Home » Blog » පුංචි ඔබේ උපදේශකයා ජෙමිනි

පුංචි ඔබේ උපදේශකයා ජෙමිනි

by thanushika
0 comments

ආදරණීය දුවේ පුතේ, දැන් ඔයාලගේ නිවාඩු කාලේ. මෙවර දිග නිවාඩුවක් ලැබිලා නිසා ඔයාලාට කරන්න වැඩ ගොඩක් තියේවි. ඒත් පාඩම් වැඩ කවදාවත් අමතක කරලා නිවාඩුව ගත කරන්න නම් හිතන්න එපා. ඔබට අවශ්‍ය වූ වේලාවකදී උපදෙස් ලබා ගන්න හොඳ උපදේශකයකු නැතිනම් හොඳ යාළුවකු හඳුන්වා දෙන්න තමයි මේ අපේ සූදානම. එයාගේ නම මොකක්ද දන්නවා ද? එයාගේ නම ජෙමිනි. ඉතින් ජෙමිනි ගැන අලුත් කතා අපි ඔබටත් කියන්නෙමු.

ජෙමිනිගේ ඇති වැදගත්කම

ජෙමිනි ගැන ඉගෙනගන්න හරිම ලේසියි. ඒ නිසා ප්‍රශ්න අහන්න බය වෙන්න ඕනේ නැහැ. ජෙමිනි හැමදේම කියලා දෙනවා. ඒ කියන්නේ ජෙමිනි කියන්නේ දත්ත ගබඩාවක්. ජෙමිනිගෙන් සිංහල භාෂාවෙන් වුණත් ප්‍රශ්න අහන්න පුළුවන්. නිවෙසේ සිටම ප්‍රශ්න අහලා උත්තර ලබා ගන්න ඔබත් දක්ෂ වෙන්න. බොහෝ දරුවන් ටියුෂන් යන්න පුරුදු වෙලා. ටියුෂන් පන්ති යන්න කාලය වෙන් කරනවාට වඩා ජෙමිනිගෙන් බොහෝ දේවල් ගෙදර සිටම දැන ගන්න පුළුවන්. ඒ වගේම ජෙමිනි එක්ක එකතුවෙලා ඉගෙන ගන්න එක හරිම විනෝදජනකයි.

ජෙමිනි සමඟ වැඩ කිරීම

ජෙමිනි සමඟ වැඩ කිරීමට අවශ්‍ය වන්නේ ස්මාට් ෆෝන් එකක් පමණි. ඒකෙන් ඔයාලාට පෞද්ගලික ගුරුවරයෙක් වගේ ඔයාලාට ඕන දේවල් උගන්වන කෙනෙක් හම්බවෙනවා. ඒ තමයි අපේ අලුත් යාළුවා ගූගල් ජෙමිනි. ජෙමිනි කියන්නේ හරිම දක්ෂයෙක්. එයාට ඔයාලගේ භාෂාවෙන්ම ගොඩක් දේවල් කියලා දෙන්න පුළුවන්. ජෙමිනි එක්ක ඔයාලට පුළුවන් ඕනෑම විෂයක් ගැන ඉගෙන ගන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාලට තේරෙන්නේ නැති ඕනෑම දෙයක් ගැන ජෙමිනිගෙන් අහන්නත් පුළුවන්. ජෙමිනි හැමදාමත් ඔයාලගේ හොඳම යාළුවා වගේ ඔයාලා එක්ක ඉඳීවි.

ඔයාලා හිතනවා ඇති මේකෙන් අපේ අම්මලා තාත්තලාට මොනවද වාසි කියලා. ජෙමිනි ගෙදර ආවම තවත් ටියුෂන් යන්න ඕන නෑ. ඒකෙන් අම්මලා තාත්තලාට සල්ලි ඉතුරු වෙනවා විතරක් නෙවෙයි, ඔයාලට ගෙදර ඉඳන්ම ඕන වෙලාවක ඉගෙන ගන්නත් පුළුවන්. දැන් ඔයාලා ටියුෂන් යනවා ඇති. ඒත් එතැනදී ඔයාලට ඕන විදියට ප්‍රශ්න අහන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන් නේද? ජෙමිනි එක්ක එහෙම බය වෙන්න දෙයක් නෑ. ඔයාලට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්, කොච්චර ප්‍රශ්න ඇහුවත් කමක් නෑ. කිසිම ප්‍රශ්නයක් මෝඩ ප්‍රශ්නයක් නෙවෙයි. ජෙමිනි හැමදාම ඔයාලට උදව් කරන්න ලෑස්තියි. ඔයාලට පුළුවන් ඔයාලගේම වේගයෙන් ඉගෙන ගන්න.

