ආදරණීය දුවේ පුතේ, අද උරුමයක වගතුගවලින් කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් ලෙනගල විහාරස්ථානය පිළිබඳ තොරතුරු සොයා බලමු.
මෙම ඓතිහාසික ලෙනගල ලෙන් විහාරස්ථානය පිහිටා තිබෙන්නේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගුරුගොඩ ඔය නිම්නයේ ය. එය පුරාණ බෙදීම් අනුව විමසා බැලීමේදී බෙලිගල් කෝරළයේ නැඟෙනහිර කීරවැලි පත්තුවට අයත් ලෙස සලකයි. මෙම විහාරස්ථානයට ප්‍රවේශ වීමට ප්‍රධාන මාර්ග දෙකකි. එයින් පළමු මාර්ගය වන්නේ වරකාපොළින් කරවනැල්ල මාර්ගයේ පැමිණ ගලපිටමඩින් හැරී කොටියාකුඹුර මාර්ගයේ කිලෝමීටර 15ක් පමණ ගමන් කිරීමයි. දෙවැනි මාර්ගය වන්නේ නුවර පාරේ නෙළුම්දෙනිය හන්දියෙන් හැරී ගලපිටමඩට පැමිණීමෙන් විහාරයට ප්‍රවේශ වීමයි. මෙම විහාරය කෑගල්ල දිස්ත්‍රික්කයේ බටහිර හෙල්වැටි කලාපයේ පිහිටා තිබේ. මෙම විහාරය වටා ලෙනගල, පහළ ලෙනගල, පහළ මායින්නොළුව, පරදෙණිය, පල්ලේපැල්පිට, උඩ පැල්පිට, දික්වාන ආදී ගම්මාන රාශියක් පැතිර තිබෙන අතර, ගල් පර්වත බහුල උස්බිමක ලෙනගල රජ මහා විහාරය පිහිටා තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි විශාලතම ලෙන් විහාරය වශයෙන් සැලකෙන මෙම ලෙන් විහාරය විශාල පර්වතයක කටාරම් කොටා සකස්කර ඇත. මෙම ලෙන් විහාරස්ථානය කරවන ලද්දේ කවුරුන්දැයි යන වගට පිළිගත් නිශ්චිත මතයක් මේ වනවිටත් නොමැත. එහෙත් වළගම්බා රජුගේ නිර්මාණයන් යැයි සැක කෙරෙන පුරාණ කතා සොයාගෙන තිබේ. මෙම ලෙන් විහාරස්ථානයේ දැනට භාවිතයට ගන්නේ විහාර මන්දිරය වශයෙන් සැලකෙන ප්‍රධාන ලෙන පමණකි. එයට අමතරව තවත් කටාරම් කෙටූ ලෙන් දාහතක් පමණ තිබී ඇත. එහෙත් ඒවා මේ වන විටත් වනාන්තරයෙන් වැසී ගොස් ය.
මෙම ලෙන් විහාරය විශිෂ්ට නිර්මාණයක් වශයෙන් සලකයි. එයට හේතුව එහි පිහිටීමයි. එහි කඳු බෑවුමේ පහළ සිට අඩි 100ක් පමණ උසට ඉහළ නැඟුණු පර්වතයකි. එම ගලේ බිම සිට අඩි 55ක් උසින් ගැඹුරට කටාරම් කොටා තිබේ. මේ නිසා මෙය විශිෂ්ට නිර්මාණයක් ලෙස සලකයි. ප්‍රධාන ලෙන් විහාර ගොඩනැඟිල්ල අඩි පහක් පමණ උස කළුගල් වේදිකාවක් මත ඉදිකර ඇත. මහා විහාරය, සත්සති විහාරය සහ චෛත්‍ය විහාරය යනුවෙන් විහාර තුනක් එම ලෙන ඇතුළත සකස්කර තිබේ. මෙම නම් මෑතකදී තබන ලද ඒවා ය. ඒවා මැටි වරිච්චි බිත්තියෙන් නිමකර ඇත. ඇතැම් ස්ථාන ගල්වලින් ද නිමකර තිබේ. මේ බිත්ති අඩි 27ක් ඉහළදී නෙරා ඇති ගල්පර්වතවලට යාවන ලෙස ඉදිකර තිබේ. මෙම ගොඩනැඟිල්ලේ ඉදිරිපස කොටසෙහි දිග අඩි 66කි. එහි වහලයට ඉහළින් ගල් කටාරමට යටින් ගල් සිවිලිමේ පෙරහරක සිතුවමකි. මේ වන විට එහි වර්ණය මඳක් බොඳවී ගොසිනි. එහි කොඩි අතින් ගත්තන් සමඟ ඇතුන් පිට ගමන් කරන්නෝ ද අසරුවන් ද සිතුවම් කොට තිබේ. එහි පස්මහල් රථයක ධාතු කරඬුවක් වැඩම කරවන ආකාරය ද ඇඳ තිබේ. එහෙත් අවාසනාවට එච්.සී.පී. බෙල් මහතා 1892 දී දුටු එම සිතුවම පසුකාලීන අලුත්වැඩියාවලදී හෝ ස්වාභාවික හේතු නිසා හෝ අද වන විට මැකීගොස් ඇත්තේ කිසිදු සලකුණක් හෝ ඉතිරි නොවන ලෙසට ය.
