හිමෙන් වැසී ගිය තුරු සහිත මිටියාවතක පිහිටි සුවපහසු නගරයක් වන අමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින්හි හෝලිබෲක් නගරයේ නත්තල් සැමරුම වසරේ ප්‍රියතම කාලය විය. සෑම වහලයක් මතම විදුලි පහන් දැල්වුණු අතර, ඉඟුරු පාන්වල මිහිරි සුවඳ වීදි හරහා ගලා ගියේ ය. එහෙත් මෙම නගරයේ විසූ අට හැවිරිදි දැරියක් වූ එමාට නම් යම් වෙනසක් අවශ්‍ය විය.
එමා නත්තලට ආදරය කළත් යම් අඩුවක් ඇති බව ඇයට දැනුණි. ඇය දිනක් ඇයගේ මවගෙන් මෙසේ ඇසුවා ය.”අම්මේ නත්තල කියන්නේ තෑගි ගන්න එක විතරද?”
එය අසා ඇයගේ මව සිනාසුණා ය. “නත්තල කියන්නේ ආදරය හා සතුට බෙදාගැනීමයි. සමහර විට හොඳම තෑග්ග ඔයා දෙන එකක් මිස ඔයාට ලැබෙන එකක් නොවෙයි.”
පසු දින එමා පාසල නිමවී නිවෙසට යද්දී බූට් සපත්තුවෙන් හිම ගොඩැලිවලට පයින් ගසමින් මේ ගැන සිතුවා ය. එතකොටයි ඇය දැක්කේ ඇයගේ වයසේ පිරිමි ළමයෙක් බංකුවක් උඩ ඉඳගෙන සීතලේ වෙව්ලමින් සිටින ආකාරය. ඔහුගේ කබායෙහි සිදුරු තිබූ අතර, ඔහුගේ දෑත් සීතලෙන් රතු වී තිබිණි. එමා ඔහුව හඳුනා ගත්තාය. ඔහුගේ නම මැක්ස්.
“හලෝ, මැක්ස්!” එමා ඔහු අසලින් වාඩි වී කීවාය. “ඇයි ඔයා මේ සීතලේ එළියට ආවේ?”
එමා ඇසුවාය. මැක්ස් බිම බැලුවේ ය. “මං මේ නගර චතුරශ්‍රයේ නත්තල් සීයාව දැකගන්න බලාපොරොත්තුවෙනුයි මෙතැන බලා ඉන්නේ. ඒත් මට වැඩි වේලාවක් එළිමහනේ රැඳී ඉන්න තරම් උණුසුම් ඇඳුම් නැහැනේ.” මැක්ස් පිළිතුරු දුන්නේ ය.
එය අසා එමාගේ සිත කම්පා විය. නිවෙසේ අල්මාරියේ තිබෙන ඇයගේ උණුසුම් කබා, ස්කාෆ් සහ අත්වැසුම් එකතුව ගැන ඇයට මතක් විය.
එවිට ඇයට අදහසක් පහළ විය. “මෙතැන ඔහොම ඉන්න මැක්ස්. මම ඉක්මනින්ම එන්නම්!”
එසේ පැවසූ ඇය නිවෙසට දිව ගියා ය. ඇයගේ කම්මුල් සීතලෙන් හා උද්යෝගයෙන් රෝස පැහැයට හැරුණි. ඇය ඇයගේ අල්මාරිය ඇර බැලුවා ය.
සුවපහසු ස්කාෆ්, සිනිඳු අත්වැසුම් යුගලයක් සහ උණුසුම් රතු තොප්පියක් ඇය එතුළින් සොයාගත්තා ය. ඇය ඒවා අලංකාර කඩදාසි දවටනයක ඔතා ගත්තා ය. රිබන් පටියක් ද එහි ගැටගැසුවා ය.
ඉන්පසු ඇය , ඉක්මනින් මැක්ස් වාඩි වී සිටි බංකුව අසලට ආපසු ගියා ය.
“මෙන්න, නත්තලටත් කලින් ඔයාට නත්තල් තෑග්ගක්.” ඇය පාර්සලය මැක්ස් වෙත ලබා දුන්නා ය.
එමා දුන් පාර්සලය විවෘත කරන විට මැක්ස්ගේ ඇස් විශාල විය. “මේවා මට ද? ඇත්තටම?” ඔහු පාර්සලයේ තිබූ ස්කාෆ් එක සහ අත්වැසුම් ඇඳගත්තේ ය.
ඔහුගේ සිනහව අවට තිබූ දිලිසෙන ආලෝකයට වඩා දීප්තිමත් විය. “ස්තූතියි එමා. මේක තමයි මට ලැබුණු හොඳම තෑග්ග”
ඒත් එමා තවමත් මැක්ස්ට හොඳම තෑග්ග ලබාදී නැත. එදින සවස ඇය මැක්ස් සහ ඔහුගේ පවුලේ අයට වඩා දීප්තිමත් නත්තලක් ලබා දීමට ඔවුන්ට නත්තලට උදව් කළ හැකිදැයි ඇයගේ මව්පියන්ගෙන් ඇසුවා ය.
ඇගේ මව සහ පියා සිනාසෙමින්, “ඇත්ත වශයෙන්ම පුළුවන්” යැයි පැවසූහ.
ඊළඟ දින කිහිපයේදී , එමා සහ ඇගේ පවුලේ අය මැක්ස්ගේ නිවෙසට රහසිගතව කුඩා පුදුමයන් එනම් කුඩා තෑගි ලබා දුන්හ.
කුකීස් කූඩයක්, කුඩා නත්තල් ගසක් සහ සැරසිලි පෙට්ටියක් පවා එම තෑගි අතර තිබිණි. මේ සෑම රහස් තැග්ගක්ම මැක්ස් සහ ඔහුගේ පවුලේ අය සොයා ගත්හ. ඔවුන්ගේ ප්‍රීතිය අසල්වැසි ප්‍රදේශය ආලෝකවත් කරන බවක් පෙනෙන්නට තිබිණි.
නත්තල් උදෑසන, මැක්ස් සහ ඔහුගේ මව්පියන් එමාගේ දොරට තට්ටු කළහ. මැක්ස් අතින් සාදන ලද නත්තල් සුබ පැතුම් පතක් අල්ලාගෙන සිටියේ ය.
දිලිසෙන තාරුකාවලින් එම සුබ පැතුම්පත සැරසී තිබිණි. “මෙය ඔබටයි,” ඔහු සිනාසෙමින් එමාට පැවසුවේය. “අපට තෑගි ලබා දුන්නාට ඔයාලාට ස්තූතියි මේක තමයි අපේ හොඳම නත්තල.” මැක්ස් පැවසුවේ ය.
එමා, මැක්ස් සහ ඔහුගේ මව්පියන් වැළඳ ගත්තා ය. “ඒක තමයි යමක් දීම. එයින් පුදුමයක් ද හිතට දැනෙනවා.” ඇය පැවසුවා ය.
එදා නත්තලේදී එමා දැනගත්තා ලොකුම තෑග්ග, හොඳම තෑග්ග තිබෙන්නේ නත්තල් ගස යට නොවන බව. කෙනකුට යමක් ලබාදී ඔහුගේ මුහුණට සිනාවක් එක් කිරීම වඩාත් වටින හොඳම තෑග්ගක් බව.
ඉංග්‍රීසි ළමා කතාවක් ඇසුරෙන්
හර්ෂණී ගමගේ