Home » Blog » පාසැල් පුවත්

පාසැල් පුවත්

by thanushika
0 comments

කරන්දෙණියේ පාසල් ව්‍යවසායකත්ව සමාජ බල ගන්වයි

පාසල් මට්ටමේ ව්‍යවසායක, සමාජ ක්‍රියාවට නැංවීමේ ව්‍යාපෘතිය පදනම් කරගනිමින් කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් ව්‍යවසායකත්ව සමාජ බලගැන්වීම හා ව්‍යවසායකත්ව ප්‍රාදේශීය බලමණ්ඩලය පිහිටුවීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගිය දා සිදු කෙරිණි . මෙම අවස්ථාවට කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය, මඩකුඹුර මහා විද්‍යාලය, ඌරගස්මන්හන්දිය යටගල මහා විද්‍යාලය, බන්දුල සේනාධීර විද්‍යාලය, අනුරුද්ධගම කනිෂ්ඨ විද්‍යාලය යන විද්‍යාලයන්හි පාසල් මට්ටමින් ව්‍යවසායකත්ව සමාජ සඳහා තේරී පත්වූ 10 වසර සිට 13 වසර දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහ විෂයභාර ආචාර්යවරු සහභාගි වූහ. මෙහි ආරාධිත දේශනය ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ දකුණු පළාත් කලාප කළමනාකරු, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ කථිකාචාර්ය සහ කුඩා ව්‍යාපාර උපදේශක ශ්‍යාමන් කරුණානායක මහතා සිදු කළේ ය.

2025 වර්ෂය සඳහා ප්‍රාදේශීය වශයෙන් සියලුම පාසල් නියෝජනය කරමින් ප්‍රාදේශීය බලමණ්ඩලය පිහිටුවීම ද මෙහිදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කාංචනා චතුරානි මහත්මිය, කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම්තුමිය, රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසුන් සහ සිසුන්ගේ මවුපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ඌරගස්මන්හන්දිය සමූහ – අයි. ජයරත්න

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් දහම් පාසල් දරුවන්ට නිල ඇඳුම් සහ පලතුරු පැළ ලබා දෙයි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සියඹලාගුණේ ශ්‍රී ධර්මාරාම දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිල ඇඳුම්, කොස්, කිලෝ පේර ඇතුළු පලතුරු පැළ බෙදාදීම පසුගියදා දහම් පාසල් පරිශ්‍රයේදී සිදුකළ අතර, දහම් පාසල සඳහා ලිපිද්‍රව්‍ය කට්ටල ද පිරිනැමිණි.

මෙයට සමගාමීව දරුවන් සඳහා දැනුම මිනුම තරගාවලියක් ද පැවැත්විණි.

පලතුරු ඇතුළු පැළ වර්ග මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ද දහම් පාසල් දරුවන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් සහ ලිපිද්‍රව්‍ය කට්ටල සඳහා අනුග්‍රහය ප්‍රදේශයේ දැව බලපත්‍රලාභීන් විසින් ද ලබාදෙන ලදි. මෙම අවස්ථාවට වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් රවීන්ද්‍රා මාලනී මහත්මිය ද සහභාගි වූවාය.

ඩී.එස්. ගුණතිලක -ඌව වෙල්ලස්ස විශේෂ

කිඹුල්ගොඩ විද්‍යාරාජ ප්‍රාථමික විද්‍යාලයේ ගණිත කඳවුර

යක්කල, කිඹුල්ගොඩ , විද්‍යාරාජ ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන්ගේ කුසලතා එළි දැක්වීම සඳහා වූ ” ගණිත කඳවුර ” මහර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුගන්ධිකා ශාලිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

සිසු දරුවන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය කිරීම සඳහා , විදුහල්පතිනී පී. එම්. සී.කේ. පතිරාජ මහත්මියගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.

මෙහිදී කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුගන්ධිකා ශාලිකා මහත්මිය අදහස් දක්වමින් පැවසූයේ, වත්මන් විදුහල්පතිනිය ප්‍රධාන ආචාර්ය මණ්ඩලයේ කැපවීම මත විද්‍යාරාජ ප්‍රාථමික විදුහල පැවති තත්ත්වයට වඩා ඉහළ ප්‍රගතියක් ලබා ඇති බවත් ඉදිරියේදී සිසු දරුවන් දක්ෂතා දක්වමින් උසස් ප්‍රතිඵල ලබා එම කැපවීමේ ප්‍රතිඵල පෙන්වනු ඇති බවත් ය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ගුරු පුහුණු මධ්‍යස්ථානයේ චින්තක කුලතිලක මහතා ඇතුළු ආරාධිතයෝ සහ මවුපිය පිරිසක් ද එක්ව සිටියහ.

