අධ්‍යාපනය වටිනා සම්පත්. ඒ සම්පතෙහි මහඟු පල නෙළා ගැනීමට නම් උත්සාහයෙන් යුතුව වැඩ කිරීමට අවශ්‍ය වෙනවා. පාසලේදි කරන සෑම දෙයක්ම සමබර කළ යුතුයි. මේ දෙය දරුවන් තේරුම් ගන්නවා නම් ඉතා වටිනවා. සාහිත්‍යය කියන්නේ දරුවන්ගේ අධ්‍යාත්මය සුවපත් කරන්නක්. මේ අනුව සාහිත්‍ය කියන්නේ වටිනා සම්පතක්. මේ වටිනා සම්පත පිළිබඳ උනන්දුවක් දක්වන දරුවකු පිළිබඳයි මේ කතාව කියන්න සූදානම් වන්නේ. ඉතින් අපි
අහමු නේද ඒ කතාව.
” මම අධ්‍යාපනය ලබන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එහෙත් මම සිංහල සාහිත්‍යයට හුඟක් කැමැතියි. සෑම විටම දැනුම හොයන්න කැමැතියි. විද්‍යා දැනුම පිළිබඳ තරගයකට ඉදිරිපත් වෙලා මම ජයග්‍රහණය කළා. මම දෙමළ මාධ්‍ය තරගවලට ඉදිරිපත් වෙලාත් ජයග්‍රහණය ලබලා තිබෙනවා. සාහිත්‍යයට මම ගොඩක් ආසයි. සාහිත්‍යයට නැඹුරු වීමෙන් සිතට සමාදානයක් ලැබෙනවා. සමාදානය අපට ඉතා වැදගත්. සාමදානය නැතිවීම නිසා තමයි අද සමාජයේ බොහෝ ගැටලු ඇති වන්නේ”
” මේ වන විට මම කහවත්ත මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනවා. මේ වනවිට මම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කරනවා. ඒවගේම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරී සාමාජිකාවක්. පාසල් පාර්ලිමේන්තුවේත් ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස මම කටයුතු කරනවා. ඒක අපේ පෞරුෂත්ව වර්ධනයට මහඟු පිටිවහලක් වෙනවා.”
” මේ වන විට පාසලේ නෙට්බෝල් කණ්ඩායමේත් ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරනවා. ඒ හැරුණු විට මම වැඩිය ක්‍රීඩා කරන්නේ නැහැ. පොත්පත් කියවන්නත්, නිර්මාණ කරන්නත් මම ගොඩක් කැමැතියි. පොත්පත් කියවීමට යොමුවීම නිසාම නිර්මාණ කරන්න මට විශේෂ නැඹුරුවක් ඇති වුණා. ඒක ගොඩක් වටිනවා කියලායි මම හිතන්නේ. සාහිත්‍ය පරිශීලනය වැඩි කරන හැම කෙනකුගේම හදවත්වල සමාදානය ඇති වෙනවා. ඒ වගේම නිර්මාණකරණයේ දක්ෂතා වර්ධනය වෙනවා.”
දක්ෂතාවලින් ඉදිරියට යෑමට ඇයට හැකියාව ලැබේවා යැයි මිහිර වෙතින් අපි සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල