Home » Blog » සෝනියා සහ දෙසැම්බර් රජ්ජුරුවෝ

සෝනියා සහ දෙසැම්බර් රජ්ජුරුවෝ

by thanushika
0 comments

ඔන්න දෙසැම්බර් මාසයත් උදා වෙලා. ඔයාලා කැමැතිියි නේද දෙසැම්බර් මාසය සහ අනෙකුත් මාස ගැන ලියවුණු අපූරු සුරංගනා කතාවක් රස විඳීන්න? පැරැණි රුසියානු සුරංගනා කතාවක් වන මෙහි නම වන්නේSonia and the king of December. මෙය Twelve Months Brothers (දොළොස් මහ සහෝදරයෝ), Strawberries In Snow (හිම කාලයේ ස්ට්‍රෝබෙරි), Marushka and the Twelve Months (මරූෂ්කා සහ මාස දොළහ), Little Men in the Wood (කැලෑවේ පුංචි මිනිස්සු) යන නම්වලින් ද හඳුන්වනවා.

එකමත් එක කාලයකදී සෝනියා නමින් ලස්සන සහ ගුණයහපත් දැරියක් සිටියා. ඇයගේ මව සහ පියා මියගිය නිසා ඇය ජීවත් වූයේ කුඩම්මා සමඟයි. කුඩම්මා හරිම නපුරු කාන්තාවක්. කුඩම්මාට නාදියා නමින් දියණියක් සිටියා. ඇයට එතරම් සුන්දර පෙනුමක් නොතිබූ අතර, ඇය ගතිගුණවලින් ගුණයහපත් වූයේ ද නැහැ. මේ නිසා ලස්සන සෝනියාට ඊර්ෂ්‍යා කළ කුඩම්මා සහ නාදියා නිතරම සෝනියාට හිංසා කළා. නාදියා නිතරම රසවත් ආහාරපානවල රස බලමින් සැපපහසු පුටුවකට වී විනෝදයෙන් විවේකයෙන් කාලය ගත කළා. සෝනියා තමයි නිවෙසේ සියලු වැඩපළ සිදු කළේ. නිවෙස පිරිසුදු කිරීම, ආහාර පිසීම, රෙදි සේදීම, රෙදි විවීම, පිදුරු ගෙන ඒම, එළදෙනුන්ගෙන් කිරි දෙවීම ආදී බොහෝ කාර්යයන් සෝනියා තනිවම සිදු කළා. කෙතරම් වැඩ කළත් කුඩම්මාගෙන් සහ නාදියාගෙන් කිසිම කරුණාවක් හෝ අගය කිරීමක් සෝනියාට ලැබුණේ නැහැ. එහෙත් සෝනියා ඒ ගැන දුක් වුණේවත් මැසිවිලි නැඟුවේවත් නැහැ. ඇය අහිංසක බැටළු පැටවෙක් වගේ සියල්ල ඉවසා දරාගෙන නිතරම සිනාමුසුව කාලය ගත කළා. සෝනියා කෙතරම් යහපත්ව කුඩම්මා සහ නාදියා සමඟ සිටියත් ඔවුන්ගේ නපුරුකම් නම් පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. සෝනියා දවසින් දවස ලස්සන වුණා. නපුරු නාදියා දවසින් දවස අවලස්සන වෙන්න පටන් ගත්තා. නපුරු කුඩම්මා නීරස ආහාර දෙමින් සෝනියා බඩගින්නේ තියලා ඇයව අවලස්සන කරන්න උත්සාහ කළා. එහෙත් සෝනියාගේ ලස්සන වැඩි වූවා මිස අඩු වූයේ නම් නැහැ.

ඒ සීත ඍතුවේ දවසක්. නාදියා සෝනියාට කතා කරලා කැලෑ වයලට් මල් කඩාගෙන එන්න කියලා අණ කළා.

“ඒත් නාදියා මේ දෙසැම්බර් මාසයනේ. මේ සීත කාලේ හැමතැනම හිමෙන් වැහිලා. මේ කාලෙට වයලට් මල් හොයාගන්න බැහැ” සෝනියා අසරණව පැවසුවා.