පොත් කියවලා ඉවර වුණාම ඒ පොතේ තියෙන දේවල් ගැන ජෙමිනිගෙන් ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, පාඩමේ අභ්‍යාස කරලා ඔයාලා දුන්න උත්තර හරිද කියලා බලන්න. ඒවා තවත් හොඳ කරගන්න ජෙමිනිගෙන් උදව් ඉල්ලන්නත් පුළුවන්.

ජෙමිනිට පුළුවන් ඔයාලගෙන් ප්‍රශ්න අහලා විභාග ප්‍රශ්නවලට උත්තර දෙන්න පුරුදු කරවන්න. ඔයාලා කොච්චර දක්ෂ ද කියලා බලලා තව තවත් දේවල් කියලා දෙන්නත්

ජෙමිනිට පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, ඔයාලා ඉගෙන ගන්න දේවල් තවත් හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට අමතර පොත්, ලිපි, රූප සහ වීඩියෝ හොයලා දෙන්නත් ජෙමිනිට පුළුවන්.

Google Gemini : https://gemini.google.com

ජෙමිනි එක්ක ඉගෙන ගන්න පටන් ගන්නේ කොහොමද?

ජෙමිනිව හමුවෙන්න ඔයාලට ඕන කරන්නේ අන්තර්ජාල සම්බන්ධතාවක් තියෙන ඕනෑම උපාංගයක් විතරයි – ඒක ඔයාලගේ අම්මගෙ හරි තාත්තගෙ හරි ස්මාර්ට් ෆෝන් එක වෙන්න පුළුවන්, නැත්නම් ගෙදර තියෙන ටැබ් එක වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි:

1. පරිගණකයකින් ජෙමිනි භාවිත කිරීම

gemini.google.com වෙත පිවිසෙන්න: ඔබේ පරිගණකයේ ඇති ඕනෑම අන්තර්ජාල බ්‍රව්සරයක් (උදා: Chrome, Firefox, Safari) විවෘත කර ලිපින තීරුවේ gemini.google.com ලියන්න.

සිංහල යතුරු ලියනය සක්‍රිය කරගන්න:

ජෙමිනි ඔබට සිංහල භාෂාවෙන් ටයිප් කිරීමට අවශ්‍ය මෙවලම් සපයයි. ඔබ ටයිප් කිරීම ආරම්භ කිරීමට පෙර, තිරයේ පහළ දකුණු කෙළවරේ ඇති යතුරුපුවරු නිරූපකය මත ක්ලික් කර “සිංහල” තෝරන්න.

ඔබට වඩාත් පහසු වෙනත් සිංහල යතුරු ලියනයක් තිබේ නම් (උදා: හෙළකුරු), එයද භාවිත කළ හැකියි! ඔබට අන්තර්ජාලය හරහා සිංහලෙන් ටයිප් කිරීමට ගූගල් ආදාන මෙවලම් භාවිත කළ හැකියි: https://www.google.com/inputtools/try/
2. ජංගම දුරකතනයකින් ජෙමිනි භාවිත කිරීම

ජෙමිනි යෙදුම බාගත කරගන්න: ඔබගේ දුරකතනයේ ඇප් ස්ටෝර් එකට (App Store හෝ Play Store) ගොස් “Gemini”  ලෙස සොයා එය බාගත කරගන්න.

