Home » Blog » පුංචි ලේඛකයෝ

පුංචි ලේඛකයෝ

by thanushika
0 comments

බලශක්තිය අරපිරිමැස්ම

අප බලශක්තිය ආරක්ෂා කරගත යුතු ය. ඒ කුමක් නිසාද කිවහොත් ඒවා සීමිත ප්‍රමාණයක් ඇති හෙයින් ය. බලශක්ති අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමට පුංචි අපටත් දායක විය හැකියි. ඒ කෙසේද?

අපට නිවෙසේදී බලශක්තිය අරපිරිමැස්මෙන් පාවිච්චි කළ හැකි ක්‍රම බොහෝ තිබේ. විදුලි බල්බ පාවිච්චි කිරීමේදි අඩුවෙන් විදුලිය ලබාගත හැකි බල්බ පාවිච්චි කළ යුතු ය. විදුලි බල්බ වෙනුවට සූර්ය පැනලවලින් ක්‍රියාත්මක කළ හැකි බල්බ භාවිතය වඩාත් සුදුසුයි. සූර්ය පැනල සවි කිරීමේදී බොහෝ මුදලක් වැය වුවත් එහි ලාභ ප්‍රයෝජන බොහෝ ය. එහෙත් වර්ෂා කාලයේදී නම් එහි විදුලිය නිපදවන්නේ නැත.

නිවෙසේ විදුලි පංකා භාවිත නොකිරීමෙන් බොහෝ බලශක්ති ප්‍රමාණයක් ඉතිරි කරගත හැකියි. විදුලි පංකා අවශ්‍ය වන්නේ දැඩි රස්න අවස්ථාවලදීයි. නිවෙස වටා ගස් ඇත්නම් විදුලි පංකා අවශ්‍ය නැත. ශීතකරණයට වැයවන බලශක්ති ප්‍රමාණය වැඩියි. රාත්‍රී කාලයේදී ශීතකරණයට ලැබෙන විදුලිය අත්හිටුවා දැමීමෙන් වැය වන බලශක්ති ප්‍රමාණය අඩුවේ.

මෙවැනි බොහෝ ක්‍රම තිබේ. බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට එම ක්‍රම ඉතා පහසුයි. බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමෙන් මුදල් ද ඉතිරි කර ගත හැකියි. ඉතින් අපි අද සිට බලශක්ති අරපිරිමැස්මෙන් භාවිත කරමු.

පී. වත්මි පසන්දි

8 ශ්‍රේණිය

මාර / සුජාතා විද්‍යාලය

මාතර

——————

මගේ රට

වටේට මහ සාගරයයි

ඒක මැද්දේ මුතු ඇටයයි

මුතු ඇටයට අපි කියන්නෙ

අපෙ ලස්සන ලංකාවයි //

හරි ලස්සන කඳු පන්තියි

වටේට හැදිලා තේ පැළ

මල් වතු පලතුරු වතුවල

කුරුල්ලො පිරිලා ලස්සන//

මහවැලි කළු කැලණි ගඟයි

දුන්හිඳ දියලුම ඇල්ලයි

පිදුුරුතලාගල කන්දයි

මේ ඔක්කොම මගේ රටෙයි//

පී.දනුජි සුදම්යා

6 ශ්‍රේණිය

මාර /ගොඩඋඩ මහ විදුහල

———————-

පේරාදෙණිය විශ්වවිද්‍යාල සෙවණේ ඇවිද යමි

යාළුවනේ, මට තියෙන ලොකුම ආසාව චිත්‍ර ශිල්පිනියක් වෙන්නයි. ඒ වගේම මම හිතනවා ඔයාලටත් මට වගේම හුඟක් ආසාවල් ඇති. අපට අපේ මේ ආසාවල්වලට යන්න අමාරුයි. ඒකට හේතුවක් තිබෙනවා. ඒ තමයි ජීවිතයට විවිධ අභියෝග පැමිණීම. මගේ ජීවිතේ මම මගේ සිහිනයට යන්න ගොඩක් දුක් විඳපු කෙනෙක්. ඒත් අපි ඒවාගෙන් වැටෙන්න හොඳ නෑ. අප ඒ අපට ලැබෙන දුක් ආශිර්වාදයක් කරගන්න ඕනෙ. එවිටයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. කවුරුවත් කියන කතාවලින් ඔයා කවදාවත් වැටෙන්න එපා. එහෙම වුණොත් අප එයාලා කියන දේ පිළිගත්ත කියලයි එයාලාට හිතන්නෙ. එහෙම කරන්න එපා. මොකද ගඟක් වුණත් හුඟක්ම ලස්සන වෙන්නෙ ඒ ගඟේ වතුර කළු ගල්වල වැදී හැපි හැපී යන තරමටයි. අපේ ජීවිතයත් හරියටම ගඟක් වගේ අප ලස්සන කරගන්න ඕනේ. ඔයාලාත් ඒකට මහන්සි වෙන්න. කවුරු ඔයාට බෑ කිව්වත් ඔයා ඒ දේවල් අහන්න එපා. සමහර තැන්වල ඔයා වැටෙයි. ඒත් ඔයා එතැනින් නැඟිටලා ශක්තිමත්ව නැවතත් නැඟිටින්න. සෑමවිටම ඔයා ලස්සන මල්වලින් පිරුණු ගහක් වෙන්න. මගේ ලොකුම ආසාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නයි. ඒ වගේම ඒ ලස්සන ජීවිතය අත්විඳින්නයි. අපට අනෙක් අය නපුරුකම් කරන්නේ එයාලා ළඟ නැති මොනවම හරි අපි ළඟ තියෙන නිසයි. ඒ නිසා ඒ දේවල්වලට දුක් වෙන්න එපා. ඔයා ඔයාව විතරක් විශ්වාස කරන්න. මං වගේම ඔයාලටත් ඔයාලගේ හීනවලට යන්න සුබපැතුම්.

කේ.ඒ. දෙව්මි මියුරංගි

11 ශ්‍රේණිය,

මො/ සෙල්ලකතරගම මහා විද්‍යාලය

මොනරාගල

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department