“එහෙම කියලා බැහැ ඔයා අර ඈත කඳුකරයට ගිහිල්ලා කොහොම හරි මට වයලට් මල් ගෙනත් දෙන්න ඕනෑ. නැත්නම් මං ඔයාව මේ ගෙදරින් පන්නා දමනවා”

නාදියා නපුරු හඬින් පැවසුවා. කුඩම්මා ද එතැනට පැමිණ සෝනියාව දොරෙන් පිටතට තල්ලු කළා වහාම වයලට් මල් සොයාගෙන එන්න කියලා. එළියේ හොඳටම හිම වැටෙනවා. අසරණ සෝනියා සීතලේ වෙව්ලමින් කඳුකරය දෙසට ඇවිදගෙන ගියා. ඇයගේ දණහිස් දක්වා උසට හිම වැටී තිබුණා. ඇය හිම ගොඩේ එරෙමින් හරිම අපහසුවෙන් ඇවිදගෙන ගියා.

ඇය පාර සොයා ගන්න බැරිව එහෙට මෙහෙට ගමන් කළා. බඩගින්න සහ අධික සීතල නිසා ඇය හොඳටම දුර්වල වුණා. එක පාරටම ඇයට ඈතින් අමුතු ආලෝකයක් පෙනුණා. ඇය ඒ ආලෝකය පෙනෙන දෙසට හෙමින් හෙමින් ඇවිද ගියා. එම ආලෝකය විහිදුණේ කන්ද මුදුනෙන්. සෝනියාට නොදැනීම ඇය කන්ද මුදුනට ළඟා වුණා. කඳු මුදුනෙහි තිබූ තැනිතලා ප්‍රදේශයේ විශාල ගිනි මැළයක් දැල්වුණා. ඒ වටා තැබූ ගල් කුට්ටි මත මිනිසුන් දොළොස්දෙනෙක් වාඩි වී සිටියා. එහි මුලින්ම වාඩි වී සිටි මිනිසුන් තිදෙනාගේ හිස කෙස් සුදු වී තිබුණා. ඊ ළඟට මැදිවියේ පෙනුමැති පුද්ගලයන් කිහිපදෙනෙක් ද තරුණ පෙනුමැති කිහිපදෙනෙක් ද එහි සිටියා. ඔවුන් ඉතා නිහඬව ගිනිමැළය වටා වාඩි වී සිටියා. එහි සිටි වැඩිමහල්ම කෙනා තමයි උස්ම ආසනයේ වාඩි වී සිටියේ. ඔහුගේ හිසකෙස් සහ දිගු රැවුල හිම මෙන් සුදෝසුදුවට පෙනුණා. ඔහුගේ අතේ මැජික් යෂ්ටියක් තිබුණා. සෝනියාට මුලින්ම මේ නාඳුනන අමුත්තන් ගැන බියක් ඇති වුණත් පසුව ඇය සිතට ධෛර්යය ගෙන ඔවුන් අසලටම ගියා.

“මෙහි සිටින කාරුණික මහත්වරුනි! මං ටිකකට මේ ගිනිමැළයෙන් උණුසුම් වුණාට කමක් නැද්ද? මං සීතලෙන් ගල්වෙලයි ඉන්නේ” සෝනියා ඉතා ආචාරශීලිව ඇසුවා.

” මම තමයි දෙසැම්බර් මාසයට අධිපති. මේ ඉන්නේ මගේ අනෙක් සහෝදර මාස ටිකයි. හොඳයි ඔබට හැකියි උණුසුම ලබාගන්න. ඒත් මට කියන්න පුංචි දියණියේ ඔබ ඇයි

මේ වෙලාවේ මෙහි ආවේ කියලා”

දෙසැම්බර් කාරුණික හඬින් ඇසුවා.

“මං ආවේ වයලට් මල් හොයන්නයි” සෝනියා අහිංසක ලෙස පිළිතුරු දුන්නා.