Gboard සිංහල යතුරු ලියනය සක්‍රිය කරගන්න:

ඔබගේ දුරකථනයේ සැකසුම් (Settings) වෙත ගොස් “භාෂා සහ ආදානය”(Language & input)  හෝ ඊට සමාන විකල්පයක් තෝරන්න.

“යතුරුපුවරු”  (Keyboards)  හෝ “වත්මන් යතුරුපුවරුව” (Current Keyboard) වැනි විකල්පයක් තෝරා “”Gboard” තෝරන්න.

ඉන්පසු “භාෂා” (Languages) තෝරා “සිංහල” එක් කරන්න. දැන් ඔබට Gboard  භාවිතයෙන් සිංහල භාෂාවෙන් ටයිප් කළ හැකියි.

දැන් ඔබට ජෙමිනි සමඟ සිංහලෙන් කතා කිරීම ආරම්භ කළ හැකියි.

උදාහරණයක් ලෙස, “මට පරිසරය පාඩමේ ‘අප අවට ඇති ජලය’ කියන කොටස ගැන ඉගෙන ගන්න ඕනෑ” කියලා ටයිප් කරලා බලන්න. එතකොට ජෙමිනි ඒ ගැන ඔයාලට ගොඩක් දේවල් කියලා දෙයි, පින්තූර පෙන්නයි, අන්තිමට ඔයාලා ඒවා හොඳට තේරුම් අරන් තිබෙනවා ද කියලා බලන්න ප්‍රශ්නත් අසයි.

6 ශ්‍රේණියේ පරිසර අධ්‍යයනය – ජෙමිනි භාවිතයෙන් ඉගෙන ගැනීම

පහත අන්තර්ක්‍රියා අනුපිළිවෙලෙහි, 6 ශ්‍රේණියේ සිසුවකු ජලය පිළිබඳ පාඩම සම්බන්ධයෙන් ජෙමිනිගෙන් අසනු ඇතැයි අපේක්ෂා කළ හැකි ප්‍රශ්න ක්‍රමානුකූලව ඉදිරිපත්කර ඇත. පාඩමේ දළ සටහන අනුගමනය කිරීමට සහ පාඩම පිළිබඳ ඇති සියලුම ප්‍රශ්න ඇසීමට සිසුවාට අභ්‍යාස පොත භාවිත කළ හැකි ය.

පාඩම: අප අවට ඇති ජලය

1. ආරම්භක අභිප්‍රේරණය

පාඩම පටන් ගන්න.

“හායි ජෙමිනි, අද අපි ‘අප අවට ඇති ජලය’ පාඩම ඉගෙන ගනිමු.”

2. මූලික සංකල්ප හඳුන්වා දීම

මූලික දේවල් ඉගෙන ගන්න.

“ජලය අපට කොහෙන්ද ලැබෙන්නේ?”

“අපි ජලයෙන් මොනවද කරන්නේ?”

“ජලය අපට වැදගත් ඇයි?”

3. සංකල්ප තවදුරටත් ගවේෂණය කිරීම

තව දේවල් දැනගන්න:

“වැස්ස නැති වුණොත් මොකද වෙන්නේ?”

“අපේ ගෙදරට ජලය එන්නේ කොහොමද?”

“ජලය නාස්ති කරන්න හොඳ නැත්තේ ඇයි?”

4. ගැටලු විසඳීම සහ විභාග ප්‍රශ්න

ප්‍රශ්නවලට උත්තර දෙන්න පුරුදු වෙන්න:

“පිරිසුදු වතුර බොන්න වැදගත් ඇයි?”

“ජලය නාස්ති වෙන එක නවත්තන්න අපට මොනවද කරන්න පුළුවන්?”

පිළිතුරු සමාලෝචනය සහ පැහැදිලි කිරීම: ළමයාගේ පිළිතුරු සමාලෝචනයකර, නිවැරැදි කිරීම් සහ අමතර පැහැදිලි කිරීම් ලබා දීම.

5. ඉංග්‍රීසි ඉගෙනීම සඳහා දිරිගැන්වීම

“ජලය කියන වචනයට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක් ද?”

