ආදරණීය දුවේ පුතේ, අද දවසේ අපි අපේ රටේ පිහිටි තවත් සුන්දර කතරගම දේවාලයක් වන අම්මඩුව කුඩා කතරගම දේවාලය පිළිබඳ තොරතුරු සොයා බලමු.
රත්නපුර- ඇඹිලිපිටිය මාර්ගයේ ගොඩකවෙල නගරයෙන් හැරී අම්මඩුව මාර්ගයේ කිලෝමීටර් අටක් පමණ ගමන් කළ විට වැලිගේපොළට ආසන්නව පිහිටා ඇති මෙම අම්මඩුව කුඩා කතරගම දේවාලය වැලිගේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්මඩුව ග්‍රාම නිලධාරී වසමට අයත් වේ. මෙහි ඉතිහාසය කෝට්ටේ යුගය දක්වා දිව යන අතර, එය ක්‍රිස්තු වර්ෂ 14 වැනි සියවසේ ඉදිකරන ලදැයි විශ්වාස කරයි.
ක්‍රි.ව. 1410 සිට 1464 දක්වා කෝට්ටේ රජ කළ හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී මෙම දේවාලය ඉදිකර තිබේ.
මෙම දේවාලයේ ආරම්භය පිළිබඳ ජනප්‍රවාදයේ එන අපූරු කතා පුවතකි. එම කතා පුවතට අනුව කොළොන්න සහ අට කලන් දෙකෝරළේ වැසියෝ බාරහාර ඔප්පු කිරීම සඳහා උග්ගල් අලුත්නුවර දේවාලයට යෑමට පුරුදු වී සිටි අතර, එම දේවාලයේ තමන්ට අයත් වීදියෙහි නවාතැන් ගෙන පුද පූජා පවත්වා ආපසු යෑමයි සිදු වුණේ. එම වන්දනා නඩයේ නායකත්වය අට කලන් කෝරළේ ඇමිටියාගොඩ රාමගිරි බ්‍රාහ්මණ රාල සහ දේවගිරි බ්‍රාහ්මණ රාල විසින් දැරූ අතර, 1452දී අලුත්නුවර පෙරහර සඳහා ඔවුන් මේ ආකාරයට පඬුුරු ගෙන පුද පූජා ඔප්පු කිරීමට අලුත් දේවාලය කරා ගොස් ඇත. ඒ අවස්ථාවේ ඔවුන්ට අයත් වීදියෙහි වෙනත් කණ්ඩායමක් පදිංචි වී ඇති අතර, ඔවුන් සඳහා වෙනත් වීදියක් ද නොවූයෙන් නැවතත් ආපසු පැමිණීමට සිදුවී ඇත. මෙසේ පැමිණෙන ගමනේදී පිරිසුදු වතුර පිරි ඇළක් සහිත සමතලා භූමියක් දැක එතැන නතර වී රාත්‍රිය ගතකර නායකයන් දෙපළ එම භූමියේ මැද කප් සිටුවා ගෙන ගිය පුද පඬුුරු සියල්ල එහි ගැට ගසා තමන්ට සිදුවූ අවනඩුව කතරගම දෙවියන්ට සැළ කර සිටින ලදි. එහිදී තමන්ට නිදහසේ දෙවියන් වැඳීම සඳහා පූජා භාණ්ඩයක් ද ඉල්ලා සිටින ලදි. අනතුරුව ඔවුන් සියලුදෙනා නැවතත් තම නිවෙස් කරා පැමිණ ඇති අතර, රාත්‍රියේ සිහිනෙන් පැමිණි අයකු රාමගිරි බ්‍රාහ්මණයාට ඔවුන් ගමන් කළ මාර්ගය අසල පිහිටි දෙල් ගසකට දේවාභරණයක් පහළ වී ඇති බවත් එය පුද පූජා පිණිස ලබාගන්නා ලෙසත් ප්‍රකාශකර නොපෙනී ගොස් ඇත. එදා උදෑසන රාමගිරි බ්‍රාහ්මණයා සහ දේවගිරි බ්‍රාහ්මණයා එම උපදෙස් අනුව යන විට දෙල් ගසක අත්තක් මුදුනේ රන් ඊතලයක් දැවටී තිබෙනවා දැක තිබේ. එම ගස මුලට ගොස් යාඥා කළ විට රන් ඊතලය රාමගිරි බ්‍රාහ්මණයාගේ ජටාව මතට වැටී ඇත.