“මේ සීත ඍතුවේ වයලට් මල් පිපෙන්නේ නැහැනේ. පේනවා නේද හැම තැනම හිමෙන් වැසිලා තියෙන හැටි ” දෙසැම්බර් ඇසුවා.

“ඔව් මං ඒක දන්නවා. ඒත් මගේ කුඩම්මයි ඇයගේ දියණියයි මට අණකළා මේ කඳුකරයෙන් වයලට් මල් අරන් මිසක ආපහු ගෙදර එන්න එපා කියලා. අනේ කාරුණික මහත්වරුනේ මට කියන්න වයලට් මල් හොයාගන්න පුළුවන් තැනක්” සෝනියා බැගෑපත් හඬින් පැවසුවා.

“මාර්තු සහෝදරයා ඔයා ටිකකට මෙතැනට එන්න ” දෙසැම්බර් මැජික් යෂ්ටිය වනමින් පැවසුවා. කළු පැහැති හිසකෙස් තිබූ සිනාසෙන ඇස් සහිත තරුණ පුද්ගලයෙක් නැඟිට විත්

දෙසැම්බර්ගේ අසුනෙන් වාඩි වුණා. එවිටම ගිනිමැළයේ දැල් ඉහළ ගොස් හිම දියවෙන්න පටන් ගත්තා. තණබිමෙහි තණකොළ නැවතත් කොළ පැහැයට හැරුණා. ගස්වැල්වල

දලු දා සෑම තැනම කොළ පැහැ ගැන්වුණා. ඒ අතරින් තද නිල් පැහැති වයලට් මල් පිපෙන්න පටන් ගත්තා.

“පුංචි දියණියේ ඉක්මනට වයලට් මල් කඩාගන්න” දෙසැම්බර් පැවසුවා. සෝනියා හරිම සතුටින් වයලට් මල් කඩාගත්තා. ඉන්පසු මාස දොළහටම ස්තුති කළ ඇය හණිකට තම නිවෙස බලා ගමන් කළා. ඇය සුවඳ හමන වයලට් මල් රැගෙන නිවෙසට ළඟා වූ වහාම නැවතත් අහස අඳුරු වී හිම වැටෙන්න පටන් ගත්තා.

“ඔයා කොහෙන්ද ඕවා හොයාගත්තේ?” වයලට් මල් දුටු කුඩම්මා සහ නාදියා පුදුමයෙන් ඇසුවා.

“අර ඈත කඳුකරයේ තණතැනිතලාවෙන්” සෝනියා පිළිතුරු දුන්නා.

සෝනියාට ස්තුති කරන්නවත් නාදියා කාරුණික වූයේ නැහැ. ඇය සෝනියාගෙන් වයලට් මල් ටික උදුරා ගත්තා.

පසු දින නාදියා නැවතත් සෝනියාට කතා කර මෙසේ පැවසුවා.

“ඔයා හණිකට කඳුකරයට ගිහින් මට ස්ට්‍රෝබෙරි අරන් එන්න මේ දැන්ම ”

“ඒත් මේ සීත ඍතුවේ ස්ට්‍රෝබෙරි හොයාගන්නේ කොහොමද ?” සෝනියා අසරණව ඇසුවා.

“කටවහගෙන මං කියපු දේ කරනවා. හ්ම් ඉක්මනට” නාදියා අණ කළා.

නපුරු කුඩම්මා පැමිණ සෝනියාව නිවෙසින් පිටතට ඇද දැම්මා.

අසරණ සෝනියා හරිම දුකෙන් නැවතත් හිම ගොඩේ එරෙමින් කඳුකරයට ගමන් කළා. ඇයට ගිනිමැළය වටා සිටි මාස දොළහ නැවතත් හමු වුණා. දෙසැම්බර් එහි උස්ම ආසනයේ වාඩි වී සිටියා.

“කාරුණික මහත්වරුනේ! මං මේ ගිනි මැළයෙන් ටිකක් උණුසුම් වෙන්න ද?”

සෝනියා ඇසුවා.

“හොඳයි උණුසුම් වෙන්න . ඔබ නැවතත් මෙහි ආවේ ඇයි?” දෙසැම්බර් ඇසුවා.

