවේ ප්‍රශ්නයක් ද?” මුරකරු කනස්සල්ලෙන් ඇසුවේ ය.
” බලන්නකො මං දැන් කලින් තරම් දීප්තිමත් විදිහට බැබළෙන්නේ නැහැනේ” තාරුකාව තමන්ගේ මෘදු කටහඬින් පැවසුවේ ය. “මම හිතන්නේ මගේ දීප්තිය මැකී යන්නේ මං මේ වසරේ ප්‍රමාණවත් තරම් සතුටක් ලෝකයට පැතිරුවේ නැති නිසයි”
තාරුකාවේ මුරකරු හිස වැනුවේ ය. “ඔබ හරි. ඔබ වැනි තරු වඩාත් දීප්තිමත් වන්නේ ඔබ අන් අයට සතුට ගෙන දෙන විටයි. ඔබේ දීප්තිය නැවත ඇති කර ගැනීමට ඔබ ගමනක් යා යුතුයි.”
මුරකරු පැවසුවේ ය.
නත්තල් තරුව ඊට එකඟ වී සෙමින් අහසින් පාවී ගොස් , සෑම ජනේලයකම විදුලි පහන් දැල්වෙන කුඩා ගම්මානයකට ගොඩ බැස්සේ ය. ඉන්පසු තාරුකාව වීදි දිගේ ලිස්සා යද්දී, එමිලි සහ ඩැනී යන දරුවන් දෙදෙනා හිම මිදුණු ජනේලයක් අසල කතා කරමින් සිටිනු තාරුකාවට ඇසුණි.
“අම්මාට තවත් හිනා වෙන්න තිබුණා නම් හොඳයි” එමිලි, තම කුඩා සොහොයුරා බදාගෙන කීවාය. “තාත්තා රැකියාවට ඈත ගියපු දවසේ ඉඳන් ඇය ගොඩක් දුක් වෙනවා.”
නත්තල් තරුවට හදවතට දැඩි කනගාටුවක් දැනුණි. “මෙම පවුලට උපකාර කිරීම මගේ පළමු කාර්යය විය යුතුයි” එසේ සිතූ තාරුකාව ළමයින් පසුපසින් ඔවුන්ගේ සුවපහසු නිවෙසට ගොස් ඔවුන්ගේ නත්තල් ගස මතට ගොඩ වූ අතර, කාමරය මෘදු රන්වන් පැහැයකින් පිරවීමට සමත් විය.
එදා සවස නිවෙසේ සියලුදෙනා නත්තල් ගස වටේට එකතු වනවිට තාරුකාව සියුම් ගී තාලයක් මුමුණන්න පටන් ගත්තේ ය. එම මිහිරි ගී තනුවෙන් කාමරය පිරී ගියේ උණුසුම් වැලඳගැනීමක් මෙන් ඔවුන් වටා එතෙමින් ය. එමිලි සහ ඩැනීගේ මව සති කිහිපයකට පසු ඉතා සතුටින් සිනාසුණා ය.
ඉන්පසු තාරුකාවේ ආලෝකය මඳක් දීප්තිමත් විය.
තාරුකාවේ ඊළඟ නැවතුම වූයේ කලබලකාරී නගරයකි. තාරුකාව දුටුවේ ලියම් නම් පිරිමි ළමයා විශාල රංග ශාලාවක පඩිපෙළ මත තනිවම වාඩි වී සිටින ආකාරයයි. නත්තල් නිවාඩුවේ නාට්‍යයක් රඟ දැක්වීමට කුරුමිට්ටන් සහ පිනිමුවන් ලෙස සැරසී සිටි ළමයින් දෙස ලියම් දිගු වේලාවක් බලා සිටියේ ය.
තාරුකාව පාවී ගොස් ලියම් ඉදිරියෙහි මෘදු ලෙස බැබළුණි. “ඇයි ඔයා ඇතුළට ගියේ නැත්තේ?” තාරුකාව ලියම්ගෙන් ඇසුවේ ය.
“මට. ඒ නත්තල් නාට්‍යයට සම්බන්ධ වෙන්න නම් ආසයි. ඒත් මං එතැනට ගැළපේවි කියලා මං හිතුවේ නෑ ” ලියම් රහසින් කීවේ ය.
නත්තල් තරුව ලියම්ව දිරිගන්වන ලෙස ආලෝකයෙන් බැබළුණි. “පුංචි දරුවෝ, ඔයාට නාට්‍යයට එක්වීමට ඔයා සර්ව සම්පූර්ණ වෙන්න ඕනෑ නෑ. සමහර විට, උත්සාහ කිරීම පමණක් ඔයාට උපරිම සතුට ගෙන දෙන්න පුළුවන්”
අලුත් ධෛර්යයක් ඇතිව ලියම් නැඟිට ඇතුළට ගියේ ය. තාරුකාව ජනේලයකින් එබිකම් කර බලා සිටියේ ලියම් නාට්‍යයේ සිටි අනෙක් දරුවන් හා එක්වන ආකාරයයි. ඔහුගේ සිනහව අනෙක් ළමයින්ගේ සිනහව සමඟ එක්විය. ඉන්පසු තාරකාවේ දීප්තිය තවත් ශක්තිමත් විය.
තාරුකාව තමන්ගේ අවසාන නැවතුම තෝරා ගැනීම සඳහා තාරුකාව නිස්කලංක වනාන්තරයකට ගමන් කළේ ය. එහි සිටි සතුන් කුඩා, කෘශ වූ ගසක් වටා එක්රැස් වී සිටිනු තාරුකාව දුටුවේය. එම කුඩා ගස කනගාටුදායක ලෙස පහතට එල්ලා වැටී තිබූ අතර, එහි අතු හිස් වී තිබිණි.
“මොකක්ද ප්රශ්නය, පුංචි ගසේ?” තාරුකාව ඇසුවේ ය.
“මම කවදාවත් නගරයේ ගස් තරම් විශාල වෙන එකක් නෑ” ගස සුසුම්ලමින් පැවසුවේ ය.
මොහොතක් කල්පනා කළ තාරුකාව, ගස උඩින් පාවී දිලිසෙන්නට විය. එහි ආලෝකය හිම මත පරාවර්තනය වූ අතර, ගස දියමන්තිවලින් වැසී ගියාක් මෙන් බබළන්නට විය.
එය දැක වනාන්තරයේ සතුන් සියලුදෙනා සතුටට පත්වූහ.
කුඩා ගස වනාන්තරයේ ලස්සනම ගස බවට පත් වන තුරු වන සතුන් ගසෙහි පයින්කෝර්න්, බෙරි ආදිය එල්ලා රිබන් පටි ද ගැට ගැසූහ. කුඩා ගස ආඩම්බරයෙන් උස්ව නැඟී සිටියේ ය.
නත්තල් තාරුකාවේ ගමන සම්පූර්ණ විය. එහි දීප්තිය සම්පූර්ණයෙන්ම පිරුණු පසු එය වෙන කවරදාටත් වඩා දීප්තියෙන් බැබළෙමින් නැවත අහසට පැමිණියේ ය. තමන් බොහෝ දෙනකුට ප්‍රීතිය ගෙන දුන් බව මතක් කරමින් තාරුකාව ඉතා සතුටින් අලුත් දීප්තියකින් නත්තල් සීයාගේ හිම යානයට, නත්තල් සැන්දෑවේ ලොව පුරා පොඩිත්තන්ට තෑගි බෙදන්නට යෑමට හොඳීන් මඟ පෙන්වී ය.
ඉංග්‍රීසි ළමා කතාවක් ඇසුරිනි
හර්ෂණී ගමගේ