Home » Blog » පිරිමි ගැටය හෙවත් හර්කියුලිස් ගැටය

පිරිමි ගැටය හෙවත් හර්කියුලිස් ගැටය

by thanushika
0 comments

බාලදක්ෂයන්ගේ පළමු පදක්කම හෙවත් සාමාජික පදක්කම සඳහා අතීතයේ සිටම නිර්දේශිත මෙම Reef Knot  ගැටයට බාලදක්ෂ කටයුතුවලදී ප්‍රමුඛත්වය හිමිවන අතර, ජාත්‍යන්තර බාලදක්ෂ ලාංඡනයට සහ බාලදක්ෂ සම්මාන රාශියකට ඇතුළත් වේ. Reef Knot  හෙවත් ගල්පර ගැටය, හතරැස් ගැටය සිංහලෙන් නම් කිරීමේදි පිරිමි ගැටය ලෙස හඳුන්වා දී ඇත්තේ එය ශක්තිමත් හා නොලිස්සන ගැටයක් ලෙසිනි.

මෙය අවම වශයෙන් වසර 4000ක් පමණ පැරැණි ගැටයක් වන අතර, මෙය Reef Knot  ලෙස නම් කිරීම 1794 සිට ආරම්භ වී ඇතැයි රෝම ඉතිහාසඥයකු හා විද්‍යාඥයකු වන ප්ලිනි ද එල්ඩර් (ඒච්23-79 ) තමාගේ කෘතියක් වන National History  නම් ග්‍රන්ථයේ මෙම ගැටය ආදිකාලීන ග්‍රීක, රෝම, ඊජිප්තු ජනයා දැන සිටි බවත් රෝමවරුන් හා ග්‍රීකවරුන් එය හර්කියුලිස් ගැටය නමින් හැඳීන්වූ බව සඳහන් කරයි.

එමෙන්ම තවමත් වෛද්‍ය විද්‍යාවේ මෙම ගැටය භාවිත කරන අතර, මේ පිළිබඳ අදහස් දක්වන ප්ලිනි කියා සිටින්නේ හර්කියුලිස් ගැටයකින් බැඳී තුවාල ඉක්මනින් සුවය ලබන බව ග්‍රීකවරුන් විශ්වාස කරන බවයි.

ග්‍රීකවරුන් මෙය හර්කියුලිස් ගැටය මෙන්ම ආදර ගැටය , විවාහ ගැටය ආදී වශයෙන් හැඳීන්වූ අතර, පුරාණ ඊජිප්තුවරු ද තුවාල වෙළීමේදී මෙම ගැටය යෙදීමෙන් ඉක්මනින් සුව වන බව විශ්වාස කළහ.

———————–

පුවත්

පුහුණු කිරීමේ මණ්ඩලයේ වාර්ෂික සම්මන්ත්‍රණයේදී නායක නායිකාවෝ 32ක් දාර පබළු තුනක් හිමිකර ගනිති

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ පුහුණු කිරීමේ මණ්ඩලයේ වාර්ෂික සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ඡනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නාලන්දා විද්‍යාලයේදී පැවැත්විණි.

බාලදක්ෂ දිස්ත්‍රික්ක 37ක් නියෝජනය කරමින් ගුරුවරුන් බාලදක්ෂ කටයුතු සඳහා පුහුණු කිරීමට සුදුසුකම් ලත් පුහුණු කිරීමේ නායකයෝ සහ සහාය පුහුණු කිරීමේ නායකයෝ 200ක් පමණ මෙයට සහභාගි වී සිටියහ.

මෙහිදී සහය පුහුණු කිරීමේ නායක මට්ටම සුදුසුකම් සම්පූර්ණ කරන ලද බාලදක්ෂ නායක නායිකාවෝ 32 දෙදෙනෙක් එහි නිල පලඳනාව වන දාර පබළු තුනක් සහිත කර පලඳනාව ලබාගත්හ. මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ද සහාය පුහුණු කිරීමේ නායක දාර පබළු ලබා ගැනීමයි.

මෙම සම්මන්ත්‍රණය ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා මහතා ඇතුළු පුහුණු කිරීමේ මණ්ඩලය සංවිධානයකර තිබුණු අතර, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්. එෆ්. එස්. මුහීඩ් මහතා ඇතුළු කොමසාරිස්වරු රැසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

මාතර කිතලගම බාලදක්ෂ බාලක බාලිකාවන්ට සාමාජික පදක්කම් පලඳවයි

මාතර කිතලගම නැඟෙනහිර කනිෂ්ඨ විද්‍යාලයේ බාලදක්ෂ බාලක බාලිකාවන්හට පදක්කම් පැලඳවීම විද්‍යාලයේ විදුහල්පති එච්. පී. ධර්මසේන, දිසා කොමසාරිස් සුදත් මංගල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී පැවැත්විණි.

මෙහිදී බාලදක්ෂ බාලක බාලිකාවන් 36 දෙනකු පදක්කම් දිනාගත් අතර, විද්‍යාලයීය බාලදක්ෂ ආචාර්ය උදාර තිලකරත්න මහතා සහ බාලදක්ෂ ආචාරිනී දුෂ්මි හෂාරා රාමනායක මෙනෙවිය කණ්ඩායම් භාරව කටයුතු කරති.

මෙම අවස්ථාවට මුලටියන කලාප සිංහල භාෂා ගුරු උපදේශක නිශාන්ත පෙරේරා, මුලටියන කලාප සංගීත ගුරු උපදේශිකා පී.එම්.ටී. සජීවනී, මුලටියන කලාප ගණිත ගුරු උපදේශිකා පී.ජී.සී. ලක්මිණි, මාර/කිතලගම නැඟෙනහිර කනිෂ්ඨ විද්‍යාලයීය හිටපු නියෝජ්‍ය විදුහල්පතිනි දීපිකා නිලන්ති මඩිහගේ යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

ගාලු දිසා පෝතක රන්දහර- 2024

ගාල්ල දිසා බාලදක්ෂ සංගමය සංවිධානය කළ “පෝතක රන්දහර- 2024” ගාල්ල මහින්ද විද්‍යාලයේදී පැවැත්විණි. පෝතක බාලදක්ෂයන් 1200කගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන දිසා බාලදක්ෂ කොමසාරිස් උපුල් කලන්සූරිය මහතාගේ මඟ පෙන්වීම යටතේ, සහාය දිසා කොමසාරිස් පෝතක සඳමාලි කරුණාසේන මහත්මියගේ සංවිධානයෙන් පැවැත්විණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි , විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ගාලු දිසාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කළ පී.ජී. පියර්ස් මහතාගේ පුත්‍රයා වන වික්‍රම් පියර්ස් , දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (විෂය සමගාමී) ප්‍රසාංජලී ගමගේ , මහින්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පති සාලිය ක්‍රිෂාන්ත යන මහත්ම මහත්මීහු සහභාගි වූහ. රන්දහර සඳහා පැමිණි සියලු පෝතකයන් සහ ආකේලාවරුන් සඳහා පෝතක රන්දහර පදක්කම, සමරු පොත සහ සහභාගිත්ව සහතික පත්‍රය පිරිනමන ලදි.

නුවන් කොඩිකාර


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department