ඒ, මෙම වර්තමාන දේවාලය පිහිටි ස්ථානයයි. එම දේවාභරණය වර්තමාන දේවාල බිමේ තාවකාලිකව තැන්පත්කර දේවාලයක් තනා ඇති අතර, පසුව අහලගමු මුදියන්සේ රාලහාමි විසින් කුඩා දේවාලයක් තනවා රන් හීය එහි ස්ථීරව තැන්පත්කර තිබේ. එයින් අනතුරුව මෙම සිද්ධිය කෝට්ටේ රජ කළ හය වැනි පැරකුම් රජුට දන්වා ඇති අතර, ඔහු විසින් රන් සන්නසකින් ඒ ගම එම දේවාලයට පවරා දී සළු හතරක් හා හස්තියෙක් ද තෑගි කර තිබේ. මේ ආකාරයට විවිධ කාලවලදී විවිධ රජවරුන් විසින් මෙම දේවාලයට විවිධ ප්‍රදානයන් සිදු කරන ලද බවට සාක්ෂි හමු වේ.
පුරාණ දේවාල ගොඩනැඟිල්ල පිහිටා ඇත්තේ මාර්ගයේ සිට තරමක උස්බිමක ය. එහි ඉහළම පිහිටා ඇත්තේ ප්‍රධාන කතරගම දේවාලය හෙවත් දේව මාලිගාවයි. ඊ තලය තැන්පත්කර ඇත්තේ මෙහි බව බැතිමතුන්ගේ විශ්වාසයයි. එම ප්‍රධාන ගොඩනැඟිල්ල අවට සිංහාසනය, බුදුගෙය, පත්තිනි දේවාලය, මුළුතැන්ගෙය සහ කුණ්ඩසාලය යන ගොඩනැඟිිලි ඉදිකර තිබේ. මෙම ප්‍රධාන දේවාලය අඩි 8ක් දිගින් හා අඩි විසි හතරක් පළලින් යුක්ත වන අතර, බිත්ති මැටි වරිච්චියෙන් බැඳ හනු ආලේපකර ඉදිකර තිබේ. වහල්ලට පෙති උළු හෙවිලිකර ඇති අතර, ප්‍රධාන ගොඩනැඟිල්ල කොටස් හතරකින්
සමන්විත වේ. දේවාලයේ ගබඩාව යට යටවට්ටාරම් ශාලාව නමින් හැඳීන්වෙන ශාලාවක් ද එයට යාබදව දිග්ගේ නමින් හැඳීන්වෙන ශාලාවක් ද ඉදිකර තිබේ. කහද මඩුව ගොඩනැඟිිල්ල දිග් ගෙයට තරමක් පහළින් ඉදිකර ඇති අතර, එහි නැටුම් බැලීම සඳහා කුණ්ඩශාලයත් පෙරහර වීදි සංචාරය කර ගිමන් හැරීම සඳහා සිංහාසනයක් ද ඉදිකර තිබේ. දේවාලයෙහි ආරක්‍ෂාව සඳහා ගොඩනැඟිිල්ල වටා අලංකාර පවුරක් ද ඉදිකර තිබී ඇත. ඒ අසලම පත්තිනි දේවාලයක් ද දැක ගත හැකි ය.
දේවාලය ගත් විට මෙහි පැවැත්වෙන පෙරහර එහි විශේෂ අංගයක් වශයෙන් සැලකිය හැකි ය. පෙරහරේ අවස්ථා තුනකි. කුඹල් පෙරහර, දේවාල පෙරහර, මහ පෙරහර ඒවා වෙයි. එයට අමතරව අලුත් සහල් මංගල්‍යය, නානුමුර මංගල්‍යය, ඉල්මහ කච්චිය යන උත්සව ද වාර්ෂිකව එම දේවාලය ආශ්‍රිතව සිදු කරනු ලබයි.
ලක්නා නිරෝෂිමාලා