අතීතයේ ජීවත් වූ මිනිසා දෛනික ආහාරය සපයා ගනු ලැබුවේ අවට පරිසරයේ දේවල්වලනි. අල අහාරයට ගැනීම මෙයින් ප්‍රධාන වේ. ඔවුහු හේන්වල මෙම අල වර්ග වගා කළහ. සිංහල මාස ක්‍රමයට අනුව ඉල් මස අවසන් වීමත් සමඟ උඳුවප්, දුරුතු සහ නවම් යන මාස මුළුල්ලේ ඇසෙන අවිච්චියාගේ නාදය දේශීය ගොවියාට සුබ ලකුණක් විය. අවිච්චියාගේ මිහිරි නාදයත් සමඟ දේශීය ගොවියෝ හේනේ හෝ කොටුවේ වගාකර ඇති අල වර්ග ගැලවීමට ( උගුල්ලන්නට ) පටන් ගනිති. එදා මෙන්ම අදත් දේශීය අල වර්ග වගා කිරීමෙන් වාසි රැසක් ගෙන දෙයි. එනම් කාබනික පොහොර පමණක් භාවිත කළ හැකි වීම, කුඩා බිමක වගා කිරීමට හැකිවීම, අවම ශ්‍රමයකින් වැඩි පලදාවක් ලබා ගත හැකි වීමයි. ශ්‍රී ලංකාවේ අල වර්ග වැල් අල සහ ගස් අල යනුවෙන් කොටස් දෙකකට බෙදෙයි. බතල, කටු අල, ඉන්නල, රාජ අල, කහට අල සහ ගෝන අල වැල් අල වර්ග වේ. කිරි අල, මඤ්ඤොක්කා, කොහිල අල, වෙල් අල, හබරල, ආටිචෝක් අල හා කිඩාරන් අල ගස් අල වර්ගයි. මෙවර මිහිර පෝස්ටරයෙන් අපි දේශීය අල වර්ග කිහිපයක් හඳුනා ගනිමු.
ඉන්නල
ඉන්නල තෙත් කලාපයේ බහුලව දක්නට ලැබේ. රත්නපුර, මාතලේ, කෑගල්ල, ගාල්ල, මහනුවර වැනි දිස්ත්‍රික්කවල පහසුවෙන් වගා කිරීමට හැකි වේ. මෙම අල වර්ගය වගා කිරීම සඳහා වඩාත්ම යෝග්‍ය වන්නේ හොඳීන් ජලවහනය වන සැහැල්ලු ලෝම පසයි. තෙත් කලාපයේ ඉන්නල වගා කරනු ලබන්නේ යල කන්නයේ වර්ෂාවත් සමඟ ජූනි සහ ජූලි මාසවල ය. අතරමැදි කලාපවල ඉන්නල වගා කරනු ලබන්නේ මහ කන්නයේ වර්ෂාවත් සමඟ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලයි. ඉන්නල වර්ග දෙකක් තිබේ. එනම් දිගටි ඉන්නල සහ බෝල ඉන්නලයි. ඉන්නල ආහාරයට ගනු ලබන්නේ ව්‍යංජනක් ලෙසයි. ඉන්නලවල පෝෂණ ගුණය වැඩි ය.
බුත්සරණ
බුත්සරණ අල ගෙවතුවල දක්නට ලැබේ. මෙම ශාකය මීටර් 2ක් පමණ උසට වර්ධනය වේ. සිනිඳු ඍජු කඳක් සහිත බහු වාර්ෂික ශාකයකි. බුත්සරණ ශාකයේ පත්‍රවල දිග සෙන්ටිමීටර් 30ත් 40ත් ප්‍රමාණයකින් යුක්ත වන අතර, පළල සෙන්ටිමීටර් 10ක් පමණ වේ. සුලබව හමුවන බුත්සරණ ශාකයේ පත්‍ර දම් පැහැයට හුරු වන අතර, කොළ පැහැති වර්ණයෙන් ද යුක්තයි. පත්‍ර කොළ පැහැති වර්ගයේ මල් කහ වර්ණයක් ගනී. පලය දම් හෝ කොළ පැහැති වේ. අමු බීජ සුදු පැහැති වන අතර, වියළුණු පසු කළු පැහැයක් ගනී. මෙම අල තම්බා සහ ව්‍යංජන ලෙස ආහාරයට ගැනීමට හැකි ය. අලවලින් ලබා ගන්නා පිටි, කිරි හා සිනී සමඟ මිශ්‍රකර තලප සාදා ගැනීමට ද හැකි වේ.
