Home » Blog » අභ්‍යවකාශ සෝපානය

අභ්‍යවකාශ සෝපානය

Space Elevator

by thanushika
0 comments

ආදරණීය දුවේ පුතේ, අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ ආන්දෝලනයකට තුඩුදුන් මාතෘකාවක්. ඔයාලා ගොඩනැඟිලිවල ඉහළට පහළට ගමන් කිරීමට ලිෆ්ට් එහෙම නැත්නම් විදුලි සෝපාන භාවිත කරලා ඇති. අද අපි කතා කරන්න යන්නේ අන්න එහෙම විදුලි සෝපානයක් ගැනයි. හැබැයි මේකෙ තිබෙන විශේෂත්වය තමයි මේ සෝපානයෙන් බිල්ඩිමේ ඉහළට පහළට ගමන් කරනවා සේම, පෘථිවියේ සිට අභ්‍යවකාශයටත්, අභ්‍යවකාශයේ සිට යළි පෘථිවියටත් ගමන් කිරීමට හැකි වීමයි. මෙයට කියන්නේ අභ්‍යවකාශ සෝපානය කියලයි. මේ පිළිබඳ ලෝකයේ විවිධ විද්‍යාඥයන් විවිධ මත පළකර තිබෙන අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්තරා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඔයාල දන්නවා ඇති අපි මීට පෙර ලිපි මාලාවකින් කතා කළ ආතර් සී. ක්ලාක් මහතා පිළිබඳ. එතුමාගේ ‘පාරාදීසයේ උල්පත්’ කියන පොතේ(Fountains of Paradise)

මේ පිළිබඳ විශේෂ සටහනක් පළ කරලා තිබෙනවා. ඉදිරි වසරකදී ශ්‍රී ලංකාවේ ඉදිවන අභ්‍යවකාශ සෝපානයක් පිළිබඳ එතුමා එහි සටහන් කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ අතීතයේ සිටි හෙළයන්ට ඉතා විශිෂ්ට විද්‍යා හා තාක්ෂණික දැනුමක් තිබූ බවත්, ඔවුන්ට අහස් ගමනාගමනය සඳහා ඉතා විශිෂ්ට තාක්ෂණයක් පැවති බවටත් ඇතැම් ලිඛිත මූලාශ්‍රවල සටහන් වී තිබෙනවා. එහෙත් අවාසනාවකට හේතුව නම් ඒවා පිළිබඳ පර්යේෂණ කිරීමට සහ ඒවායේ සත්‍ය අසත්‍යතාව නිරවුල් කරගැනීමට කිසිම කෙනෙක් ඉදිරිපත් වී නෑ.

ශ්‍රී ලංකාවේ අතීතයේ පැවති විද්‍යා හා තාක්ෂණික දැනුම පිළිබඳ ඔබට මම ඉදිරි ලිපි මාලාවකදී කියා දෙන්නම්. ආතර් සී. ක්ලාක් මහතා සමීපයෙන් ඇසුරු කළ අප රටේ කීර්තිමත් තාරකා විද්‍යාඥයකු සේම ප්‍රවීණ විද්‍යා ලේඛකයකු වන අනුර සී. පෙරේරා මහතා ‘තරු විදු නෙතට’ පැවසූයේ මෙවැනි අදහසක්.

“අභ්‍යවකාශ සෝපානයක් ඉදිකිරීම විද්‍යාත්මක, ඉංජිනේරු සේම, ස්වාභාවික පද්ධතීන්වලට ද ඉතා අභියෝගාත්මක බලපෑමක් එල්ල කරනු ඇත. උදාහරණයක් ලෙස මේ සඳහා ප්‍රබල පාරිසරික අභියෝගවලට විඳ දරාගත හැකි සැහැල්ලු ද්‍රව්‍යයක් සොයා ගැනීම මෙහි ඇති මූලිකම අභියෝගය වේ. උල්කාපාත බලපෑම්, අභ්‍යවකාශ සුන්බුන්වල ගැටීම්, සූර්ය උෂ්ණත්වය හා සූර්ය කුණාටුවලින් ඇතිවන බලපෑම් සේම පෘථිවිය අභ්‍යන්තරයේ ඇතිවන ප්‍රබල සුළි කුණාටුවල බලපෑම්වලදී මෙම අභ්‍යවකාශ සෝපාන පද්ධතිය ස්ථාවරව තබා ගැනීමට පුළුවන් විය යුතු ය. මෙම අභියෝග ජයගතහොත් අභ්‍යවකාශ සෝපානය ඉදිකිරීම යථාර්ථයක් වනු ඇත.”

ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් පැවති ශ්‍රී ලංකාවේ මෙවන් අභ්‍යවකාශ සෝපානයක් ඉදි වුවහොත් එය අප රටේ සේම, ලෝකයේම අභ්‍යවකාශ විද්‍යාත්මක හැරවුම් ලක්ෂ්‍යය වනු ඇත.

රුසින් තත්සර

මොරටුව විශ්වවිද්‍යාලය

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department