Home » Blog » නත්තල් සීයා ළඟ ළඟ එනවා කොහි සිට එන්නේ ද? කියලා අසමු

නත්තල් සීයා ළඟ ළඟ එනවා කොහි සිට එන්නේ ද? කියලා අසමු

by thanushika
0 comments

පුතේ දුවේ, පුංචි ඔයාලාට හිතෙනවා ඇති නේද මේ නත්තල් සීයා කොහේ ඉඳලා එනවාද කියලා? ඒ වගේම මේ නත්තල් සීයා ගැන කතා පුවත මොනවගේ ද කියලා? ඉතින් දුවේ පුතේ, අද අපි ඔයාලාට නත්තල් සීයා ගැන කතාව කියන්නයි මේ සූදානම. පියතුමා නත්තල් සීයා ගැන කතාව කියන්න පටන් ගත්තා.

ඔන්න දුවේ පුතේ, 14 වැනි සියවසේ තුර්කියෙහි නිකලස් නමින් (නිකුලස් යනුවෙන් ද හඳුන්වයි) පුද්ගලයෙක් ජීවත් වුණා. මොහු නත්තල් කාලයට තමන්ගේ පෞද්ගලික මුදල් වියදම් කර තෑගි බෝග අරගෙන අසරණ දුගී දුප්පත් පවුල්වල සිටින ළමයින්ට බෙදා දුන්නා. මෙලෙස බෙදා දීමෙන් ඔහු ගොඩක් සතුටට පත් වුණා. හැබැයි දුවේ පුතේ, මේ තෑගි බෝග බෙදා දුන්නේ රහසිගතවයි. රාත්‍රී කාලයේදී නිවෙස් අවට සංචාරය කරන නිකලස්තුමා එම ගෙවල්වල කතා බස් කරන දේවල්වලට ඇහුම්කන් දෙනවා. එහෙම ඇහුම්කන් දෙන්නේ ඔවුන්ට තමන්ගෙන් විය යුතු උදව්ව මොනවාද කියලා දැනගන්නයි. එහෙම අහගෙන ඉඳලා දුගී දුප්පත් පවුල් හඳුනාගන්නවා. ඊට පස්සේ ඔවුන්ගේ නිවෙස්වල දුම් කවුළුවලින් රහසින් නිවෙසට අවශ්‍ය දේවල් දානවා. ඉතින් ඔහු කාලාන්තරයක් තිස්සේ මෙලෙස තමන්ට පුළුවන් අයුරින් අනෙක් අයට උදව් කළා. විශේෂයෙන් කුඩා ළමයින්ට උදව් කළ යුතු ය කියන අදහස ඔහුගේ සිතේ තිබුණා. මේ නිසා කුඩා ළමයින් ගැන සොයා බලමින් ඔවුන්ට උදව් කළා.

රහසින් ඇවිත් තමන්ට උදව් කරන මේ අමුත්තා ගැන කුඩා ළමයින් දැන ගෙන සිටියේ නැහැ. එහෙත් මොහු එන්නේ රාත්‍රී කාලයේ යැයි වැටහීමක් ළමයින්ට තිබුණා. මේ නිසා ඔවුන් මේ අමුත්තා එනතෙක් බලා සිටියා. ඔහු ගෙන එන තෑගි බෝගවලට ළමයින් ප්‍රිය කළා. එදා ළමයින් නත්තල් සීයා එනතෙක් බලා සිටියා වගේම අදත් ළමයින් නත්තල් සීයා එන තෙක් බලා සිටිනවා. ඉතින් දුවේ පුතේ, නිකලස් තුමා නත්තල් සීයා වුණේ කොහොම ද කියලාත් පුංචි ඔයාලාත් දැන ගන්න කැමැති ඇති නේද?

පුංචි කාලයේදී දන් දීමෙන් සහ අනෙක් අයට උපකාර කිරීමෙන් ලත් අත්දැකීම් නිසාම වැඩිවියට පැමිණි අවස්ථාවේදී ඒ හුරුපුරුදු ඒ විදිහටම ඇති වෙනවා. ඒක ලොකු වාසනාවක්. මේ දන්දීමෙන් අසරණයන්ට උදව් උපකාර කිරීමේ ක්‍රි‍යාව නිසාම ඔහු ජනතාව අතර වඩා ප්‍රචලිත වන්නට පටන් ගත්තා. වයසින් හා අත්දැකීමෙන් පොහොසත් වූ නිකලස් පියතුමාව පසුව රදගුරුවරයකු ලෙස අභිෂේක කරනු ලැබුවා. බිෂොප්වරයකු වූ පසු ඔහු දිළින්දන් හා අසරණයන් වෙනුවෙන් වැඩි වැඩියෙන් කැපවෙන්නටත් පටන් ගත්තා. ඔහු අසරණයන් සොයා ගොස් ඔවුන්ට මුදලින් ද කෑම බීම, ඇඳුම් පැලඳුම් දීලා උදව් උපකාර කරන්න පටන් ගත්තා. විශේෂයෙන් නත්තල් කාලය ළංවන විට නත්තල් සැමරීමට වත්කමක් නොවූ අසරණ දිළිඳු ජනයාටත්, කුඩා දරුවන්ට නිකලස් රදගුරුවරයා උපකාර කළා.

ඔහුගේ රතු පැහැති රදගුරු ලෝගුවත්, උසැති රත් පැහැති රදගුරු හිස් වැස්මත්, සීතලට පලඳීන අත් වැස්මත් ඔහුටම ආවේණික ලස්සනක් ඇති කළා. ඔහුට දිගැති සුදු පුළුන්වන් රැවුලකුත් කෙස් වැටියකුත් තිබුණා. රදගුරු සැරයටිය නිසා ඔහුගේ ලස්සන පෙනුම තවත් වැඩි කළා. වර්තමානයේදිත් නත්තල් සීයාගේ බාහිර රූපයට මේ ස්වරූපය එක්වී ඇත්තේ එහෙම තමයි. නිකලස් තුමාගේ මරණින් පසුත් මෙම සම්ප්‍රදාය දිගටම පවත්වාගෙන ආවා. ඒ වගේම නිකලස් තුමා සාන්තුවරයකු ලෙස ඔසවා තැබුවා. ඉතින් දුවේ පුතේ, අදත අප නත්තල් සීයා ලෙස නිකලස් තුමා සිහිපත් වන ආකාරයට කටයුතු කරන්නේ ඒ නිසයි. ඒක පුංචි ඔබටත් මටත් ලොකු සතුටක්. ලොකු කුඩා කවුරුත් නත්තල් සීයාගෙන් තෑගි ලබන්න කැමැතියි. ඒකයි අදත් නත්තල් සීයා එනතෙක් අපි කොයි කවුරුත් බලාගෙන ඉන්නේ.

 

රූපාන්ති බුලත්සිංහල


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department