වර්තමානයේ දරුවෝ තාක්ෂණයට බෙහෙවින්ම නැඹුරුතාවක් දක්වති. දරුවකුගේ අනාගතය හැඩ ගැස්වීමට තාක්ෂණික දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. ලෝකයත් සමඟ ගෝලීයව බද්ධ වීමට තාක්ෂණය අවශ්‍ය වුවත්, එය පරිපූර්ණ මිනිසකු බිහිවීමට තරම් ප්‍රමාණවත් නොවේ. මේ නිසා සාහිත්‍යය, ක්‍රීඩාව, සෞන්දර්ය ඒකාබද්ධ වූ සමබර අධ්‍යාපනයක් දරුවකුට අවශ්‍ය වේ. මේ වෙනුවෙන් සෑම වැඩිහිටියකුම කැප වී සේවය කළ යුතුයි. මෙහිදී ගුරුවරුන්ට සහ මව්පියන්ට පැවරෙන කාර්යය විශේෂ වේ. කොරෝනා සමය අධ්‍යාපනය ගමන් කළ රටාව වෙනස් කිරීමට බෙහෙවින්ම හේතු වූයේ ය. බොහෝ දරුවන්ට මෙය දරා ගැනීමට නොහැකි විය. එහෙත් ඒ සඳහා දරුවන් හුරු කිරීමට මව්පියන් මෙන්ම ගුරුවරුන් ද ප්‍රබල උත්සාහයක යෙදුණි. කාලයත් සමඟ තත්ත්වය සාමාන්‍යකරණය වූයේ ය. එහෙත් බොහෝ දරුවෝ පෙර හුරු වූ පරිදිම සිය කාර්යයන්වල යෙදුණහ. මේ තත්ත්වය වෙනස්කර මානව හිතවාදී දරුවකු බිහි කළ යුතු කාලය එළඹ තිබේ. ඒ වෙනුවෙන් සියල්ල වෙනස් විය යුතුයි. වත්මන් දරු පරපුරේ කාර්ය භාරය පිළිබඳ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා සමඟ පැවැති සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසුණි.
”ඩී. එස්. සේනානායක විද්‍යාලය ආරම්භ වුණේ 1967 පෙබරවාරි 10දිනයි. ඒ කාලයේ අපේ පාසල තිබෙන ප්‍රදේශයට කියන්නේ කූඹි කැලේ කියලයි. එහි තමයි මෙහි මුල්ම ගොඩනැඟිල්ල හදලා තිබෙන්නේ. ගුරුවරු අට දෙනකුගෙන් සහ ළමයින් 1967 දෙනකුගෙන් තමයි පාසල ආරම්භ වෙලා තිබෙන්නේ. මේ වන විට අපේ පාසලේ දරුවන් හයදාහක් පමණ ඉන්නවා. ඒ වගේම ගුරුවරු දෙසිය හැත්තෑවක් ඉන්නවා. විවිධ නිපුණතා ඇති විශාල දරුවන් පිරිසක් අපේ පාසලේ අධ්‍යාපනය ලබනවා. අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා, සෞන්දර්ය වැනි විෂයයන් කෙරෙහි කැමැත්තක් දක්වන දරුවන් පිරිසක් ඉන්නවා. පාසලේ ප්‍රාථමික අංශයක් වෙනම තිබෙනවා. හය ශ්‍රේණියේ සිට අ. පො. ස උසස් පෙළ දක්වා දරුවන් අධ්‍යාපනය ලබනවා. වාණිජ, විද්‍යා, ගණිතය, කලා සහ තාක්ෂණවේදය යන සෑම අංශයකින්ම දරුවන් උසස් පෙළ හදාරනවා.”
