Home » Blog »  නාට්‍ය කලාවේ සතර අභිනය ගැන කතාව

 නාට්‍ය කලාවේ සතර අභිනය ගැන කතාව

by thanushika
0 comments

නර්තනය හෝ නාට්‍ය කලාව වැනි සෞන්දර්ය විෂයයන් හදාරන ඔබ, සතර අභිනය පිළිබඳ දැන සිටින බව නම් පැහැදිලි ය. එය ප්‍රාසාංගික කලාවේ දක්නට ලැබෙන මූලික ම අංගයන්ගෙන් එකකි. නර්තන කලාවේත් නාට්‍ය කලාවේත් සතර අභිනය වෙනස්කම් සහිතව යොදා ගැනෙයි. එය, එකී කලාංගය තවත් රසවත් කිරීමට සේම අර්ථවත් අංගයක් බවට පත් කිරීමට ද සමත්වේ. එහෙයින් අද අපි, දන්නා නොදන්නා සියලුදෙනා වෙනුවෙන් සතර අභිනය පිළිබඳ තොරතුරු සොයා බලමු.

අභිනය යනු

‘අභිනය’ යන්න සංස්කෘත බසින් සිංහලයට බි¼දී ආ වදනකි. එහි සරල අරුත ‘ප්‍රකාශනය’ යන්නයි. තවත් ලෙසකින් කිවහොත් අභිනය යනු ඉදිරියට ගෙන යෑම හෙවත් ගෙනහැර පෑමයි. නෘත, නෘත්‍ය හා නාට්‍යයන්හිදී ඒවායෙහි අර්ථයත්, රසයත්, ප්‍රේක්ෂකයා වෙත සමීප කරවීමට භාවිත කෙරෙන ප්‍රධානතම මාධ්‍යය, අභිනය යැයි කිව හැකි ය. අතීතයේ ජීවත් වූ පඬිවරු මෙකී අභිනය නම් සංකල්පය සම්බන්ධයෙන් නොයෙක් අදහස් හා නිර්වචන ඉදිරිපත් කළහ. ‘අභිනය දර්පණය’ නමැති කෘතිය රචනා කළ භාරතීය පඬිවර නන්දිකේශ්වරයන් සඳහන් කරන අන්දමට “අභිනය යනු රසභාව ඉදිරිපත් කිරීම සඳහා සිදු කරනු ලබන චලන වේ”. තවත් ප්‍රසිද්ධ භාරතීය පඬිවරයකු වූ භරතමුනි, සිය ‘නාට්‍ය ශාස්ත්‍රය’ නම් ග්‍රන්ථයේ අභිනය ප්‍රධාන කොටස් හතරකට වර්ග කොට දක්වයි. මෙය ඉතා පැහැදිලිව සහ නිරවුල්ව එතුමා විසින් පැහැදිලිකර තිබේ.

* ආංගික අභිනය

* වාචික අභිනය

* සාත්වික අභිනය

* ආහාර්ය අභිනය

අභිනය හා නාට්‍ය අතර වන ප්‍රබල සම්බන්ධය විදහා පාමින් භරතමුනි පඬිවරයා විසින් මෙබන්දක් ද පවසන ලදි. “නාට්‍ය යනු, විවිධ භාවයන්ගෙන් හා අභිනයන්ගෙන් යුක්තව විස්තර සහිතව ලෝක ස්වභාවය අනුකරණය කිරීමයි”. ඔහු පැවසූ සිව්වැදෑරුම් අභිනය පිළිබඳ අපි විමසා බලමු.

ඒ පිළිබඳ දැන ගැනීම ඔබට වඩාත් වැදගත් ය.