මෙහි ඇති මහා විහාරය පළලින් අඩි 31ක් ද දිගින් අඩි 15ක් ද වේ. එහි උඩරට සම්ප්‍රදායේ සිතුවම් එහි දැකගත හැකි වුවත් ඒවා ද විටින් විට අලුත් වැඩියාවට ලක්කර ඇත. ඇතුළු විහාර ගැබට පිවිසීමට ඇති කළුගල් උළුවස්සේ සිංහ මුහුණු, කිඹිහි මුහුණක්, පලාපෙති සහ ලියවැල් කැටයම් සහිතව අලංකාර ලෙස නිර්මාණයකර තිබේ. එය මහනුවර යුගයෙන් එපිට කාලයකට අයත් යැයි විශ්වාස කරයි.
මෙහි ඇති සියලුම බුද්ධ ප්‍රතිමා මහනුවර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරයි. ලෙන ඇතුළත පිහිටි සැතපෙන පිළිමය දිගින් අඩි 29කි. සැතපෙන පිළිමයට ඉදිරියෙන් ඇති බිත්තියේ මකර තොරණ යට විෂ්ණු දේව ප්‍රතිමාවක් ද නෙළා තිබේ. සැතපෙන පිළිමය පිටුපස දේවාරාධනාව දැක්වෙන සිතුවමකි. එසේම ප්‍රතිමාව ඉදිරිපස තබා ඇත. පුරාණ මැටි පහන ද මහනුවර යුගයට අයත් යැයි විශ්වාස කරයි.
මෙහි පැරැණි යුගයට අයත් බිතු සිතුවම් රාශියකි. එහි ලෙන් වියන තීරුවලට බෙදා සූවිසි විවරණය ඇඳ ඇත. ඊට අමතරව නෙළුම් මල් මෝස්තරවලින් ද අලංකාරකර තිබේ. එහි වම් පස බිත්තියේ හිටි බුදු පිළිමයක් ද දකුණු පස බිත්තියේ විෂ්ණු සහ සමන් දෙවිවරුන්ගේ ප්‍රතිමා සහිතව තවත් බුද්ධ ප්‍රතිමාවක් ද නෙළා තිබේ.
මෙම විහාරයට යාබදව පිහිටා ඇත්තේ දිගින් අඩි 16ක් ද පළලින් අඩි 12ක් ද වූ සත් සති විහාරයයි. සත් සතිය නිරූපණයකර ඇති නිසා මෙම විහාරස්ථානයට එම නම ලැබී ඇත. මෙම විහාරය මෑතකදී ඉදි කරන ලදැයි සලකයි. විහාරයට ඇතුළුවීමට ඇති පුරාණ කළුගල් උළුවස්ස ද විශිෂ්ට නිර්මාණයකි. එම උළුවස්ස උසින් අඩි 7යි අඟල් 2ක් වන අතර, පළල අඩි 5යි අඟල් 4කි. එහි හරස්කඩය හා උළුවහු කණු දෙක වෙනම ගල්වලින් තනා එකට වද්දා ඇත. එම උළුවහු කණු දෙකේම පහත කොටසේ ආයත චතුරස්‍ර කොටුවක සිංහයකු කැටයම්කර ඇත. පලාපෙති රටා තුනක් ද ලියවැල් රටාවෙන් ද මෙය සරසා තිබේ. හරස්කඩයේ ද එම මෝස්තරම තිබෙයි. මෙහි තුන්වැනි විහාරය ද මෑතකදී ඉදි කරන ලද්දකි. එහි දාගැබක් ද ලෙව්කේ දිසාවගේ මූර්තියක් ද දක්නට ලැබේ. කුඩා දාගැබක් සහ බෝධි වෘක්ෂයක් ද ලෙනට නුදුරින් පිහිටා තිබේ.
ලක්නා නිරෝෂිමාලා