කිරි අල
කිරි අල සෙවණ ලැදි භෝගයකි. මෙම අල ගෙවතුවල, ඕවිටි බිම්, බෑවුම් ආශ්‍රිත වගා කිරීමට හැකි ය. මෙම අල, ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වගා කිරීමට හැකි නිසා ගොවීන් අතර වඩාත් ජනප්‍රිය වේ. කිරි අල සෙවණට දක්වන ළැදියාව නිසා තෙත් සහ අතරමැදි කලාපවල පොල් සහ කෙසෙල් භෝග සමඟ අතුරු භෝගයක් ලෙසින් වගා කළ හැකියි. මෙහි අල දිගැටි හැඩයෙන් යුක්ත වන අතර, ප්‍රමාණයෙන් විශාල වේ. මෙම අල වර්ගය ආහාරයට ගන්නා විට මතුවන කිරි රසය නිසා කිරි අල ලෙස හඳුන්වයි. ඉසුරු, රතු කිරි අල, අඩ දම් කිරි අල, කහ ඉරි කිරි අල සහ දම් කිරි අල යන ප්‍රභේද ශ්‍රී ලංකාවේ වගා කරනු ලැබේ. කිරි අල තම්බා සහ ව්‍යංජන ලෙස ආහාරයට ගනු ලබයි.
ආටිචෝක් අල
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සාර්ථකව වගා කළ හැකි වේ. පෙබරවාරි, මාර්තු මාසවලදී මෙම අල සිටුවන අතර, දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා අස්වනු නෙළා ගැනීමට හැකි ය. ආටිචෝක් අලය සාමාන්‍යයෙන් දෙහි ගෙඩියක ප්‍රමාණයක් ගනියි. මෙය ඉතා ඝන පොත්තකින් ආවරණය වී ඇත. පොත්ත ඉවත්කර දෙපළු කළ විට තැම්බූ බිත්තරයක සුදු මදය හා කහ මදය මෙන් වර්ණ දෙකකින් අලය දැක ගත හැකි ය. කහ ශාකයට බොහෝ සමාන වේ. පත්‍ර රළු ගතියකින් යුක්ත වේ. ගසේ මවු අලයෙන් විහිදෙන සිය ගණනක් මුල් ගස වටේට දක්නට ලැබේ.
බතල
කුඩා, වැඩිහිටි, මහලු සියලු දෙනාම බතල ආහාරයට ගැනීමට ප්‍රිය කරති. බතල තම්බා සහ ව්‍යංජන ලෙස ද සකසා ආහාරයට ගැනීමට හැකි ය. රසයෙන් සහ ගුණයෙන් අනූන බතලවල කාබෝහයිඩ්‍රේට් බහුලව අඩංගු වේ. එසේම විටමින් ඒ, යකඩ සහ කැල්සියම් ද බතලවල අඩංගු ය. බතල ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙයි. මෙම අල වර්ධනය වන මුල් කාලයේ වර්ෂාව තිබීමත්, අල හටගන්නා කාලයේදී වියළි දේශගුණයක් තිබීමත් වඩාත් හිතකර වේ. බතල වගා කිරීමට ජලය හොඳීන් බැස යන වැලි ලොම් සහිත පස වඩාත් යෝග්‍ය වේ. බතල වැල බිම බඩගාගෙන යනු ලබයි. මෙහි පත්‍ර කොළ වර්ණයෙන් යුක්ත වේ. බතල පත්‍රය ත්‍රිකෝණාකාර හැඩයක් ගනියි. ළා දම් පාටට හුරු මල් පිපෙයි.
හිඟුරල
හිඟුරල තෙත් කලාපයේ වැවෙන වැල් අල භෝගයකි. මෙය ඇඟිලි අල ලෙස ද හඳුන්වනු ලබයි. එසේ හඳුන්වන්නේ අලයේ කෙළවර අතක හා පාදයක මෙන් ස්වාභාවිකව ඇඟිලි බෙදී වර්ධනය වීම නිසා ය. බීජ අල හිරු එළිය තදින් නොවැටෙන සිසිල් ස්ථානයක මාස එකහමාරක් පමණ කාලයක් පොලිතින් නොවන ආවරණයකින් වසා තබා මොටෙයියන් වර්ධනය කරගැනීම සිදු කරනු ලබයි. එයින් පසු මාර්තු, අප්‍රේල් මාසයන්හි මෙම අල සිටුවනු ලැබේ.