ගම්පහ අතිරේක – තිලකරත්න දිසානායක

විවාද තරගාවලියේ ජය කිරිබත්ගොඩ විහාර මහාදේවි බාලිකා විදුහලට

ගම්පහ මහ නගර සභාව හා ගම්පහ මහජන පුස්තකාලය මඟින් 05 වැනි වරටත් සංවිධානය කළ අන්තර් පාසල් විවාද තරගාවලිය – 2024 ගම්පහ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ලෝචනා බාලසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගම්පහ මහ නගර සභා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.

එම අන්තර් පාසල් විවාද තරගාවලියේ අවසන් මහා තරගාවලියේ ශූරතාව කිරිබත්ගොඩ විහාර මහාදේවි බාලිකා විදුහලේ විවාද කණ්ඩායම විසින් හිමි කරගෙන ඇති අතර, එහි අනුශූරතාව කැලණිය ධර්මාලෝක විද්‍යාලයීය විවාද කණ්ඩායමත් හිමි කරගෙන ඇත.

මෙම තරගාවලිය සඳහා ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල පාසල් 16ක විවාද කණ්ඩායම් සහභාගි වූහ.

අවසන් මහා තරගාවලියේ විනිශ්චය මණ්ඩලය ලෙස එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ව්‍යාපෘති විශ්ලේෂක රංගික වික්‍රමගේ, මීරිගම ප්‍රාදේශීය ලේකම් ඉන්දික ප්‍රසාද්, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ සුමිත් පෙරේරා, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය වසන්ත සමරසිංහ, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී ඩබ්.ඒ. එන්. ඩී. ඩයස් යන මහත්වරු කටයුතු කළහ. තරගාවලියේ ශූරතාව දිනා ගත් කිරිබත්ගොඩ විහාර මහාදේවි බාලිකා විද්‍යාලයේ විවාද කණ්ඩායමට ශූරතා පලිහ, සහතිකපත්, ශූරතා පදක්කම්වලට අමතරව රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් අධ්‍යාපනික තිළිණ ප්‍රදානය කෙරිණි. එසේම සහභාගි වූ සියලුම විවාද කණ්ඩායම් සඳහා වටිනා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කෙරිණි.

ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක

බුත්තල දුටුගැමුණු ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ළමා කතන්දර ලිවීමේ වැඩමුළුව

“සොඳුරු සංස්කෘතික දරුවා” මැයෙන් ළමා කතන්දර ලිවීමේ ප්‍රායෝගික වැඩමුළුවක් බුත්තල දුටුගැමුණු ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් පසුගියදා සිදු කෙරිණ. ඌව පළාත් සංස්කෘතික අමාත්‍යාංශය හා බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩමුළුව සංවිධානයකර තිබූ අතර, මොනාරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ පළමු වැඩසටහන මෙය විය.

කතන්දරයක් ලියන්නේ කොහොමද?, තේමාවක් සොයා ගන්නා අයුරු, අදහස් ගැළපීම, නිර්මාණාත්මක කතන්දරයක් ගොඩනඟා ගන්නා අයුරු සහ කතාවක අවසානය වෙනස් කරමින් ඉදිරිපත් කරන අයුරු සම්බන්ධයෙන් ප්‍රවීණ ළමා ග්‍රන්ථ ලේඛිකාවක මෙන්ම බුත්තල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරියක ලෙස කටයුතු කරන සුභාෂිණී ගොඩගේ මහත්මිය විසින් සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධ‍ාරි ස්වර්ණ කුමාර මහතා විසින් මෙම වැඩමුළුවේදී දරුවන්‍ට කියාදෙන ලද අතර, ළමා කතන්දර සිතුවම්කරණය පිළිබඳ ධාරණ ප්‍රේමදාස මහතා විසින් දරුවන්‍ට කියාදෙන ලදි.

විවිධ ක්‍රියාකාරකම් රැසක් ද මෙම වැඩමුළුව‍ට ඇතුළත් වී තිබුණු අතර, වැඩමුළුවට සහභාගිවීම සම්බන්ධයෙන් වටිනා සහතික පත්‍රයක් ද තිළිණ වශයෙන් පොත් කට්ටලයක් ද ලබාදීමට ඌව පළාත් සංස්කෘතික අමාත්‍යාංශය කටයුතු කළේ ය.

මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති අමිල දිසානායක , කතන්දර කවය භාර ආචාරිනි අචිනි සෙව්වන්දි ඉන්ද්‍රචාපා මහත්මිය සහ බුත්තල කොට්ඨාසයේ ප්‍රාථමික ගුරු උපදේශක ඩබ්. එම්. ජිනදාස යන මහත්ම මහත්මීහු එක් වූ අතර, මවුපියෝ ද අවශ්‍ය පහසුකම් ලබාදෙමින් වැඩසටහනට සක්‍රියව දායක වූහ.

වැල්ලවාය විශේෂ -ජී. අයි. ආර්. ගරුසිංහ

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department