එකමත් එක කාලයක කුඩා වැහි බිංදුවකට වලාකුළු අතරේ සෙල්ලම් කරමින් සිටීම ඇති යැයි සිතුණා. පොළොවට බැස එහි සිටින අයට තමන්ගෙන් කළ හැකි යහපත කුමක්දැයි සොයා බලන්නට වැහි බිංදුව සිතුවා. ඉතින් වැහි බිංදුව අහසේ ඉඳන් පොළොවට බහින්න පටන් ගත්තා.
කුඩා වැහි බිංදුව පහළට වැටෙන අතරතුර එයට ඉතා සීතල වූ වලාකුළක් හරහා ගමන් කිරීමට සිදු වුණා. මෙම විහිළුකාර කුඩා වැහි බිංදුව, සීතල තදින් දැනෙන විට එකට හැකිළීම වෙනුවට, දිගු හැඩයක් ගන්නට පටන් ගත්තා. කුඩා වැහි බිංදුව කෙතරම් දිගු වුණාද කියනවා නම් එහි තවදුරටත් වටකුරු හැඩයක් ඉතිරි වූයේ නැහැ. බොහෝ දිගු වූ
වැහි බිංදුව ඉඳීකටුවක් මෙන් සිහින් සහ ඝන වුණා. එය හරියටම කුඩා අයිස් ඉඳීකටුවක් වගේ වුණා. කුඩා ඉඳීකටුවක හැඩය ගත් වැහි බිංදුව පහළට වැටෙමින් යද්දී වැහි බිංදුවට තමන්ට සමාන තවත් කෙනෙක් හමු වුණා.
ඒ දෙවැනි වැහි බිංදුව මෙසේ ඇසුවා.
“පුංචි අයිස් ඉඳීකටුවේ, ඔයා කොහෙද යන්නේ?”
“පොළොවේ ඉන්න අයට මට කරන්න පුළුවන් යහපත් දේ මොනවද කියලා බලන්නයි මං පහළට බැස යන්නේ.”
අයිස් ඉඳීකටුවක් බවට පත් වූ වැහි බිංදුව පැවසුවා.
“මමත් එන්නම් ඔයත් එක්ක යන්න “, දෙවැනි වැහි බිංදුව පැවසුවා. ඉන්පසු දෙවැනි වැහි බිංදුව අයිස් ඉඳීකටුවක් බවට පත් වූ පළමු වැහි බිංදුවට එක් වූ අතර, ඔවුන් දෙදෙනා එකට පහළට වැටෙන්නට පටන් ගත්තා.
එතරම් වේලාවක් ගත නොවී ඔවුන්ට තුන්වැනි වැහි බිංදුව මුණගැසුණු අතර, එම වැහි බිංදුව ඔවුන්ගෙන් මෙසේ ඇසුවා. “පුංචි අයිස් ඉඳීකටු, ඔයාලා කොහෙද යන්නේ?”
“අපට කළ හැකි යහපත කුමක්දැයි බැලීමටයි අපි පොළොවට බැස යන්නේ”
අයිස් ඉඳීකටුවක් බවට පත් වූ වැහි බිංදු දෙක පිළිතුරු දුන්නා.
“එහෙනම් මමත් ඔයාලා එක්ක එන්නම්” තුන්වැනි වැහි බිංදුව එසේ පැවසුවා.
ඉන්පසු එම වැහි බිංදුවත් අයිස් ඉඳීකටු යාළුවන්ට එක් වී පොළොවට වැටෙන්න පටන් ගත්තා.
තවත් ටික දුරක් යනවිට ඔවුන්ට හතරවැනි වැහි බිංදුව මුණගැසුණු අතර, එම වැහි බිංදුව ඔවුන්ගෙන් මෙසේ ඇසුවා. “පුංචි අයිස් ඉඳීකටු, ඔයාලා කොහෙද යන්නේ?”
“අපට කළ හැකි යහපත කුමක්දැයි බැලීමටයි අපි පොළොවට බැස යන්නේ”
අයිස් ඉඳීකටුවක් බවට පත් වූ වැහි බිංදු තුන පිළිතුරු දුන්නා.
” මාත් එනවා ඔයාලා එක්ක යන්න” හතරවැනි වැහි බිංදුව එසේ පවසා ඔවුන්ට එක් වුණා.
ඉන්පසු ඔවුන් හතරදෙනා එකට එක් වී පොළොවට වැටෙන්න පටන් ගත්තා. තවත් ටික දුරක් යනවිට ඔවුන්ට පස්වැනි වැහි බිංදුව මුණගැසුණු අතර, එම වැහි බිංදුවත් ඔවුන්ගෙන් මෙසේ ඇසුවා. “පුංචි අයිස් ඉඳීකටු, ඔයාලා කොහෙද යන්නේ?”