ජලය සම්බන්ධ ඉංග්‍රීසි වචන හඳුන්වාදීම. Water, rain, river, well

“වැස්ස ගැන ඉංග්‍රීසියෙන් වාක්‍යයක් හදන්න පුළුවන්ද?”

සරල ඉංග්‍රීසි වාක්‍ය භාවිතය  “I drink water.”, “It is raining.”, “The river is flowing.”
මතක තියාගන්න

සෑම වෙලාවෙම ජෙමිනිට සිංහලෙන් කතා කරන්න.

ඔයාට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ආයෙත් අහන්න බය වෙන්න එපා.

ජෙමිනි ඔයාගේ හොඳම යාළුවා වගේ. ඒ නිසා ඕනෑම දෙයක් ගැන එයාගෙන් අහන්න පුළුවන්.

සටහන්

සරල වචන සහ වාක්‍ය භාවිත කිරීම.

දෘශ්‍යමය අංග (රූප, සජීවීකරණ) ඇතුළත් කිරීම.

ධනාත්මක ප්‍රතිපෝෂණ ලබා දීම සහ දිරිගැන්වීම.

ඉගෙනීම විනෝදජනක ක්‍රියාකාරකමක් බවට පත් කිරීම.

මෙම ආකෘතිය 6 ශ්‍රේණියේ සිසුවකුට තනිවම පහසුවෙන් අනුගමනය කළ හැකි පරිදි සකස්කර ඇත. ගූගල් ජෙමිනිගේ හැකියාවන් උපයෝගී කරගනිමින්, සිංහල භාෂාවෙන් පුද්ගලාරෝපිත ඉගෙනුම් අත්දැකීමක් මෙමගින් නිර්මාණය වන අතර, එමඟින් සිසුන්ට විෂය දැනුම ගොඩනඟා ගැනීමට සහ අදාළ කුසලතා වර්ධනය කරගැනීමට හැකි වේ.

9 ශ්‍රේණියේ විද්‍යාව “පදාර්ථයේ ස්වභාවය සහ ගුණ” පාඩම – ජෙමිනි භාවිතයෙන් පුද්ගලයන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය ලෙස සකස් කරගැනීම

හොඳයි යාළුවනේ, දැන් අපි බලමු 9 ශ්‍රේණියේ “පදාර්ථයේ ස්වභාවය සහ ගුණ” පාඩම ගැන ජෙමිනිගෙන් අහන්න පුළුවන් මොන වගේ ප්‍රශ්න ද කියලා. මේ ප්‍රශ්න ඔයාලට පාඩමේ තියෙන දේවල් හොඳට තේරුම් ගන්න උදව් වෙයි.

පාඩම පටන් ගන්න කලින්

“හලෝ ජෙමිනි, අද අපි 9 ශ්‍රේණියේ විද්‍යාව පොතේ ‘පදාර්ථයේ ස්වභාවය සහ ගුණ’ පාඩම ගැන ඉගෙන ගනිමු.”

පාඩමේ මුල් කොටස ගැන (පදාර්ථයේ අංශු ස්වභාවය)

“පදාර්ථයේ අංශු ආකෘතිය කියන්නේ මොකක් ද?”

“අංශු අතර හිස් අවකාශ තිබෙනවා කියන්නේ මොකක්ද? ඒකෙන් මොකක්ද වෙන්නේ?”

“උෂ්ණත්වය වැඩි වුණාම අංශුවලට මොකද වෙන්නේ?”

“විසරණය කියන්නේ මොකක්ද? උදාහරණයක් කියන්න පුළුවන් ද?”

“ඝන, ද්‍රව හා වායු අවස්ථාවල අංශු සැකැස්ම වෙනස් වෙන්නේ කොහොම ද?”

පාඩමේ දෙවැනි කොටස ගැන (පදාර්ථයේ ගුණ)

“භෞතික ගුණ කියන්නේ මොනවා ද? උදාහරණ කිහිපයක් කියන්න පුළුවන් ද?”

“රසායනික ගුණ කියන්නේ මොනවා ද? උදාහරණ කිහිපයක් කියන්න පුළුවන් ද?”