” ස්ට්‍රෝබෙරි හොයාගන්නයි මං ආවේ”

සෝනියා අසරණව පැවසුවා.

“ඒත් මේ සීත ඍතුවේදී කොහෙන්ද ස්ට්‍රෝබෙරි හොයාගන්නේ?” දෙසැම්බර් ඇසුවා.

“ඒත් මං කොහොම හරි ස්ට්‍රෝබෙරි සොයා ගන්න ඕනෑ. නපුරු කුඩම්මයි නාදියයි මට කිව්වා ස්ට්‍රෝබෙරි අරන් මිසක ආපසු ගෙදර එන්න එපා කියලා”

දෙසැම්බර් තම අසුනෙන් නැඟිට මැජික් යෂ්ටිය වනමින් මෙසේ පැවසුවා.

“ජූනි සහෝදරයා ඔයා ටිකකට මෙතැනට එන්න” නිල් ඇස් තිබූ සිනාමුසු මුවක් තිබූ තරුණ මිනිසෙක් ජනවාරිගේ අසුනෙහි වාඩි වුණා. එවිටම ගිනිදැල් ඉහළට නැඟ හිම දියවී ගියා. හැම තැනම කොළ පාට වුණා. ගස්වැල්වල මල් පිපුණා. කුරුල්ලන් ගී ගයන්න පටන් ගත්තා. රතු පාට ස්ට්‍රෝබෙරි ඒ අතරින් මතු වුණා.

“පුංචි දියණියේ හණිකට ස්ට්‍රෝබෙරි කඩා ගන්න”

දෙසැම්බර් පැවසුවා.

සෝනියා ඇයගේ ගවුමේ ඒප්‍රනයට ස්ට්‍රෝබෙරි ගොඩක් කඩලා පුරවා ගත්තා. ඉන්පසු මාස දොළහට ස්තුති කළ ඇය හණිකට නිවෙස බලා ගමන් කළා. ඇය නිවෙසට ඇතුළු වන විටම නැවතත් සීත ඍතුව උදා වුණා.

“ඔයාට කොහෙන්ද මේවා?” නපුරු කුඩම්මා සහ නාදියා පුදුමයෙන් ඇසුවා.

“අර ඈත කඳුකරයේ බීච් ගස් යටිනුයි මේවා හමුවුණේ” සෝනියා පිළිතුරු දුන්නා.

නාදියා සෝනියාට ස්තුතිවත් නොකර ස්ට්‍රෝබෙරි උදුරාගෙන කන්න පටන් ගත්තා.

ටික දිනක් ගෙවී ගියා.

“සෝනියා දුවලා ගිහින් රතු ඇපල් කඩාගෙන එන්න” නාදියා ආයෙමත් පැවසුවා.

“මේ සීත ඍතුවේදී පලතුරු හටගන්නේ නැහැනේ” සෝනියා පැවසුවා.

“එහෙම කියලා බැහැ කොහෙන් හරි ඇපල් හොයාගෙන එන්න ඕනෑ”

නපුරු කුඩම්මා සෝනියාව සීතල එළිමහනට තල්ලු කළා. අසරණ සෝනියා නැවතත් කඳුකරයට ගමන් කළා. ඇයට සුපුරුදු පරිදි මාස දොළහ හමු වුණා. ඇය දුටු දෙසැම්බර් නැවත එහි පැමිණියේ ඇයි දැයි ඇසුවා.

නපුරු නාදියා ඇපල් ගෙනෙන්න කියූ බව සෝනියා පැවසුවා.

“සැප්තැම්බර් සහෝදරයා ඔයා ටිකකට මෙතැනින් වාඩි වෙන්න” දෙසැම්බර් පැවසුවා. කාරුණික මිනිසෙක් එහි වාඩි වුණා. එවිට ගිනිදැල් ඉහළ ගොස් හිම දියවුණා. ඇපල් ගස් වැඩී, රතුම රතු ඇපල් ඒවායෙහි දිලිසෙන්න පටන් ගත්තා.

