Home » Blog » පාසල් පුවත්

පාසල් පුවත්

by thanushika
0 comments

තඹුත්තේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසලේ හතළිස් වැනි සංවත්සරයේ සමාරම්භක උලෙළ

අනුරාධපුර තඹුත්තේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසලේ හතළිස් වැනි සංවත්සරයේ සමාරම්භක උත්සවය 18 වැනිි දින විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. සංවත්සර සතිය නමින් හඳුන්වා තිබෙන මෙම සතියේ පළමු අංගය ලෙස විද්‍යාලයේ කොඩිය, සංවත්සර කොඩියට බෝධි පූජා පවත්වා විද්‍යාලය වෙත රැගෙන ඒම, විද්‍යාලයීය සංවත්සර ගීතය එළිදැක්වීම, මියගිය පළමු විදුහල්පතිතුමා ඇතුළු මියගිය ගුරු භවතුන්ට සහ අකාලයේ මියගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සෙත් පතා පැන් වැඩීම ද මෙහි දී සිදුකළ විශේෂ අංග වේ.

මෙම පාසලේ වර්තමානයේ හාරදහසකට ආසන්න දූ දරු පිරිසක් ඉගෙනුම ලබති. මෙය ඒ. ජී. ජයතුංග වර්තමාන විදුහල්පතිතුමාගේ උපදෙස් පරිදි විද්‍යාලයීය ගුරු භවතුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලදි.

තලාව සමූහ – බී. ඩබ්. ඩී. ධර්මකීර්ති

———————-

සදෙස් සේයා රූ 2024

අනුරාධපුර මහ බුලන්කුලම ජාතික පාසලේ මාධ්‍ය සමාජය මඟින් “සදෙස් සේයා රූ 2024” නමින් ප්‍රදර්ශනයක් පැවැත්විය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සමන් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි. එම ප්‍රදර්ශනය පාසල් දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම, සිසුන් විසින් රචිත කෙටි කතා ග්‍රන්ථයක් එළි දැක්වීම, කාටුන් චිත්‍ර නිර්මාණ ආදියෙන් සමන්විත වූ අතර, එහිදී සිසු දරුවන්ට නිවේදන, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, ප්‍රවෘත්ති සංස්කරණය, කෙටි කතා රචනය යන තරග සඳහා සහතිකපත් හා කුසලාන ලබාදීම ද සිදු කෙරිණි.

මහ බුලන්කුලම ජාතික පාසලේ විදුහල්පති ඩබ්.ඒ. ටී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත මාධ්‍ය අධ්‍යයන අංශ භාර ආචාරිනී හෙෂානි රිද්මිකා විජයතුංග මහත්මියගේ මඟ පෙන්වීමෙන් මෙම සේයා රූ දැක්ම සංවිධානයකර තිබිණි. එම අවස්ථාවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්, ආරාධිත පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් දරුවන් ද ඇතුළුව විශාල පිරිසක් එක් වූහ.

තලාව සමූහ – බී. ඩබ්. ඩී. ධර්මකීර්ති

———————-

සිංහල දෙමළ භාෂා පුහුණු වැඩමුළුව සාර්ථකව නිමා වේ

ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය සංවිධානයකළ සිංහල දෙමළ භාෂා පාඨමාලාවෙහි අවසන් උත්සවය පසුගිය 12 වැනිදා

බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

බුත්තල පෙරපාසල් ගුරුවරියන් හා තරුණ කණ්ඩායම් සඳහා මෙම වැඩමුළුව පැවැත්විණි.

ඔවුන් විසින් භාෂා ද්විත්වයෙන්ම ගායනා ඇතුළු විවිධ විශේෂාංග මෙම උත්සවයේදී ඉදිරිපත් කරන ලදි.

මෙම අවස්ථාවට බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්. එම්. ආර්. එස්. තිලකරත්න මහතා ද සහභාගි විය.