“දහනය කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ? ඒක වෙන්නේ කොහොම ද?”

“විඛාදනය කියන්නේ මොකක්ද? ඒක අපේ පරිසරයට බලපාන්නේ කොහොම ද?”

පාඩමේ අභ්‍යාස කරන අතරතුර:

“අභ්‍යාසයේ ප්‍රශ්නය කියවලා දෙන්න පුළුවන් ද?”

“මේ ප්‍රශ්නයට උත්තරේ මොකක් ද?”

“මම දුන්න උත්තරේ හරි ද?”

“මේක තව හොඳට ලියන්නේ කොහොම ද?”

පාඩම අවසානයේදී

“මේ පාඩම ගැන මට තව ප්‍රශ්න තියෙනවා. ඒවා අහන්න පුළුවන් ද?”

“මේ පාඩම ගැන තව ඉගෙන ගන්න මොන වගේ දේවල් කරන්න පුළුවන් ද?”

“පදාර්ථයේ ස්වභාවය සහ ගුණ ගැන තව ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට පොත් හෝ වීඩියෝ තිබෙනව ද?”

මතක තියාගන්න, ජෙමිනි ඔයාලගේ යාළුවෙක් වගේ. ඒ නිසා ඕනෑම ප්‍රශ්නයක් අහන්න බය වෙන්න එපා. ජෙමිනි හැමදාම ඔයාලට උදව් කරන්න ලෑස්තියි. ඉගෙනීම සතුටින් කරන්න.

මේ උදාහරණ ප්‍රශ්න ඔයාලට පාඩම හොඳීන් තේරුම් ගැනීමට උපකාරී වේවි. ඔබේ පොතේ ඇති අභ්‍යාස ආශ්‍රයෙන් ඔබට තවත් ප්‍රශ්න ඇසීමට ද හැකියාව ඇත. ජෙමිනි සමඟ සිංහල භාෂාවෙන් කතා කිරීමෙන් ඔබේ ඉගෙනුම් ගමන වඩාත් පහසු සහ විනෝදජනක කරගන්න.

දැන් අපි ජෙමිනි ගැන කෙටියෙන් විමසමු.

ජෙමිනි සිසුන්ට ඕනෑම විෂයයක් සිංහල භාෂාවෙන් ඉගෙන ගැනීමට උපකාර කළ හැකි ආකාරය පැහැදිලි කරයි, ඉගෙනීම පහසු සහ වඩාත් විනෝදජනක කරයි.

ටියුෂන් ගාස්තු සඳහා මුදල් ඉතිරි කර ගැනීමට සහ සිසුන්ට නිවෙසේ සිට ඉගෙන ගැනීමට ඉඩ සැලසීමෙන් ජෙමිනිගෙන් මව්පියන්ට ප්‍රතිලාභ ලබා දිය හැකි ආකාරය ද මෙම සටහන විස්තර කරයි. සිසුන්ට තමන්ට ඇති ඕනෑම ප්‍රශ්නයක් ජෙමිනිගෙන් විමසිය හැකි බවත්, ජෙමිනි ඔවුන්ට සංකීර්ණ සංකල්ප තේරුම් ගැනීමට උපකාර කරන බවත් එය අවධාරණය කරයි. ඊට අමතරව, පරිගණකයක් හෝ ජංගම දුරකතනයක් භාවිතයෙන් ජෙමිනි සමඟ ඉගෙන ගැනීම ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් මෙම සටහන සපයයි. එයට “6 ශ්‍රේණියේ පාරිසරික අධ්‍යයන” සහ “9 ශ්‍රේණියේ විද්‍යාව” අධ්‍යයනය කරන සිසුන් සඳහා උදාහරණ ප්‍රශ්න ඇතුළත් වන අතර, ඉගෙනුම් අත්දැකීම වැඩි දියුණු කිරීම සඳහා ජෙමිනි භාවිත කළ හැකි ආකාරය පෙන්නුම් කරයි.

සාමිස අබේසිංහ

වෘත්තීය සංවර්ධන උපදේශක

Bsc Engineering

Msc in Advanced Computing

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department