Home » Blog » වර්තමාන දරු පරපුර ගොඩක් බුද්ධිමත්

වර්තමාන දරු පරපුර ගොඩක් බුද්ධිමත්

හ/ තලුන්න මහා විද්‍යාලයේ විදුහල්පති බී.ජී. ශ්‍රියාල් ප්‍රේමානන්ද මහතා

by thanushika
0 comments

වර්තමානයේ දරු පරපුර ඉතා බුද්ධිමත්. බොහෝ දේවල් අත්හදා බලමින් දැනුම ලබන්න ඔවුන් උත්සාහ කරනවා. වර්තමාන දරුවන් සෑම විටම පර්යේෂකයන් ලෙස තමයි හඳුන්වන්න පුළුවන්. ඒ අය කුමන හෝ දෙයක් සොයමින් කටයුතු කරන්න උත්සාහ කරනවා. මේක නගරය, ගම කියලා විශේෂත්වයක් වන්නේ නැහැ. සෑම දරුවකුම දැනුම සොයන්නකු බවට පත් වෙලා. ඒ ගැන අප අගය කළ යුතුයි. ඉදිරියට යන දරුවන්ට උදව් කිරීම අප සෑම දෙනාගේම වගකීමක්. මෙලෙස වගකීමක් ඇති අයුරින් කටයුතු කරන හම්බන්තොට තලුන්න මහා විද්‍යාලයේ විදුහල්පති බී.ජී. ශ්‍රියාල් ප්‍රේමානන්ද මහතා තම පාසල පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

” අපේ පාසල ආරම්භ කරලා තිබෙන්නේ 1924 වර්ෂයේදියි. ඒ කාලයේ ළමයි හතර දෙනකුගෙන් තමයි අපේ පාසල පටන් අරගෙන තිබෙන්නේ. එදා එලෙස පටන් ගත් පාසල අද වෙන විට ලොකු ජයග්‍රහණයක් ලබලා තිබෙනවා. මේ වන විට අපේ පාසලේ සිසුන් 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිටිනවා. 13 ශ්‍රේණියේ දරුවන් අධ්‍යාපන ලබන්නේ කලා අංශයෙන් පමණයි. මේ වන විට අපේ පාසලේ ළමයින් තුන්සිය විසිපහක් පමණ සිටිනවා. ඒවගේම ගුරුවරු විසිනවදෙනකු සිටිනවා. අධ්‍යාපනය වගේම අනෙකුත් සියලුත් දේවල් ගැනත් අපේ පාසලේ දරුවන් ගොඩක් උනන්දුයි. දරුවන්ගෙන් වගේම ගුරුවරුන්ගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනවා. දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන කටයුතු කරන ගුරුවරු පිරිසක් අපේ පාසලේ සිටිනවා. ඒක අපේ පාසලේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්.”

” දරුවන්, ගුරුවරුන් මෙන්ම මව්පියන්ගෙනුත් අපට ලැබෙන සේවය අමතක කරන්න බැහැ. මේ හැම දෙනාම ලබා දෙන සහයෝගය නිසා තමයි මේ වන විට සංවර්ධිත පාසලක් ලෙස අපේ පාසල ඉදිරියට ඇවිල්ලා තිබෙන්නේ. අධ්‍යාපනය මෙන්ම කලාව, ක්‍රීඩාව මේ සෑම අංශයක්ම පාසලකට අවශ්‍යයි. අපේ පාසලේ කරාතේ ක්‍රීඩාවේ යෙදෙන දක්ෂ දරුවන් සිටිනවා. ඒ වගේම නැටුම්, සංගීතය යන අංශවලිනුත් ඉදිරියට යා හැකි දරුවන් අපේ පාසලේ අධ්‍යාපනය ලබනවා.”

” 2022 වර්ෂයේදී සංගීත අංශයේ කලාප තරගවලින් අපේ පාසලට සිව්වැනි ස්ථානය ලැබුණා. දක්ෂතා ඔප මට්ටම් කරගන්න අපේ පාසලේ ගුරුවරු සෑම දරුවකුටම උදව් කරනවා. ඒක ලොකු දෙයක් කියලායි මම හිතන්නේ. තරග විභාගවලට දරුවන් හිරවෙලා. ඒ අය දැඩි පීඩනයකින් ඉන්නේ කියලායි මම හිතන්නේ. එනිසා ඒ අයගේ පීඩනය මඟහැර ගන්න සෞන්දර්ය කටයුතුවල මෙන්ම ක්‍රීඩා කටයුතුවල යෙදෙන්නත් අවශ්‍යයි. බොහෝ දරුවන්ට අධික විභාග තරගය නිසා මේ තත්ත්වය මඟහැරෙනවා. ඒ නිසා ඔවුන් වැඩිවියට පත් වුණත් ඒ පීඩනය දරන්න සිද්ධ වෙනවා. සෞන්දර්ය, ක්‍රීඩාව වැනි විෂයන් හැදෑරුවොත් මේ පීඩනය මඟහරවා ගන්න පුළුවන්. මේ නිසා අපි කුඩා කාලයේ සිටම දරුවන් කලාවට මෙන්ම ක්‍රීඩාවටත් හුරු කරන්න ඕනේ.”

” අපේ පාසලේ දරුවන් කරාතේ ක්‍රීඩාවට ගොඩක් කැමැතියි. ඒ වගේම ඒ අය කරාතේ ක්‍රීඩාවට දිගින් දිගට යොමුවන්නත් උත්සාහ කරනවා.අපට ශක්තිමත් දැල්පන්දු කණ්ඩායමක් ඉන්නවා. ඒ අය විවිධ තරග සඳහා සහභාගි වෙනවා. ඒවායින් ජයග්‍රහණත් ලබනවා. මම කියන්නේ බුද්ධිමත් දරුපරපුරකට සමබර ජීවිතයක් අවශ්‍යයි. තාක්ෂණය වගේම මිනිසත් බවත් තිබෙන්න ඕනේ. මම, මගේ පාසලේ දරුවන් යහපත් මඟට යොමු කරන්න උපරිම දායකත්වය ලබා දෙනවා.”

රූපාන්ති බුලත්සිංහල

ඡායාරූප – පාසලේ ඡායාරූප සංගමය


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department