ආංගික අභිනය

මිනිස් සිරුරේ අංග, ප්‍රත්‍යංග හා උපාංග භාවිතයෙන් අදහස් ප්‍රකාශ කිරීම ආංගික අභිනය වේ. අංග යනු හිස, අත්, පාද, ළැම, උකුල යන කොටස් වන අතර, ප්‍රත්‍යංග නම් වන්නේ ගෙල, උරහිස්, බාහු, දණහිස්, වැලමිට හා මැණික් කටුව ආදී කොටස් ය. උපාංග යනු ඇස්, ඇහිබැමි, කම්මුල්, නාසය, තොල්, දිව, නිකට ආදියයි. මුද්‍රා නාට්‍යවලදී බහුලව ආංගික අභිනය යොදා ගැනෙයි. එසේම ගීත අනුව ඉදිරිපත් කරන නර්තනවලදී ද ආංගික අභිනය උපයෝගී කොටගෙන අදහස් ප්‍රකාශ කරයි. අභිරූපණ රංගනයේදී ආංගික අභිනය ඉතාමත් ප්‍රබල වේ.

දේශීය නර්තන සම්ප්‍රදායේ එන ශාන්තිකර්මවල අන්තර්ගත නානුමුරය, වඩිගපටුන, මරා ඉපැද්දීම, මරුවාගේ පැමිණීම යනාදී පෙළපාළි මෙම ආංගික අභිනය ගැඹුරින් භාවිත වන අවස්ථා ය. ඊට අමතරව පහත රට ශාන්තිකර්ම සාහිත්‍යයේ රට යකුම ශාන්තිකර්මයේ එන නානුමුරයේ නානු සකස් කිරීම, නානු ගෑම, දියනෑම, සබන් ගා දත කට මැද ඇඟ ඉලීම ආදී පෙළපාලි රාශියක් ආංගික අභිනයෙන් යුතුව ඉදිරිපත් කරයි.

මෙම අවස්ථාවේදී සමස්ත ශරීරයම රිද්මයානුකූලව චලනය කරමින් ප්‍රකාශනය මතුකරයි. නර්තනයේදී මෙන්ම නාට්‍යකරණයේදී ද හැඟීම් ප්‍රකාශනයෙහි ලා ප්‍රධාන මාධ්‍යය වන්නේ ආංගික අභිනයයි. බටහිර බැලේ නර්තන කලාවේදී සිරුරේ අංග ප්‍රත්‍යංග උපාංග රිද්මයානුකූලව චලනය කරමින් ප්‍රකාශනය මතුකරයි. ආදී මානවයා ස්වකීය හැඟීම් අත්දැකීම් බෙදා ගැනීමෙහිලා ද යොදාගෙන ඇත්තේ ආංගික අභිනය බව ඉතිහාසය සාක්ෂි දරයි.

වාචික අභිනය

ගද්‍යයෙන් හෝ පද්‍යයෙන්, එනම් සංවාද, දෙබස්, කතාන්දර හෝ කවි, ගීත ආශ්‍රයෙන් අදහස් ප්‍රකාශ කිරීම වාචික අභිනයයි. මෙහිදී මාධ්‍ය වන්නේ වචනයි. ගීත නාටකවලදී වාචික අභිනය බහුලව දක්නට ලැබේ. ශබ්ද අනුසාරයෙන් අදහස් දැක්වීමේදී එය රටින් රටට, බසින් බසට වෙනස්කම් සහිතව සිදුවන බව කිව යුතු ය. වාචික අභිනය සඳහා නොයෙකුත් ශිල්ප ක්‍රම සංස්කෘත නාට්‍යවල භාවිත වේ. ප්‍රකාශ භාෂණ, සාමූහික භාෂණ, ඒකල භාෂණ ආදිය මෙයට නිදසුන් වේ. වාචික අභිනය, නාට්‍යයක ප්‍රබලතම අදහස් ප්‍රකාශන විධික්‍රමයකි. එහි සිදුවන කුඩා අතපසුවීමකින් සමස්ත නාට්‍යයේම අදහසට හානි සිදුවීමට පවා ඉඩ තිබේ.

