Home » Blog » මායාවරුන්ගේ ශිෂ්ටාචාරය රසවත් කළ චොකලට්

මායාවරුන්ගේ ශිෂ්ටාචාරය රසවත් කළ චොකලට්

by thanushika
0 comments

චොකලට් ඉතිහාසය සොයන කතන්දර අවසන් වන්නේ පුරාණ මායා ශිෂ්ටාචාරයෙන් සහ දකුණු දිග මෙක්සිකෝව ආශ්‍රිතව වාසය කළ ඔල්මෙක්ස්වරුන්ගෙනි. චොකලට් යැයි කියූ පමණින් වයස් බේදයකින් තොරව හැමදෙනාම ප්‍රිය කරන රසවත් කෑමක් බව අපේ මතකයට නැඟෙයි. විශේෂයෙන් දරුවනේ, ඔයාලා චොකලට්වලට කැමැතියි නේ ද? ඒ නිසාම තමයි අපි අද චොකලට් ගැන කියන්න හදන්නේ. පාරිභෝගික රුචිය ඔපනංවා ගන්නා අයුරින් නොයෙක් ඇට වර්ග යොදාගෙන සාදන චොකලට් විවිධ වෙළෙඳ නාමවලින් වෙළෙඳපොළට පැමිණෙයි. වර්තමානයේ තමයි පැණිරසයෙන් යුක්ත චොකලට් අපට මිලදී ගැනීමට හැකි වන්නේ. එහෙත් අතීතයේ චොකලට් ජනප්‍රියත්වයට පත් වී ඇත්තේ තිත්ත රසයෙන් යුක්ත පානයක් විලස ය. කිසිවිටෙකත් අතීතයේ මිනිසුන් චොකලට් පැණි රස කැවිල්ලක් ලෙස නොසැලකී ය. එය පානයක් විලසම නිරන්තරයෙන් සැලකූ බව පැවැසේ. මේ නිසා චොකලට් කෙරෙහි අතීතයේ නම් දැඩි අවධානයක් නොතිබූ අතර, වර්තමානයේ දී නම් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.

චොකලට්වල ඉතිහාසය

චොකලට් නිපදවීම සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය වන්නේ කොකෝවා ඇටයි. මධ්‍යම සහ දකුණු අමෙරිකාව නිජබිම කරගත් කොකෝවා ගස වැවිලි භෝගයක් වශයෙන් ද මිනිස්සු සිටුවති. කොකෝවා ගෙඩියක සාමාන්‍යයෙන් කොකෝවා ඇට හතළිහක් පමණ අන්තර්ගත වේ. චොකලට් සෑදීම සඳහා යොදා ගන්නේ හොඳීන් වියළා පුළුස්සා ගන්නා ලද කොකෝවා ඇටයි. පුරාණ මිනිස්සු කොකෝවා ඇට කෑමට යොදාගෙන ඇත්තේ කුමන වකවානුවල ද යන්න පිළිබඳ නිශ්චිත මතයක් නොමැත. ක්‍රි.පූ. 1500දී පමණ කොකෝවා ඇටවල ඇති තිත්ත රසැති සංයෝගය සොයා ගැනීමට හැකි වී තිබේ. ඉතිහාසඥයන්ගේ මතය වන්නේ ඔල්මෙක්වරුන් විසින් චාරිත්‍රානුකූල පානයක් නිපදවීම සඳහා කොකෝවා යොදා ගන්නට ඇති බවයි. මායාවරුන් ද ඔල්මෙක්වරුන් අනුගමනය කරමින් චොකලට් යොදාගෙන තම ආහාර පාන සකසා ගත් බව ඉතිහාසයේ සඳහන් වේ.

සංස්කෘතික වටිනාකම

මායාවරුන්ගේ සංස්කෘතියේ චොකලට් සඳහා ඉහළ ගෞරවයක් සහ ඇගයුමක් හිමි වුවද, එය ධනවත් සහ බලවත් පන්තියට පමණක් සීමා වූ ආහාරයක් නොවූ අතර, සෑම මායාවරුන්ගේ නිවෙසකම පාහේ ආහාර සෑදීම සඳහා චොකලට් භාවිතකර තිබේ. මායාවරුන් විසින් නිපදවන ලද චොකලට් උකු සහ ‍පෙණ සහිත වූ අතර, බොහෝ විට ආහාරයට ගෙන ඇත්තේ මී පැණි, ජලය හෝ කොච්චි මිරිස් මුසු කිරිමෙන් අනතුරුවයි. මුදල් වෙනුවට කොකෝවා ඇට භාවිතකර තිබිණි. දෙවිවරුන්ගෙන් ලද තිළිණයක් බව ඇස්‍ටෙක්වරුන්ගේ විශ්වාසය වූයේ ය. මායාවරුන් මෙන්ම මොවුහු ද නිසි පදමට කුළුබඩු යොදා සකස්කර උණුසුම්ව හෝ සීතලව පිළියෙල කළ චොකලට් පානයේ රස වි¼දීමට පුරුදුව සිටියහ. ආහාර සහ අනෙක් භාණ්ඩ මිලදී ගැනීමේදී චොකලට් ඇට මුදල් ඒකකයක් ලෙස යොදා ගැනීමට ද මොවුහු පුරුදු වී සිටියහ. ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ කොකෝවා ඇට සලකා ඇත්තේ රන් ලෝහයකට වඩා වටිනාකමින් වැඩි වස්තුවක් ලෙස ය. ඇස්ටෙක්වරුන්ගේ ශිෂ්ටාචාරයේ චොකලට් රස විඳීමට හැකි වූයේ ඉහළ පැලැන්තියේ අයට පමණි. එහෙත් මධ්‍යම පාන්තිකයන්ට විවාහ මංගල්‍යයක් වැනි උත්සව අවස්ථාවක ඔවුන්ට චොකලට් පානය කිරීමට අවසර තිබිණි.

රාජකීය චොකලට්

මායා ශිෂ්ටාචාරයේදී චොකලට්වලට හිමි වූයේ රාජකීය ස්ථානයකි. එයට හේතුව ඔවුන් තමන්ගේ ආගමික කටයුතුවලදී මෙන් ම රාජකීය උත්සවවලදී ද චොකලට් යොදාගෙන කැවිලි වර්ග සෑදීමයි. මෙහිදී ඔවුන් සාදන චොකලට් පානය ඉතාමත් ප්‍රණීත වන අතර, එය පානය කිරීම ඔවුන්ගේ ජීවිතවල ජයග්‍රහණය සමරන අවස්ථාවක් ලෙස හැඳීන්විය හැකි ය. මේ නිසා කොකෝවාවලින් සාදන පානය ජය සංකේතය සනිටුහන් කිරීමට ඔවුහු පානය කළහ. මෙවැනි උත්සව අවස්ථාවකදී චොකලට් පානය කිරීම කිරීමෙන් නිරෝගීකම භුක්ති විඳීමට හැකියාව ලැබෙන බව ඔවුහු විශ්වාස කළහ. රජයේ අනුග්‍රහය ලැබෙන උත්සවයකදී මෙම චොකලට් පානය සිදුවෙන නිසා එවැනි අවස්ථාවක භුක්ති විඳීන චොකලට් රාජකීය චොකලට් ලෙස හඳුන්වන ලදි.

වන්දනා අබේසේකර


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department