ළමා ලෝකය ගොඩක් සුන්දරයි. ඒ සුන්දරත්වය තවත් වැඩි කරන්න ළමා ගීතවලට පුළුවන්. ආදරණීය දුවේ පුතේ, පුංචි ඔයාලා වෙනුවෙන්ම ලියවිලා තිබෙන ළමා ගීත ඕනෑතරම් තියෙනවා. මේ තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් ඔබගේ මනසටත් ගොඩක් වෙහෙස ඇති. ඉතින් ඒ වගේ වෙහෙස දැනෙන වෙලාවකට ළමා ගීත ඔබ සනසන දිව ඔසුවකට සමානයි නේද?. ඒ වගේම ඒ ගීතයකින් ඔබට ලැබෙන අවවාද ජීවිතයට ගොඩක් අපූරු පාඩම් කියා දෙනවා. මෙවැනි පාඩම් ඔබ අනාගතයේ වැඩිහිටියකු වී සමාජගත වීමේදී ඔබට බොහෝසෙයින් දැනෙනවා. ඒවගේ ඔබට බොහෝසෙයින් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් දුවේ පුතේ, අද අප ඔබට කියන්න සූදානම් වන්නේ එවැනි ළමා ගීත කිහිපයක වටිනාකම පිළිබඳයි. කියවලා බලන්නකෝ ඔබටත් ප්‍රයෝජනවත් වේවි.
පුංචි දුවලා පුතාලා, හැමෝම අහල තිබෙන ගීතයක් තමයි ‘මගෙ පොඩි යාළු’ ගීතය. ඉතින් මේ ගීතයේ ඇති රසවත් බව අපි විමසා බලමු නේද?
මගෙ පොඩි යාළු – නෙළමු ද ඕලූ
ගඟට යමූ ඔරු පදිමූ
මල් නෙළමූ කවි කියමූ…
මිත්‍රත්වය, සාමූහිකත්වය ගැන තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. පුංචි දරුවන්ගේ හිත්වල නපුරු, දුෂ්ට චේතනා නෑ. හරිම පවිත්‍රයි. ඒ නිසා එයාලා කිසිම දවසක තනියම දිනන්න උත්සාහ කරන්නේ නෑ. ඒ වගේ ආත්මාර්ථකාමී චේතනා සිතේ ඇති වෙන්නෙත් නෑ. මේ ගීතයේ සෑම ක්‍රියා පදයක්ම අවසන් වන්නේ නෙළමූ, යමු, පදිමු, කියමු ලෙස බහුවචනයෙන්. මෙමඟින් සාමූහිකව කටයුතු කිරීම අගයකර ඇත. සාමූහිකත්වය, සමගියෙන් කටයුතු කිරීම ඉතා වැදගත් ගුණාංගයක් බව එයින් පැහැදිලි වෙනවා. මෙවැනි අර්ථාන්විත බවක් මේ ළමා ගීතයේ ගැබ්වෙලා තිබෙනවා. ඒ වගේම තමයි දරුවනේ ඔයාලා අහලා ඇති ලලිත් සිරිවර්ධන මහත්මයා ඇතුළු පිරිස ගායනා කරන මේ ගීතයත්.
උදෑසනම පොඩි අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා
උදේ පාන්දර පාසල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා
දෙබර මුලක් ගල් වැදී සැලෙන සේ
එපා පුංචි ළමයිනි පොර කන්නට
පේළි ගැසී බසයට නැඟ ගත්විට
මුතු ඇමිණුවා වාගෙයි මුතු පොටකට
මේ පොඩි බස් රිය ඔබේය හිතලා
කුරුටු ගෑම හොඳ නෑ ඉරි ඇඳලා
අසුන් කඩා බිඳ දමා නොයන්නේ
ඔබේය මේ බස් රිය රැක ගන්නේ
ශබ්ද රසය වගේම අර්ථ රසයෙන් ද අනූන මේ ළමා ගීතය වටිනා ආදර්ශ රැසක් ගෙන එනවා. පිළිවෙළකට වැඩ කරන්නේ කොහොමද?
පොදු දේපළ රැක ගන්නේ කොහොමද? මේ වගේ දේවල් පුංචි දරුවන්ට කියා දෙනවා. ළමා ගීත ඔස්සේ දරුවන්ට මෙවැනි ඉතා වටිනා ගුණධර්ම කියා දෙන්න, හොඳ පුරුදු, චර්යා දියුණු කරන්න උදව් වෙනවා. මේක වටිනා දෙයක්.
දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ
ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ //
මං පළවෙනි ආවා කියල
අම්මට හරි ආස හිතිල
දෙනව කිව්වා තෑගි ගෙනල්ලා…//
හා.. හා.. දෙනව කිව්වා තෑගි ගෙනැල්ලා
දැන් නිවාඩු කාලෙ හින්දා //
තාත්තා මට ආදරේලු
ආච්චි මට හාදු දේ ලු //
අක්කා දේවි ගවුම් මසාලා…
හා … හා.. අක්කා දේවි ගවුම් මසාලා
දැන් නිවාඩු කාලෙ හින්දා//
කෝච්චියේ ගමට යනවා
කිරියි පැණියි කාලා එනවා
ඔංචිලි පදින කාලෙ ඇවිල්ලා
හා.. හා.. ඔංචිලි පදින කාලෙ ඇවිල්ලා
දැන් නිවාඩු කාලෙ හින්දා//
මෙය පාසල් නිවාඩු කාලය තේමා කරගෙන කරුණාරත්න අබේසේකර මහතා රචනාකර තිබෙන, ළමා මනස සනසන සුන්දර ළමා ගීතයක්. නිවාඩු කාලය කොහොමද ගත කරන්න ඕනෙ? පවුලේ අය නෑදෑ හිතමිත්‍රාදීන් එක්ක සමගියෙන් ඉන්න ඕනෙ කොහොමද කියලා මේ ගීතයෙන් කියා දෙනවා.
ඉතින් දුවේ පුතේ, මේ ගීතය ගැනත් හොඳීන් ඔබේ මනස යොමු කරලා බලන්න. එයින් මනස සුවපත් වේ. ඒ සුවය නිසාම පුංචි ඔබට නැවුම් ප්රබෝධයක් ලැබෙනු ඇත.
අපේ අම්මා කොළඹ ගිහිල්ලා. මට අලුතින් පොත් ගෙනවිල්ලා.
මගේ පෑනේ වයිරන් වැටිලා. පැන්සලය ද ගානට කැපිලා.////
යාළුවො දෙන්නෙක් පමණයි තවමත් හරි ඉහළයි පන්තිය මාගේ.
භූගෝලය ඉතිහාසය, ගණිතය
ලේසියි මට රට කජු වාගෙයි.//
අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
ගුත්තිලයේ කවි ටික කට පාඩම් අමා වතුර මට වතුර වගේ
කතා පොත හොඳයි නින්දට යන විට.
කියවන්නට එය හරිම අගේ //
අපෙ අම්මා //
අපෙ අම්මා කොළඹ ගිහිල්ලා //
පෙර පර දෙදිගම රසවත් පොත පත ඉඩ ලැබු හැම විට කියවනවා
මා ලොකු වුණු පසු කවි ගී රචනා ලියලා පොඩි අය සනසනවා.
අපෙ අම්මා කොළඹ ගිහිල්ලා //
අපි කවුරුත් කැමැතියි අම්මා හෝ තාත්තා කොහේ හරි ගිහිල්ලා එනකොට, අලුත් තෑග්ගක් අරගෙන එන එකට. මේ ගීතයෙන් කියවෙන්නේ අලුතින් ලැබුණු පොත් පිළිබඳ විස්තර කරන පුංචි දරුවකු ගැන කතාවයි. අම්මා ගෙනාව පොත් පිළිබඳ පුංචි පුතාට දැනෙන්නේ සතුටක්.
ඒ සතුට ඔහු ප්‍රකාශ කරන්නේ පොත් අතපත ගා ඒවායේ සුවඳ බලලා ලබා ගන්නා ස්පර්ශයෙන්. ඉතින් දුවලා පුතාලා සෑම විටම අලුත් පොත්පත්වල තිබෙන අලුත් දේවල් ඉගෙන ගන්න ආසයි නම් අලුත් පොත් කියවන්න ඕනේ. මේ සෑම දෙයක්ම සෑම කෙනකුටම පොදු දේවල්. කුඩා කාලයේ කුමන හැකියාවන් තිබුණුත් පුංචි ඔබේ දඟකාරකම් වෙනස් වෙන්නේ නැහැ. ඒ වුණත් මව්පියන් සහ වැඩිහිටියන්ට ඔබ වටිනා මැණික්. මේ ගීතයෙන් කියවෙන්නේ එවැනි කතාවක්.