ආදි මානවයාගේ ප්‍රකාශන මාධ්‍යය වූයේ ආංගික අභිනය වූවත්, ක්‍රමයෙන් මිනිසා පරිණාමයට ලක් වීමත් සමඟ මිනිසා විසින්ම භාෂාව නිර්මාණය කරගත් අතර, වචනය භාවිත කොට අදහස් ප්‍රකාශනය ආරම්භ විය. දෙබස, ගීතය, සන්න, සැහැලි, සංවාද, කට පැහැදි, ටීකා, මන්ත්‍ර ආදී සියල්ලම වාචික අභිනයට අයත් වේ. මෙහිදී ප්‍රධාන වන්නේ ශබ්ද රසයයි. මුද්‍රා නාට්‍ය හැර අනෙක් සියලුම නාට්‍ය ශෛලීන්හිදී වාචික අභිනය වැදගත් වේ. ශාන්තිකර්මවලදී භාවිත උපත් කවි, සන්න, යාදිනි, ශ්ලෝක, යකුන්ට කරන මන්ත්‍ර සහ දෙබස්, සිරසපාද කවි මෙන්ම සංවාද ආදිය සියල්ල වාචික අභිනයට අයත් වේ. වචනයේ ප්‍රබලත්වය මත වාචික අභිනය තීව්‍ර වේ. වචන, ප්‍රකාශන මාධ්‍ය ලෙස යොදා ගැනීම නිසා වචනයෙන් ප්‍රකාශ වන ප්‍රකාශනය නිරවුල් විය යුතු ය.

සාත්වික අභිනය

විවිධ භාවයන් කරණකොටගෙන උපදින්නා වූ රසයන්, සිරුරේ ‘උපාංග’ කොටසට අයත් ඉන්ද්‍රියයන් මඟින් නිරූපණය කිරීම සාත්වික අභිනයයි. එනම් මුහුණේ පිහිටි කොටස් චලනය කිරීමෙන් පමණක් ප්‍රබල අදහසක් සම්ප්‍රේෂණය කිරීම මෙහිදී අදහස් කෙරේ. නිදසුන් වශයෙන් මුහුණ රතු වීම, දෑස් කඳුළින් පිරී යෑම, දත්මිටි කෑම, ඇස කුඩා වීම හා විශාල වීම, ඇසිපිය සැලීම, දෙතොල් සැපීම ආදිය පෙන්වා දිය හැකි ය. විවිධ මනෝභාවයන් සඳහා සිරුර ප්‍රතික්‍රියා දක්වන ආකාරය හඳුනාගත හැකි දහදිය දැමීම, වෙව්ලීම, රෝමෝද්ගමනය වීම, සිහිමුර්ජා වීම ආදී දේ ද මීට අයත් වන බව පොතපතෙහි සඳහන් වේ.

ඒ අනුව පෙර කී අභිනයන්ගෙන් මතුකරන අර්ථයේ රැඳී ජීවමය ගුණය සජීවීකරණය කරනුයේ සාත්වික අභිනය යි. එනම් ආංගික හා වාචික යන අභිනයන්ට සජීවී ගුණයක් ආරෝපණය කිරීම සාත්වික අභිනයේදී සිදු වේ. මනසේ හටගන්නා මනෝභාවය මුහුණෙන් හා ශරීරයෙන් නිරූපණයකර දක්වන්නේ සාත්වික අභිනය මඟින් ය. රසභාව ඉදිරිපත් කිරීමේදී සාත්වික අභිනය ගැඹුරින් භාවිතයට ගනියි.

භරත මුනිවරයා විසින් සාත්වික අභිනය යන්න අර්ථ දක්වා ඇත්තේ ” සිතේ හට ගන්නා මනෝභාවයන් හේතුකොට ප්‍රේක්ෂකයා හට යමක් ගෙන යා හැකි ද එය සාත්වික අභිනය ලෙස යි”.