ඩී.එස්. ගුණතිලක- ඌව වෙල්ලස්ස විශේෂ

———————-

සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේදී කුකුරම්පොල කනිෂ්ඨ විද්‍යාලයට ජයග්‍රහණ තුනක් හිමි වේ

2024 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේදී වැල්ලවාය අධ්‍යාපන කලාපයේ බුත්තල අධ්‍යාපන කොට්ඨාසයේ කුකුරම්පොල කනිෂ්ඨ විද්‍යාලය ජයග්‍රහණ තුනක් හිමිකරගෙන ඇත. ඒකල වාදන ශාස්ත්‍රීය (කනිෂ්ඨ) ගැහැනු/රාගධාරී දිල්රුබා ප්‍රථම ස්ථානය ඩී.එම්. තිසුරි චාමින්දි ශිෂ්‍යාව ද, ඒකල වාදන ශාස්ත්‍රීය (කනිෂ්ඨ) පිරිමි/ රාගධාරී දිල්රුබා දෙවැනි ස්ථානය ඒ. එම්. කෞෂික උක්ශාන් සිසුවා ද ඒකල වාදන ශාස්ත්‍රීය (ජ්‍යෙෂ්ඨ – 1) පිරිමි/රාගධාරී දිල්රුබා දෙවැනි ස්ථානය ආර්.එම්. කවිඳු දිල්රුක්ෂ මධුෂාන් සිසුවා ද හිමිකරගෙන ඇත. ඔවුන්ට ආර්.එම්. විහඟි කාව්‍යා නෙත්සඳලි, ඩබ්ලිව්. ජී. නිපුන ලක්ෂාන්, ඒ. එම්. හෙෂාන් දෙනුවන්, ආර්. එම්. විධූෂ නෙත්සඳ, ඩබ්ලිව්. එම්. දෙසිඳු විනුරක සහ ආර්.එම්. ධනංජය ලක්මාල් යන සිසු සිසුවියන් වාදනයෙන් සහාය වී ඇත.

විදුහල්පති වයි. ජී. නන්දසේන මහතාගේ මඟ පෙන්වීම යටතේ ඔවුන් මෙම තරගයට ඉදිරිපත් වී ඇත.

ඩී. එස් ගුණතිලක- ඌව වෙල්ලස්ස විශේෂ

———————-

මො / අගුණකොළපැලැස්ස මහා විද්‍යාලයේ ගායන කණ්ඩායමට ගායනා අංශයෙන් ජයග්‍රහණයක්

වසර 75ක පාසල් ඉතිහාසයේ සමූහ ගායනා අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණයක් ප්‍රථමවරට ගෙන ඒමට මො / අගුණකොළපැලැස්ස මහා විද්‍යාලයේ ගායන කණ්ඩායම මෙවර සමත්වූහ. දමිළ චිත්‍රපට, ගීත, මිශ්‍ර, සමූහ , විවෘත අංශයේ ශිෂ්‍ය සංඛ්‍යාව 300ට අඩු පාසල් කාණ්ඩයෙන් සමස්තලංකා දෙවැනි ස්ථානය දිනා ගැනීමට මෙම පාසල් දරු දැරියෝ එහිදී සමත්වූහ. මෙම සමූහ ගායනය සඳහා ආර්. එම්. මහේෂිකා ලක්මාලි, ජේ. පී. ඉඳුරංගා පතිරණ, එච්. ඒ. ධනංජි පුන්සලා ,කේ.පී. විහංගා නෙත්මි, ඩී. එම්. බී. මෙතුලි සනන්‍යා, එච්. ඒ. මනුජි ඉඳුසරා, එම්. බී. රුමේෂ් ලක්මාල් , ඊ. කේ. කෝසල උදයමාල් , යූ. ඩබ්. තිළිණ ගයාෂාන්, ඩබ්. ආකාශ් මිහිඳුම්, එල්. ඒ. ශෙවාන් ප්‍රභාෂ්, එච්.ඒ. මිහිඳු සත්සර යන දරුවෝ සහභාගි වූහ.