” ඇපල් ඇතිතරම් කඩාගෙන හණිකට ගෙදර යන්න” දෙසැම්බර් පැවසුවා. සෝනියා හරිම සතුටින් ඇපල් කඩාගෙන මාස දොළහට ස්තුති කර නිවෙස බලා ගමන් කළා. ඇය නිවෙසට ඇතුළුවන විටම නැවතත් සීත ඍතුව උදා වුණා.

ඇපල් දුටු ගමන් කෑදර නාදියා ඇපල් ගෙඩියක රස බලන්න පටන් ගත්තා.

“මේවා හරිම රසයි. ඇයි ඔයා ඇපල් ගොඩක් ගෙනාවේ නැත්තේ ? ඔයා මඟදී ඇපල් හොරෙන් කෑවා නේද?” නාදියා ඇසුවා.

“අනේ නැහැ මං එකම එක ඇපල් ගෙඩියක්වත් කෑවේ නැහැ” සෝනියා පිළිතුරු දුන්නා.

“මෙයා කියන්නේ බොරු. අම්මේ මං තනිවම යනවා කඳුකරයට ඇපල් ගොඩාක් කඩාගෙන එන්න. මගේ හිම කබාය මට දෙන්න” එසේ පැවසූ නාදියා හිම කබායත් ඇඳගෙන හණි හණිකට සීතල හිමෙහි ඇවිද ගොස් කඳුකරයට ළඟා වුණා. ඇයටත් මාස දොළහ මුණ ගැසුණා. ඇය ඔවුන්ගෙන් අවසර නොගෙනම ගිනිමැළයෙන් උණුසුම් වුණා.

“ඔබ මොකටද මෙහි ආවේ?” දෙසැම්බර් ඇසුවා.

” මං මොකටද ඒක ඔහේට කියන්නේ? ඒයි සුදු රැවුලෝ ඔහේගේ වැඩක් බලාගන්නවා” නාදියා ඉතා නපුරු ලෙස සහ අවිනීත ලෙස පිළිතුරු දුන්නා. එවිටම දෙසැම්බර් තමන්ගේ මැජික් යෂ්ටිය වැනුවා. ගිනිදැල් ඉහළ යනවා වෙනුවට ඒවා නිවී ගියා. හිම තවත් වැඩියෙන් වැටෙන්න පටන් ගත්තා. මුළු කඳුකරයම හිමෙන් යටවී ගියා. හිම කුණාටුවක් ද හැමුවා. නපුරු නාදියා හිමෙන් යට වී ගියා. නාදියා එනතුරු බොහෝ වේලාවක් බලා සිටි නපුරු කුඩම්මා ඇය සොයන්න කඳුකරයට ගියා. ඇයටත් මාස දොළහ හමු වුණා. ඇය යන මඟදෙපස ද හිම තදින් වැටුණා. දරුණු හිම කුණාටුවක් ද හැමුවා. ඇයත් හිම ගොඩකට යට වී නොපෙනී ගියා.

සෝනියා ඔවුන් එනතුරු බලා සිටියා. ඒත් ඔවුන් ආවේ නැහැ. ඉන්පසු සෝනියා සුපුරුදු ලෙස නිවෙසේ සියලු වැඩ කරමින් ගුණයහපත්ව කාලය ගත කළා හරිම සතුටින්. ඒ විතරක් නෙවෙයි ඇය හැම මාසයක්ම උදා වුණාම ඒ හැම මාසයකටම සිතින් ස්තුති කරමින් හැම මාසයක්ම සතුටින් පිළිගන්න අමතක කළෙත් නැහැ.

මේ කතාව කියවූ පුංචි ඔයාලාත් සෝනියා වගේ යහපත් කාරුණික දරුවන් වේවි කියලා මං හිතනවා. ඒ විතරක් නෙවෙයි එක් එක් ඍතුවල ස්වභාවය සහ ඒ ඒ කාලයේදී පිපෙන මල් වර්ග සෑදෙන පලතුරු වර්ග ගැනත් තවදුරටත් තොරතුරු සොයා බලාවි කියලා මං හිතනවා.

 

හර්ෂණී ගමගේ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department