වර්තමානයේ තරගකාරී අධ්‍යාපන රටාවකට දරුවන් යොමු වී තිබේ. එම තරගය නිසාම දරුවන් පීඩාවට පත්වී ඇත. මේ පීඩාව දරා ගැනීමට ඇතැම් දරුවන්ට නොහැකිවීම නිසා ඔවුන් අපහසුතාවට පත් වේ. මේ තත්ත්වයෙන් දරුවන් ගලවා ගැනීමට නොහැකි වුවහොත්, දරුවා වැඩිහිටියකු වීමේදී ඔහුගේ හෝ ඇයගේ පෞරුෂත්වය නැති වේ. මේ නිසා කුඩා කාලයේදී දරුවකු හැසිරවීමේදී වැඩිහිටියන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටිය යුතුයි. මේ පිළිබඳ අවධානයෙන් සිටීමේ වැදගත්කම ගැන හම්බන්තොට අම්බල මහා විද්‍යාලයේ විදුහල්පති එස්. කේ. ප්‍රභාත් මහතා මේ අයුරින් අදහස් දැක්වූයේ ය.
” දරුවකුට මූලික අධ්‍යාපනය දෙන්න අවශ්‍යයි. අධ්‍යාපනය නැතිව දරුවකුට ඉදිරියට යන්න බැහැ. විභාග මූලික කරගත් අධ්‍යාපන රටාවක් වර්තමානයේ තිබෙනවා. සමබර මනසක් ඇති දරුවන්ට ඒක ඔරොත්තු දෙනවා. එසේ් නොමැති අයට එය ඔරොත්තු දෙන්නේ නැහැ. අධ්‍යාපනය කියන්නේ පොතින්පතින් ලබන දැනුම පමණක් නොවෙයි. අධ්‍යාපනය මිනිසකු තැනීමට ඉවහල් වෙනවා මෙන්ම ඔහුට සමාජීය වටිනාකමක් දීමටත් මූලික වෙනවා. මේ නිසා දරුවන්ව අධ්‍යාපනය ලැබීමට යොමු කිරීමේ කිසිදු වරදක් නැහැ. එහෙත් සෑම කෙනකුටම ඔහුට හෝ ඇයට ගැළපෙන අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. ගණිතය, විද්‍යාව, ඉංග්‍රිසි වැනි විෂයයන්වලට හැම දරුවන්ම දක්ෂතා දක්වන්නේ නැහැ. එහෙත් ඇතැම් දරුවන් එම විෂයයන්වලට දක්ෂතා දැක්වූයේ නැති වුණාට මෝටර් රථ අලුත්වැඩියාවට, වෑල්ඩින් කිරීම පිළිබඳ ශිල්පය, චිත්‍ර ශිල්පය වැනි විෂයන්වලට දක්ෂතා දක්වනවා. ඒ පිළිබඳ ගුරුවරුන් මෙන්ම වැඩිහිටියන් අවබෝධයක් ලබා ගන්න අවශ්‍යයි. එසේ ලබා ගන්නා අවබෝධය ඔවුන් නිවැරැදි මාවතකට යොමු කිරීමට හේතු වෙනවා. මේ නිසා දරුවා දක්වන්නේ කුමන ශිල්පීය දක්ෂතාවක් ද යන්න පිළිබඳ තේරුම් ගැනීම ඉතා වැදගත් වෙනවා.”
” අපේ පාසලේ සිටින සෑම දරුවකුටම විවිධ දක්ෂතා තිබෙනවා. ඒ දක්ෂතා තේරුම් ගැනීම ගුරුවරුන් වන අපේ යුතුකමයි. විභාගයක් වුණත් කරන්නේ උසස් රැකියාවක් සොයා ගන්න, හොඳ ජීවන තත්ත්වයක් ගත කරන්න. කවදාහෝ තමන්ගේ ව්‍යාපාරික ස්ථානයක්ම කරගන යෑමට හැකියාව ලබා ගතහොත්, එයින් ජයග්‍රහණයක් සිදු වේ. මේ ජයග්‍රහණය ලබා ගැනීමට ව්‍යාපාරික දැනුම අත්‍යවශ්‍ය වේ. ව්‍යාපාරික දැනුම යනු පොතින්පතින් ලබා ගන්නා දැනුම නොවේ. ප්‍රායෝගිකව අත්දැකීම්වලින් ලබා ගන්නා දැනුමයි. මේ දැනුම සෑම කෙනකුටමට ලබා ගැනීමට නොහැකි වේ. එයට හේතුව එකිනෙකා දක්වන දක්ෂතා විවිධ වීමයි. ගුරුවරුන් වශයෙන් මේ තත්ත්වය අප අවබෝධකර ගත යුතුයි. එසේ නොමැති වුවහොත් දරුවාට තමා පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න කෙනකු නොමැති වෙනවා. මේ තත්ත්වය ගුරුවරුන් තේරුම් ගත යුතුයි.”
” වර්තමානයේ අධ්‍යාපනය ලබන දරුවන් විවිධ දක්ෂතා ප්රමුඛ කරගෙන තමන්ගේ ඉදිරි ගමන යනවා. එහිදී ඔවුන් දැනුම්වත් කරන්න අවශ්‍යයි. එලෙස දැනුම්වත් නොකළහොත් දරුවන් අතරමං වීමට ඇති ඉඩප්‍රස්තාව වැඩියි. මේ නිසා වැඩිහිටියන් වන අප ඉතා කල්පනාකාරීව වැඩ කළ යුතුයි. යහපත් කල්පනාවත් නිසි අවබෝධයත් දරුවන්ගේ ජයග්‍රහණවලට හේතු වෙනවා. මේ සඳහා ගුරුවරුන් වශයෙන් අප ඔවුන්ව මෙහෙයවිය යුතුයි. මගේ පරමාර්ථය සමෘද්ධිමත් දරුපරපුරක් ඇති කිරීමයි.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප – පාසලේ ඡායාරූප සංගමය