කලාවට දරුවන් යොමු වීම අපේ රටට මාහැඟි දායාදයකි. කලාකරුවකු, නර්තන ශිල්පියකු, ගායකයකු වන්න හැමෝටම හැකියාවක් නැහැ. ඉතින් දුවේ පුතේ, ඒ සඳහා යොමු වීමට උනන්දුවක් ඇති නම් එය පුණ්‍ය මහිමයකි. එවැනි දායාදයක් ඔපවත් කරගත් පුතකු ගැන කතාවක් කියන්නයි අපේ මේ සූදානම. ඒ රොකට් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ දෙනුවන් සමරසිංහ පුතා ගැනයි.
” මම කුඩා කාලයේ සිටම කලාවට හරිම ආසයි. නිර්මාණකරණයෙන් මගේ හිත සැහැල්ලු වෙනවා. කවි ලියන්න, ගීත ලියන්න වගේම චිත්‍ර අඳීන්නත් මම ගොඩක් කැමැතියි. කුඩා කාලයේදී මම පාසල් ගියේ පාතකඩ බෞද්ධ විද්‍යාලයටයි. මම 2015 වසරේදී තමයි. රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයට පැමිණියේ. ඒ කාලයේදී මම ගොඩක් විදී නාට්‍යවලට සම්බන්ධ වෙලා වැඩ කළා. ඊට පස්සේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. වේදිකා නාට්‍යවල විවිධ චරිත රඟපාන්න මට අවස්ථාවක් ලැබුණා. මගේ කලා කටයුතු ඔප්නංවා ගන්න සීවලී විද්‍යාලය හොඳ තෝතැන්නක් වුණා.”
” සීවලී මධ්‍ය විද්‍යාලයේ තිබුණු මාධ්‍ය කවය නිසාම අපේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්න අවස්ථාව ලැබුණා. මෙහිදී සෑම අයුරින් අපට උපකාර කළ සකුන්තලා ගුරුතුමිය අමතක කරන්න බැහැ. අද එතුමිය ටිකිරි කුමාර විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරිය වශයෙන් කටයුතු කරනවා. ඒ වගේ අපේ පාසලේ හිටපු විදුහල්පතිතුමා නීල් වතුකාරගේ මහතාත් වත්මන් විදුහල්පතිතුමාත් ගෞරවයෙන් සිහිපත් කරනවා. චිත්‍රපටයක් කිරීම එතරම්ම පහසු නැහැ. ඒත් අමාරු කාර්යයක් උත්සාහයෙන් කිරීම තමයි ඉතාමත් වටින්නේ. මේ සඳහා පාසලේ සෑම ගුරුවරයකුම ගුරිවරියකම උදව් කළා. ඒ ගැන මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන්න මම කැමැතියි. අපේ පාසලේ සෑම කෙනකුම මේ සඳහා උපරිම දායකත්වය ලබා දුන්නා.”
” චරිතයකට අවතීර්ණ වීම එතරම් පහසු දෙයක් නෙවෙයි. ඒත් ඒ කාර්යය අමාරු වුණත් අපහසුත් නැහැ. මේ රටට හොඳ නිර්මාණ අවශ්‍ය කාලයේ පාසල් දරුවන් වශයෙන් අපට හොඳ දෙයක් කරන්න අවස්ථාව ලැබුණා කියලා මම හිතනවා. ඒක අපේ කණ්ඩායමට වගේම අපේ පාසලටත් ලොකු ජයග්‍රහණයක්. ඒ ගැන මම සතුටු වෙනවා. අනාගතයේ චිත්‍රපට ක්ෂේත්රයට මෙහෙයක් කරන්න මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වෙනුවෙන් මම වැඩ කරනවා කියලා කියන්නත් මම කැමැතියි.”
ඕනෑම දරුවකුට ජීවිතයේ ඉලක්කයක් තිබිය යුතුයි. තමන්ගේ හැකියාව අනුව අනාගතය තීරණය කිරීම දක්ෂතාවකි. දෙනුවන්ගේ දක්ෂතා ඒ අයුරින්ම ඉටු වේවා යැයි මිහිර වෙතින් සුබ පතමි.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප – නිශ්ශංක විජේරත්න