දඟකරනා හා පැංචාත් මං වගේම ලූ
මල් පඳුරේ පිපුණ මලත් මං වගේම ලු
මම වගේම කොවුල් හාමි ගී ගයනවා ලු
මම පාඩම් වැඩ හොඳීන් කියන හොඳ ළමයෙක් ලු//
කුරුලු පැංචා වගේ කියලා තාත්තා කියනවා
දඟ මල්ලක් තමයි කියලා අම්මා කියනවා.
අච්චි සීයා රන් මැණික් කියලා කියනවා
මේ හැමෝම ආදරයෙන් මාව රකිනවා
දඟ කරනවා //
හිරු කිරණ සේ තාත්තා එළිය ගෙනෙවා.
අම්මා මගේ සඳ එළියක් සේ බැබළෙනවා. //
මිණි පහනක් වගේ ගුරුතුමිය ඉන්නවා.
මල් උයනක් මගෙ පාසල සුවඳ හමනවා
දඟකරන කුරුලු පැටවකු වැනි කුඩා දියණියක් තමන්ගේ කුඩා කාලය භූක්ති විඳීන ආකාරය මේ ගීතයෙන් කියවේ. අම්මා තාත්තා, ආච්චි, සීයා, ගුරුතුමිය ඇය කෙරෙහි දක්වන ආදරය මේ ගීතයෙන් මනාව කියවෙයි. වර්තමාන ළමා පරපුරේ ගායිකාවක් මේ ගීතය ගායනා කරනවා.
මේ නිසා ඇයට ඇගේ පාසල සුවඳ හමන මල් උයනක් කියලා තමයි ඇය කියන්නේ. ඉතින් දුවේ, පුතේ, ඔබටත් ඔබේ පාසල සුවඳ හමන මල් උයනක් කරගන්න පුළුවන්.
නව පරපුරේ ළමා ගායකයකු වන නිතීෂ පුතා පසුගියදා පුංචි ඔබ වෙනුවෙන ගායනා කළ ගීතයක් ගැනයි මීළඟට හඳුන්වා දෙන්න සූදානම් වෙන්නේ.
දේදුන්නේ පාට වගේ මල් පිපිලා හිනාවෙවී සුළඟේ තාලෙට ගහකොළ
නැටුම් නටනවා.
ඒ ගහකොළ කපා දමා සුරංගනා ලෝක සදා
තව්තිසාව වගේ කියා අපිත් නටනවා.
ඇවිද යන්නෙ නැහැ. ගහකොළ කතා වෙන්නේ නැහැ.
කපා කොටා බිම හෙළුවට තරහ ගන්නේ නැහැ.
ගහකොළ නැතිදා මිහිපිට හුස්ම පොදක් නෑ
දෙව්ලොව දෙවියන් ආවත් හුස්ම දෙන්න බෑ.
දේදුන්නේ පාට වගේ/
ගලා හැලෙන දිය දෝතක සිසිල රැඳෙන්න.
හුස්ම පොදට ජීවය සැමදා එක්වන්න.
දෙව්ලොවටත් වැඩියෙන් මිහිතලය දිලෙන්න.
ගහකොළ උරුමය මිහිමත රැඳෙන්න දෙන්න.
දේදුන්නේ පාට වගේ/
නූතනයේත් ළමා ගීත බිහි වෙනවා. එහෙත් ශබ්ද රසයෙන් ළමා මනස සුවපත් කරනවා වගේම වැදගත් පණිවිඩ, ආදර්ශයෙන් දරුවන් ගුණ යහපත් කරන්නන්ට එම ළමා ගීතවලට හැකි වී තිබෙනවා ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් පවතිනවා. ළමා ගීත හුදෙක්ම ළමා මනස මුල්කරගෙන රචනා කරන නිසාවෙන් ළමයාට ගැළපෙන, අවබෝධ කරගැනීමට පහසුවිය යුතුයි. ඒ වගේම දරුවන් යහමඟට ගැනීමට අවශ්‍ය හොඳ ගුණධර්ම පුරුදු පුහුණු විය යුත්තේ ළමා කාලයේ සිටමයි. ඒ නිසා ළමා ගීතයෙන් එම කාර්යය ඉටු විය යුතුයි. එසේ වීමට නම් ළමා ගීත අර්ථවත් විය යුතුමයි.
වන්දනා අබේසේකර