වාදනයෙන් හැඩ කිරීමට විද්‍යාලයේ ආර්. එම්. මහේෂිකා ලක්මාලි, ජේ. පී. ඉඳුරංගා පතිරණ, එච්. ඒ. ධනංජි පුන්සලා, කේ.පී. විහංගා නෙත්මි, ඩී. එම්. බී. මෙතුලි සනන්‍යා, එච්. ඒ. මනුජි ඉඳුසරා, එම්. බී. රුමේෂ් ලක්මාල්, ඊ. කේ. කෝසල උදයමාල්, යූ. ඩබ්. තිළිණ ගයාෂාන්, ඩබ්. ආකාශ් මිහිඳුම්, එල්.ඒ. ශෙවාන් ප්‍රභාෂ්, එච්.ඒ. මිහිඳු සත්සර යන දරු දැරියන් පිරිස එක් වූහ.

විද්‍යාලයේ විදුහල්පති ආර්. ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම මත මෙම ඉසව්ව සඳහා දරුවන් පුරුදු කිරීම විද්‍යාලයේ ඵම්. ටී. ශ්‍රියන්ත දිනේෂ් පුෂ්පකුමාර මහතා (සංගීත විෂය භාර ), ටී. එල්. විජිනි වත්සලා මෙණෙවිය (නර්තන විෂය භාර) යන ගුරු භවතුන් විසින් සිදු කරන ලදි.

මිට පෙර 2019 වර්ෂයේ නර්තනය සම්බන්ධ ගුරුවරයකු නොමැතිව සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇති මෙම පාසලේ ඒ සඳහා පාසලේ සංගීත විෂය භාර ශ්‍රියන්ත දිනේෂ් ගුරු මහතා සහ අමරිතා මානගේ ගුරු මහත්මිය මඟපෙන්වීම සිදුකර තිබේ .

2023 සමස්ත ලංකා නර්තන තරගාවලියේ සබරගමු නර්තන අංශයේ සමස්තලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ටී. එල්. විජිනි වත්සලා ගුරු මෙණෙවියගේ පුහුණුවීම් සිදුකළ දැරියන් සමත්වී තිබේ. එසේම 2023 වර්ෂයේ සමස්ත ලංකා සංගීත තරගාවලියේ රාගධාරී අංශයෙන් සංගීත අංශයේ දෙවැනි ස්ථානය ඩී.ජී. රවිඳු දිල්ෂාන් ශිෂ්‍යයා දිනා ගැනීමට සමත් වී තිබේ.

වැල්ලවාය විශේෂ – ජී. අයි. ආර්. ගරුසිංහ

———————-

ඉංග්‍රීසි භාෂාව හා නාට්‍ය තරගාවලියේදී දුටුගැමුණු ජාතික පාසලට ප්‍රථම ස්ථානයක්

2024 ඉංග්‍රීසි භාෂාව සහ නාට්‍ය තරගාවලියේදී බුත්තල දුටුගැමුණු ජාතික පාසල ප්‍රථම ස්ථානයක් හිමිකරගෙන ඇත. එකොළොස්වැනි ශ්‍රේණියේ ඩික්ටේෂන් තරගයට ඉදිරිපත් වූ ආර්.එම්. පහන්‍යා සඳලි රාජපක්ෂ ශිෂ්‍යාවට මෙම ජයග්‍රහණය හිමි වී තිබේ.

විදුහල්පති රසික පල්ලියගුරු මහතාගේ මඟපෙන්වීම යටතේ ඉංග්‍රීසි අංශයේ ප්‍රධානී ආර්.එම්. සමන්ති මහත්මිය ඇතුළු ඉංග්‍රීසි ගුරුභවතුන් ඇයගේ පුහුණුකරුවන් ලෙස කටයුතුකර ඇත.

ඩී.එස්. ගුණතිලක- ඌව වෙල්ලස්ස විශේෂ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department