දේශීය ශාන්තිකර්ම පද්ධතියේ එන නර්තන අවස්ථාවන් ලෙස ගැනෙන නානුමුරය, දරු නැළවිල්ල, මරු සන්නිය, වඩිගපටුන, යක්කම් පහ ආදී වූ පෙළපාළියන්හි මෙම සාත්වික අභිනය ඉතා සාර්ථක ලෙස භාවිත වේ.

ආහාර්ය අභිනය

වෙස්වළා ගැනීම හෙවත් වේශ නිරූපණය, උපකරණ වැනි පිටතින් තමන් වෙත ගන්නා අන් සියලු දෑ, සැරසිලි, විදුලි ආලෝකය ආදිය අයත් වන්නේ ආහාර්ය අභිනයටයි. නළුවා හෝ නිළිය විසින් සිදු කරනු ලබන තත්ත්වාරෝපණය ආහාර්ය අභිනය වේ. භාවයන්ගේ අර්ථය වඩාත් ඔප්නැංවීම මෙමඟින් සිදුවේ. අනෙකුත් අභිනයන් ත්‍රිත්වය මඟින් සිදුවන අදහස් ප්‍රකාශනය ආහාර්ය අභිනයෙන් තවදුරටත් තීව්‍ර වේ. සමස්තයක් වශයෙන් රංග වස්ත්‍රාභරණ, වේශ නිරූපණය, වේදිකා ආලෝකය, වේදිකා උපකරණ හා සැරසිලි, රංගභාණ්ඩ, පසුබිම් ගායනය ආදී සියල්ල මීට අයත් බව කිව හැකි ය.

දේශීය නර්තන සම්ප්‍රදායේ භාවිත රංගවස්ත්‍රාභරණ, වෙස්මුහුණු, වෙස් ගැන්වීම, තොරණ යහන්වීදී සැරසිලි, පූජා භාණ්ඩ, පිදේනි, විලක්කු පන්දම් දැල්වීම, පහන් දැල්වීම, දුම්මල ගැසීම, බෙර වාදනය, හක් ගෙඩි පිඹීම, මෙන්ම වස් දඬු පිදීම ආදී සියල්ල ම ආහාර්ය අභිනයට අයත් වේ. මීට අමතරව භාරතීය කථකලි නාට්‍ය සම්ප්‍රදායේ ආහාර්ය අභිනය ඉතාමත් ගැඹුරින් භාවිත වේ.

වර්තමානයේදී නූතන වේදිකාවේ ඉදිරිපත් කරනු ලබන ප්‍රාසංගික නිර්මාණයන්හි මෙම සතර අභිනය ඉතාමත් ගැඹුරින් භාවිත කරනු දැකගත හැකි ය.

නව නළු රස හා ඊට මූලික වන ස්ථායි භාව

රසය යනු පුද්ගලබද්ධව වෙනස්කම් පෙන්වන විවිධ, විෂම ක්‍රියාවලියකි. රස නිපදවීම රස නිෂ්පත්තිය ලෙස හැඳීන්වේ. රස නිෂ්පත්තිය සිදුවන්නේ යම් යම් චිත්තවේගී ස්වභාවයන් මඟිනි. ඒවා ස්ථායී භාව ලෙස නම් වේ. භරතමුනි පඬිවරයාට අනුව ස්ථායි භාවයන් 8ක් හා ඊට අදාළව නිපදවෙන රස 8ක් ඇත. පසුකාලීනව මීට තවත් භාවයක් හා රසයක් එක් වූ හෙයින් ‘නව නාට්‍ය රස’ වශයෙන් මෙය හඳුන්වයි. සතර අභිනයෙන් සිදුවන්නේ මෙකී ස්ථායි භාවයන් පෝෂණය කිරීමයි. ඒ අනුව එයින් නිපදවෙන රසය ද තීව්‍ර වේ.

වන්දනා අබේසේකර


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department