පොකුණක් අද්දර මොනරෙක් සිටගෙන සිටියේ ය. ජලයේ පෙනෙන තමන්ගේ ප්‍රතිබිම්බය දෙස පැය ගණනාවක් බලා සිටි මොනරා තමාගේම සුන්දරත්වය ගැන මවිත විය.
“මම මොනතරම් විශිෂ්ට සත්ත්වයෙක් ද” මොනරා තමා ගැනම සිතුවේ ය. මගේ රන් පිහාටු, මගේ දීප්තිමත් වර්ණ දෙස බලන්න . වෙනත් කිසිම කුරුල්ලෙක් මං තරම් ලස්සන නැහැ!
එක්වරම මහා ඝෝෂාවකින් ඇසී මොනරා තමාගේ සිතිවිලිවලින් මිදී වටපිට බැලුවේ ය. කොකෙක් පොකුණට බැස ජලය හරහා දිගු ගමනක් යමින් සිටිනු මොනරා දුටුවේ ය..
“ඒයි, කැත කුරුල්ලා! ඔයා මෙතැන කරන්නේ මොනව ද?” මොනරා කෑගැසුවේ ය. එහෙත් කොකා කලබල නොවී දිගටම පොකුණේ කෑමට යමක් සොයමින් සිටියේ ය.
“ඔයා දිහා බලන්න!” මොනරා දිගටම කතා කළේය. “ඔයාගේ මුළු ශරීරයම අළු පාටයි. ඔයා අපිරිසුදුයි. ඒ දිගු කකුල් සහ බෙල්ල. ඔයා ලස්සනත් නෑ. විශේෂයෙන් මාත් එක්ක සංසන්දනය කරන කොට!”
එවිට කොකා නැවතී සෙමින් හිස ඔසවා බැලුවේ ය. කොකා පුදුමයෙන් මොනරා දෙස බැලුවේ ය.
“මම කියන්නේ, මං දිහා බලන්න!” මොනරා පැවැසුවේ ය. “මම තමයි ලස්සනම කුරුල්ලා. මගේ වර්ණවත් වලිගය විතරක් ඇති ඔයාව පරාජය කරන්න”
මොනරා දෙස බැලූ කොකා අහසට පියාසර කරමින් මෙසේ පැවැසුවේ ය.
“ඔයා හරි. ඔයා ලස්සන කුරුල්ලෙක් සහ මට වඩා බොහෝ වර්ණවත්. ඒත් ඔයා දන්නවාද? මට ඉහළ අහසට නැඟලා ක්ෂිතිජයට පියාසර කරන්න පුළුවන්. මම නිදහසේ මගේ පියාපත්වලින් ඕනෑ තරම් ඈතට යනවා. මට ඉහළින් ලෝකය දකින්න පුළුවන්. ඒත් ඔයා සෑම විටම බිම රැඳී සිටින අතර, නාඳුනන පුද්ගලයන්ට විහිළු කරනවා විතරයි”.
තමන් කෙතරම් වැරැදිද කියා මොනරාට වැටහුණි. මොනරා කොකාගෙන් සමාව ගැනීමට උත්සාහ කළත් කොකා ඒ වන විටත් ක්ෂිතිජය දෙසට පියාසර කරමින් සිටියේ ය.
ආදර්ශය
අලංකාරය ලෝකයේ වැදගත්ම ලක්ෂණයක් නොවන අතර, අලංකාර බව ගැන සිතමින් උඩඟු වීම නිෂ්ඵල දෙයකි.
පරිවර්තනය – හර්ෂණී ගමගේ