Home » Blog » රන් කොත් වෙහෙර

රන් කොත් වෙහෙර

by thanushika
0 comments

ආදරණීය දුවේ පුතේ, අද දවසේ උරුමයක වගතුගවලින් පොලොන්නරු යුගයේ ඉදි වූ විශාලතම චෛත්‍ය වශයෙන් සැලකෙන රන් කොත් වෙහෙර පිළිබඳ තොරතුරු සොයා බලමු.

දුටුගැමුණු රජතුමා ඉදිකළ රුවන්වැලි මහා සෑය වළගම්බා රජතුමා ඉදිකළ අභයගිරි ස්තූපය සේම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම හා විශාලතම ස්තූපයක් වශයෙන් සැලකෙන රන් කොත් වෙහෙර නිශ්ශංක මල්ල රජතුමාගේ නිර්මාණයක් වශයෙන් සැලකේ. මහා පරාක්‍රමබාහු රජුගේ අග බිසවක වූ රූපාවතී බිසව විසින් මෙහි ඉදිකිරීම් ආරම්භ කරන ලද අතර, නිශ්ශංක මල්ල රජතුමා විසින් එය සම්පූර්ණ කරන්නට ඇති බව ශිලාලේඛනවල සඳහන් වේ. පූජාවලිය හා චූලවංශය යන මූලාශ්‍රයන්හි ද මේ බව සඳහන් වේ. නිශ්ශක මල්ල රජතුමා විසින් රනින් කරවන ලද ස්වර්ණමය කොතක් සවිකළ හෙයින් මෙම ස්තූපය රන් කොත් වෙහෙර නමින් ප්‍රසිද්ධ වූ බව පූජාවලියේ හා චූලවංශයේ තවදුරටත් සඳහන්කර ඇත. පොලොන්නරු යුගයේ ඉදිකරන ලද උසින් වැඩිම ස්තූපය ලෙස සැලකෙන මෙම ස්තූපය බුබ්බුලාකාර හැඩයෙන් යුක්ත ය. එය උසින් අඩි එකසිය අසූවකි. එහි පාදමේ විෂ්කම්භය අඩි 186ක් පමණ වෙයි. එහි ගර්භයේ බාහිර බිත්තියත් මධ්‍ය හරයත් ගඩොලින් නිමකර ඇති අතර, ඒ දෙක අතර අවකාශය පස්වලින් පුරවා තිබේ. එහි මළුව මාලක දෙකකින් යුක්ත අතර, ඇතුළු වීමේ දොරටු හතරක් සහිත පහළ මාලකය හෙවත් වැලි මළුව ප්‍රදක්ෂිණා පථයක් ලෙස ද භාවිතකර තිබේ. ඉහළ සලපතළ මළුව මත ස්ථූපය ඉදිකර ඇති අතර, ඉහළ සලපතළ මළුවට ගොඩවීම සඳහා සිවු උප දිශාවලින් දොරටු හතරක් ද ඉදිකර තිබේ. එහි සම්පූර්ණයෙන්ම ගඩොලින් ඉදිකරන ලද වාහල්කඩ හතරකි. වාහල්කඩ පිටුපස කොටසෙහි ස්තූපයට නමස්කාර කරන සතර වරම් දේව රූපයක් බැගින් දක්නට ලැබේ. එම අලංකාර වාහල්කඩ මේ වන විටත් විශාල වශයෙන් විනාශ වී ඇති අතර, දැනට දක්නට ලැබෙන්නේ අඩි දහඅටක් දිග අඩි 22ක් උස වාහල්කඩෙහි කොටසක් පමණි. මෙහි ප්‍රතිමාඝර ඉදිකර ඇති අතර, එහි ඇති කුඩා පිළිම ගෙවල් ගෙඩිගේ ක්‍රමය අනුව ඉදිකර තිබීම ද තවත් වැදගත් කරුණකි. ස්තූපය වටා විහාර ගෙවල් 16ක් ද ඉදිකර ඇති අතර, එය ස්තූපයට නමස්කාර කිරීම සඳහා ඉදිකරන ලදැයි විශ්වාස කරයි. ස්තූපයේ හතරැස් කොටුවේ නෙළුම් මලක් ද දක්නට ලැබේ.

ක්‍රිස්තු වර්ෂ 1215දී පොලොන්නරුවට එල්ල වූ කාලිංග මාඝගේ ආක්‍රමණය සමඟ ජනතාව පොලොන්නරුව අතහැර නිරිතදිගට සංක්‍රමණය වූයෙන් මෙම විහාරය ඇතුළු බොහෝ විහාරස්ථානවල වල් බිහිවීමට පටන් ගත්තේය. නැවත ඉංග්‍රීසි පාලන සමයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භකර තිබේ. 1982දී ආරම්භ වූ සංස්කෘතික ත්‍රිකෝණ යෝජනා ක්‍රමය යටතේ මෙම ස්තූපය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණයකර වර්තමානයේ දක්නට ලැබෙන තත්ත්වයට පත් කොට ඇත.

ලක්නා නිරෝෂිමාලා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department