පාත්ති ආකාරයටත්, අඩියක් ප්‍රමාණයේ වළක ද, පෝර උරයක ද සිටුවීමට හැකි ය. වැල් මැරීම සිදු වූ පසු දෙසැම්බර් සහ ජනවාරි මාසවල අල ගැලවීමට සුදුසු වේ. මෙහි අල පොකුරු වශයෙන් හටගනියි. ශරීරය සිසිල් කිරීමට, උෂ්ණාධික රෝග දුරු කිරීමට සහ දියවැඩියා රෝගීන්ට එකසේ ගුණදායක ය. හිඟුරල තන්තු බහුල, පිෂ්ටය බහුල ආහාරයකි.
හුළංකීරිය
හුළංකීරිය ශාකය මීටර් 0.3 සහ මීටර් 1.5 අතර උසට වැඩෙන බහු වාර්ෂික ශාකයකි. තද කොළ පාට පත්‍රවලින් යුක්ත වේ. ගසේ මවු අලයෙන් ඉතා සියුම්ව ආරම්භ වන අලය, වර්ධනය වීමේදී කෙළවර ක්‍රමානුකූලව විශාල වී වැඩෙනු දැකිය හැකියි. අලය ත්‍රිකෝණ හැඩයකින් යුක්ත වේ. මෙම අල පොතුවලින් ආවරණය වී ඇත. අලයක් අඟල් 4 සිට 12ක් පමණ දිගට වර්ධනය වේ. අලයේ අග කොටස මොළොක් ගතියකින් යුක්ත ය. අමු අල සැපීමේදී කිරි රසක් ඇත. දෙසැම්බර්, මාර්තු මාසවලදී අස්වනු නෙළාගනු ලබයි.
රාජා අල
රාජා අල තෙත් කලාපයේ බහුලව දක්නට ලැබෙන අතර, වියළි කලාපයේ ඇතැම් ප්‍රදේශවල වගා කළ හැකි වේ. රාජා අල දම් පැහැයක් ගනී. මෙය වැල් ලෙස හට ගනී. තද කොළ පාට වර්ණයෙන් යුතු පත්‍ර දැක ගත හැකියි. මෙහි පත්‍ර රවුම් හැඩයකින් යුක්ත වේ. රාජා අල ගැලවීමට අවුරුද්දක පමණ කාලයක් ගත වෙනු ලබයි. අල ගැලවීමට සුදුසු කාලය වන විට වැල මැරී යයි. රාජා අලවල යකඩ, කැල්සියම්, පොටෑසියම්, ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රෝටීන් අඩංගු වේ. මෙම අල වර්ගයේ පිෂ්ටය අධික නිසා ප්‍රධාන ආහාර වේලක් ලෙස ගැනීමට සුදුසු යි.
උඩල
උඩල අනෙක් අලවලට වඩා විශේෂ වේ. මෙහි වැලේ උඩ කොටසේ සහ පොළොව යට ද අල හට ගනී. වැලේ උඩ අල හටගන්නා නිසා උඩල ලෙස හඳුන්වයි. මෙම අල බෝල හැඩයෙන් යුක්ත වේ. උඩල අලවල විද්‍යාත්මක නාමය වන්නේ ච්ඪධඵජධපඥච ඕභතඡඪටඥපච යි. තරමක් මේරූ අල පොත්ත ඉවත්කර තම්බා ගත් විට අර්තාපල් අලවල රසට සහ පැහැයට සමාන ලක්ෂණ ඇත. පොළොව යට හැදෙන අල අවුරුද්දකට පසු පෙබරවාරි මාසයේ ගලවනු ලබයි. මෙම වැලක් සිටුවා ගැනීමෙන් වසර පුරාම අස්වනු වරින්වර නෙළා ගැනීමට හැකියි.
.කුකුළල
කුකුළල යනු කටු සහිත වැලකින් යුතු අල වැලකි. අවුරුද්ද අගදී අල ගලවනු ලබයි. මෙහි පත්‍ර විශාල වේ. කුකුළල වැල හාතාවාරිය වැල මෙන් මුළුමනින්ම කටු සහිතයි. මෙම අල වැලෙහි අල කිහිපයක් වර්ධනය වෙයි. මෙම අල රවුම් හැඩයෙන් හා ලංකා සිතියමේ හැඩයෙන් යුක්ත වේ. කුකුළල බෝකර ගැනීමේදී අලයේ ඉඟටිය කොටස හා කුඩා අල යොදා ගනියි. මෙම අල ඉතා පෝෂ්‍යදායක වේ. කුකුළල පැණි රසට හුරු ය. එළවළුවක් ලෙස තම්බා ආහාරයට ගැනීමට හැකි වේ. කුකුළල තම්බනු ලබන්නේ ලෙල්ල පිටින්ම ය. මෙය ආහාරයට ගන්නා විටදී අතින් ලෙලි ගැලවිය යුතු වේ.
චතුරි ලක්ෂිකා