”විවිධ දක්ෂතා ඇති දරුවන් දෙස් විදෙස් වශයෙන් අපේ පාසලට ජයග්‍රහණ හිමිකර දී තිබෙනවා. සාමාන්‍ය අධ්‍යාපන රටාව වෙනස් වූයේ කොරෝනා කාලයේදීයි. ඒ කාලයේදී පන්ති කාමරයට කොටු වූ දරුවාට අන්තර්ජාල ක්‍රියාකාරීත්වය සහ සූම් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය හදාරන දරුවකු බවට පරිවර්තනය වීමට සිදු වුණා. මේ ක්‍රමවේදයට අකැමැත්තෙන් වුවත් ගුරුවරු යොමු වුණා. ඒ කාලපරිච්ඡේද ගණන අනුව විෂය නිර්දේශය ආවරණය කිරීමට තිබූ අවශ්‍යතාව නිසායි. එය නගරබදව ඇති අපේ පාසල වැනි පාසල්වල සාර්ථක කරන්න හැකි වුණත්, ග්‍රාමීය පාසල්වල එම ක්‍රමය සාර්ථක කරගන්න තිබූ ඉඩ ප්‍රස්තාව අඩුයි. මේ නිසා රටක් ලෙස සලකා බැලුවොත් බොහෝ දරුවන් සහ ගුරුවරුන් අපහසුතාවට පත් වුණා. එහෙත් රටේ තිබුණු වාතාවරණය නිසා එයට වෙන විකල්පයක් අපට තිබුණේ නැහැ. මේ කාලයේදී නගරබද දරුවන් වුවත්, තාක්ෂණය නිසා දැඩි පීඩාවකට, අවිවේකීබවකට පත් වී තිබෙන අයුරු අප දැක්කා. ඒ වගේම දරුවන් තාක්ෂණය නිසාම වෙහෙසට පත්වෙලා තිබුණා. සාහිත්‍යමය වින්දනයක් ලැබීමට මේ කාලයේදී දරුවන් යොමු වුණේ නැති තරම්. පාසල්වල විෂය බාහිර අධ්‍යාපන රටාව මොහොතකට නැවතුණා.”
”බොහෝ වෙලාවට ගැහැනු දරුවන් එක රාමුවකට සීමා කරලා තියන්න පුළුවන් වුණත්, පිරිමි දරුවන් එසේ රාමු ගතකර අධ්‍යාපනය ලබාදීම අපහසුයි කියලායි මම හිතන්නේ. මේ නිසා බොහෝ පිරිමි දරුවන් පීඩාවට පත් වුණා. මේ නිසාම පිරිමි දරුවන් උසස් අධ්‍යාපනයට යොමුවන ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් අඩු වුණා. ඒකට හේතුව පිරිමි දරුවන් එක ස්ථානයකට සීමා වී වැඩ කිරීමට අකමැති වීමයි. ඔවුන් සෑම විටම කැමැති විවිධාංගීකරණය වෙමින් වැඩ කරන්නයි. ගැහැනු ළමයින්ට වඩා නොයෙක් අත්හදා බැලීම් කිරීමට පිරිමි ළමයින් කැමැතියි. ඒක සාමාන්‍ය දෙයක්. අපේ පාසලෙ දරුවොත් එහෙම කැමැතියි. ඒක අලුත් දෙයක් නෙවෙයි.”
” සියලු අභියෝග ජයගෙන ඉදිරියට යෑමට සුදුසු ලෙස සැකසුණු අරමුණක් අපේ පාසලේ දරුවන්ට තිබෙනවා. ඒක අපේ පාසලේ දැක්මෙත් තිබෙනවා. ඒ, සියලු අභියෝගයන්ට මුහුණ දිය හැකි දැනුම, ආකල්ප, කුසලතා හා පුරුදු යන නිපුණතා පූර්ණ අභිමානවත් දරු පරපුරක් බිහි කිරීමයි. මෙහි මෙහෙවර වන්නේ සැමට පෙර රට ගැන සිතන උසස් සමාජ මෙහෙවරක යෙදිය හැකි ගුණ- නැණ පිරි විනයගරුක වැඩදායි සිසු කැලක් සමාජයට දායක කිරීම සඳහා ගුරු- සිසු, ආදි සිසු හා බාහිර ආයතන සමඟ එක්ව සහයෝගිව කටයුතු කිරීමයි. මේ සියල්ලට අනුගතව ඩී. එස්. සේනානායක විද්‍යාලය ඉදිරියට ගෙන යෑම අපගේ පරමාර්ථයයි.”
ඔවුන්ගේ පරමාර්ථ ඒ අයුරින්ම ඉටු වේවා යැයි අපි මිහිර වෙතින් සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප – පාසලේ ඡායාරූප සංගමය