“අපට කළ හැකි යහපත කුමක්දැයි බැලීමටයි අපි පොළොවට බැස යන්නේ”
අයිස් ඉඳීකටුවක් බවට පත් වූ වැහි බිංදු හතර පිළිතුරු දුන්නා.
” මාත් එනවා ඔයාලා එක්ක යන්න” පස්වැනි වැහි බිංදුව එසේ පවසා ඔවුන්ට එක් වුණා. ඔවුන් එකට එක් වී පොළොවට වැටෙන්න පටන් ගත්තා.
තවත් ටික දුරක් යනවිට ඔවුන්ට හයවැනි වැහි බිංදුවත් හමු වුණා. ඔවුන් යන්නේ කොහේදැයි දැනගත් පසු ඒ වැහි බිංදුවත් ඔවුන්ට එක් වුණා. එවිට කුඩා අයිස් ඉඳීකටු හයක් එකට එක් වුණා. ඒවාට අලුත් නමක් ලැබුණා. ඔව්. ඒ නම තමයි ‘හිම පියල්ල. ඔව් පැති හයකින් යුක්ත හුරුබුහුටි හිම පියල්ල.
පහළට යන විට පුංචි හිම පියල්ලට ඒ වගේම තවත් හිම පියලි මුණගැසුණු අතර, ඔවුන් යන්නේ කොහේදැයි ඒ හිම පියලිත් ඇසුවා.
. ” මහ පොළොවේ වෙසෙන අය වෙනුවෙන් මට කළ හැකි යහපත කුමක්දැයි බලන්නටයි මේ බිමට බසින්නේ” හිම පියල්ල පිළිතුරු දුන්නා.
“අපිත් එන්නම් ඔයා එක්ක . ඒත් අපි කොහේද යන්නේ?”
ඔවුන් ඇසුවා.
“මම දන්නවා,” හිම පියල්ල තුළ සිටි කුඩා අයිස් ඉඳීකටුවක් පැවසුවා.
“පසුගිය ග්රීෂ්ම ඍතුවේදී, මං උණුසුම්ව හා වටකුරුව සිටින විට, දුප්පත් කුඩා රෝගී පිරිමි ළමයකුට කරුණාවන්ත කාන්තාවක් දුන් බීජ කිහිපයක් රෝපණයකර ඇති ස්ථානයක් මං දැක්කා. අපි එතැනට ගිහින් එම ස්ථානය මත වැතිරිලා එම බීජ උණුසුම්ව තබා ගැනීම ඉතා හොඳ යැයි මං සිතනවා. එවිට එම බීජ සීත ඍතුවේදී මිදෙන එකක් නැහැ. එතකොට ලබන ගිම්හානයේදී ඒ බීජවලට මෝරලා දලු දාලා කුඩා දරුවාට බලන්නට ලස්සන මල් කිහිපයක් පුබුදුවන්නටත් හැකි වේවි”
“අනේ! ඒක නම් හොඳයි. අපි ඒක කරමු” හිම පියලි සියල්ලම එසේ පැවසූ අතර, ඔවුන් ඉක්මනින් එහි යෑමට හැකි වන පරිදි වේගයෙන් හා වේගයෙන් පහළට වැටෙන්න පටන් ගත්තා. අනෙකුත් හිම පියලි ද ඒ දැක ඔවුන් සමඟ පහළට ගිය අතර, ශීත ඍතුව පුරාම බීජ මිදීම වළක්වා ගැනීමට ප්රමාණවත් වන තෙක් බිම හිමෙන් වැසී ගියා.
කාලගුණය උණුසුම් වීමට පටන් ගත් විට, හිම සියල්ල ජලය බවට පත් වී පොළොවට බැස ගිය අතර, බීජ එම ජලය පානයකර ශක්තිමත් වී මේරුවා. සෑම බීජයකින්ම, කුඩා පත්ර පොළොවෙන් ඉහළට මතු වුණා. ඉන්පසු අනෙකුත් කොළ වර්ධනය වූ අතර, ගිම්හානය පැමිණි විට, කුඩා පිරිමි ළමයාට නැවතත් මල් පිපී තිබෙනු දැකගන්නට ලැබුණා. මේ අපූරු දෙය මහපොළොව මත සිදුකරන්නට හැකි වූයේ එක් කුඩා වැහි බිංදුවක් ලෝකයට යම් යහපතක් කිරීමට සිතූ නිසා ය.
එමිලි පෝල්සන් ලියූ කතාවක් ඇසුරෙන්
හර්ෂණී ගමගේ