ආදරණීය දුවේ පුතේ, පොලොන්නරු රාජධානිය සමයේදී ඉදි වූ ප්‍රධාන ශිව දේවාල තුනක් අපට දැක ගත හැකි අතර, අද දවසේ උරුමයක වගතුගවලින් එම දේවාල තුන පිළිබඳ කරුණු සොයා බලන්නටයි මේ සූදානම් වන්නේ.
අනුරාධපුර යුගයට පසුව ලක්දිව පාලන බලයට පැමිණි චෝලයන් විසින් මෙම දේවාල තම ආගමික අවශ්‍යතා සඳහා ඉදිකරන්නට ඇතැයි විශ්වාස කරයි. මෙහි නිර්මාතෘවරයා කවුද යන්න පිළිබඳ අදටත් පිළිගත් නිශ්චිත මතයක් නොමැත. මේවා දහතුන් වැනි සියවසේදී පමණ ඉදිකරන්නට ඇතැයි විශ්වාස කරයි.
පොලොන්නරු යුගයේ ඉදිකරන ලද පළමු දේවාලය වූයේ ද මෙයයි. මෙම දේවාලය දළදා මළුව අතර, රන් කොත් වෙහෙර දෙසට යන මාර්ගයේ මැණික් වෙහෙරට ආසන්නව පිහිටා තිබේ. තියුණු දත් විහිදා සිටින කැරකුණු අං සහිත සත්ත්ව රූපයක් මෙහි දක්නට හැකි වේ. එහි ඇති විශේෂ නිර්මාණය වන්නේ ද මෙයයි.
චෝල ගෘහ නිර්මාණ ශිල්පය අනුව යමින් ඉදිකර ඇති මෙම දේවාලය කළුගල් උපයෝගී කොට ගෙන ඉදිකර තිබේ. දේවාලයේ ඉහළ කොටස ගඩොලෙන් ද පහළ කොටස කළු ගලින් ද නිර්මාණයකර තිබේ. මෙම දේවාලය කොටස් තුනකින් සමන්විත වේ. ඒවා නම් මණ්ඩපය, ගර්භ ගෘහය, හා අන්තරාලය වශයෙනි. ගර්භ ගෘහයේ හා අන්තරාලයේ පිට බිත්තිවල කළු ගලින් කළ කුටීර තිබේ. ඒවායේ සෙල් මුවා දේව රූප තැන්පත් කළ බවට සාධක හමුවේ. දේවාලය ඇතුළත තිබී ලෝකඩ ප්‍රතිමා රාශියක් හමු වී ඇත. ශිව දේව ප්‍රතිමාව හා පාර්වතී දේවිය සමඟ සිටින ශිව දෙවියන්ගේ ප්‍රතිමාව ඒ අතර ප්‍රධාන වෙයි.
එසේම ගර්භ ගෘහයේ බිත්තිවල කුලුනු හැඩැති කළු ගලින් සිදු කරන ලද කැටයම් ද තිබී ඇත. කුලුනු ද කැටයම්වලින් අලංකාරකර තිබිණි. අද දක්නට ලැබෙන සිත් ගන්නා සුළු කැටයමක් වන්නේ අගස්ති ඍෂිවරයාගේ යැයි පැවසෙන කැටයමයි.
අපට හමුවන දෙවැනි ශිව දේවාලය පොලොන්නරුව පෞරාණික නගරයේ දක්නට හැකි පැරැණිතම ගොඩනැඟිල්ල ලෙස සලකයි. එම ගොඩනැඟිල්ල මායාදේවී ඉසාර මුදියර් දේවිය සිහිවීම සඳහා ඇයගේ පුත් රාජේන්ද්‍ර රජු මෙම දේවාලය ඉදිකරන්නට ඇතැයි විශ්වාස කරයි.
මෙම දේවාලය ද පාණ්ඩ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සොළීන් විසින් ඉදිකර තිබේ.
මෙම ගොඩනැඟිල්ල ද තනි කළු ගලෙන් නිමවා තිබේ. මෙහි බාහිර බිත්ති විමානාකාර හැඩයකින් අලංකාරකර ඇත. ඉදිරිපස දොරටුවෙහි අලංකාර කැටයමක් තිබේ. එය ශිව දෙවියන්ගේ වාහනය වූ නන්දි ගවයාගේ බවට විශ්වාස කරයි. පිටත නගරයේ උතුරු ද්වාරය ආසන්නයේ තෙවැනි ශිව දේවාලය අපට හමුවේ. එය ගණපති හා විෂ්ණු දේවාල සමීපයේ පිහිටා ඇත.
වර්තමානයේ පළවන මතයකට අනුව ස්ථානවල සිදු කරන ලද කැණීම්වලින් එයට යටින් බෞද්ධ විහාරස්ථානයක නටබුන් මතු වූ බවට මතයක් පළ වී ඇත. ඒ අංක එක ශිව දේවාලය ආශ්‍රිත භූමියේ සිදු කරන ලද කැණීම්වලදී ය. අංක එක ශිව දේවාලයේ ගර්භ ගෘහයට යාව ඇති අන්තරාලය අසල කැණීම් කිරීමේදී පුරාණ ගොඩනැඟිල්ලක අවශේෂ මතුවීම මෙම මතය ඇතිවීමට හේතුවයි. අන්තරාලයේ බිත්තිවලට සමාන්තරව තිබුණු එම බිත්ති වට කොට ශිව දේවාලයේ කළුගල් බිත්ති තනා තිබූ අතර, ගඩොල් බිත්ති සුදු පැහැති හුනු පිරියම් කොටසක් තිබී ඇත. දේවාලය තැනීමේදී බිත්ති මට්ටම්කර ගඩොල් අතුරා ඒ මත කළුගල් පුවරු තැබීම සිදුකර තිබේ.
කෙසේ වෙතත් මෙම මතය මෙතෙක් සනාතකර නොමැත. එය සත්‍ය වශයෙන්ම බෞද්ධ ගොඩනැඟිල්ලක අවශේෂයන් ද එසේත් නැතහොත් ශිව දේවාලය ගඩොල් හා කළුගල් යන මාධ්‍ය දෙකම භාවිතකර ඉදිකර තිබුණේ ද යන්න පිළිබඳ මෙතෙක් පිළිගත් නිශ්චිත මතයක් ප්‍රකාශ නොවීම එයට හේතුවයි.
ලක්නා නිරෝෂිමාලා