වර්තමානයේ බොහෝ දරුවෝ විවිධ ක්‍රියාකාරකම්වලට දක්ෂතා දක්වති. ක්‍රීඩාව, සෞන්දර්ය වැනි ක්ෂේත්‍ර කෙරෙහි මෙන්ම අධ්‍යාපනයේ විවිධ අංශවලින් ද දස්කම් දක්වන්නෝ බොහෝ වෙති. එවැනි පුංචි හපනකු පිළිබඳ ඔබට කියන්නයි මේ උත්සාහය. ඔහු තංගල්ල ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදූෂ දිල්තරු ය. ඉතින් දුවේ පුතේ, අද අපි ඔහුගේ කතාව අසමු නේද?
‘‘ මම පොත් කියවන්න වගේම චිත්‍ර අඳීන්නත් ගොඩක් කැමැතියි. ඉස්කෝලෙදි කියලා දෙන හැම පාඩමක්ම ගෙදර ඇවිත් උනන්දුවෙන් නැවත නැවතත් බලනවා. ඒ වගේම මම දකින සෑම දෙයක්ම මට හැකි අයුරින් චිත්‍රයට නඟනවා. ඒක මගේ විනෝදාංශයක්. අධ්‍යාපනයේදී අපට ලැබෙන දෙයක් විනෝදාංශක් ලෙස යොදා ගැනීමෙන් අපට ලැබෙන්නේ ලොකු සතුටක්. මම ලස්සනට අත් අකුරු ලියන්නත් හරිම ආසයි. අපි උනන්දුවෙන් අත් අකුරු ලියන්න හුරු වුණොත් ඕනෑම කෙනකුට ලස්සන අත් අකුරු ලියන්න හැකි වෙනවා. මම පාසලේ උගන්වන දේ පිළිබඳ උනන්දුවෙන් නැවත නැවතත් ගෙදර ඇවිත් කියවා ගත්තා. ඒ වගේම ඒ පාඩම් නැවතත් ලියන්න හුරු වුණා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස මට ලස්සනට අත් අකුරු ලියන්න පුළුවන් වුණා. අපට ඕනෙකමක් තිබෙනවා නම්, ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ. මට තිබුණු උනන්දුව නිසා මගේ අත් අකුරු ලස්සන කරගන්න මට හැකිවුණා. ඒ නිසා මට මගේ පාසල වෙනුවෙන් තරගවලට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් ලැබුණා.
ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ ලස්සන අත් අකුරු තේරීමේ තරගයට මම පසුගියදා ඉදිරිපත් වුණා. කොට්ඨාස තරගයෙන් මට දෙවැනි ස්ථානය ලැබුණා. කලාප තරගයෙන් මට ප්‍රථම ස්ථානය ලැබුණා. දකුණු පළාත් තරගයෙනුත් මට දෙවැනි ස්ථානය ලැබුණා. ඒ නිසා මට සමස්ත ලංකා තරගයට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා. සමස්ත ලංකා තරගය පැවැත්වූයේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේයි. එහිදී මට ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ අත් අකුරුවලින් ප්‍රථම ස්ථානය ලැබුණා. ඒක මට ලොකු සතුටක්. මේ පිළිබඳ මම මගේ අම්මාටත්, තාත්තාටත්, මගේ පන්ති භාර ගුරුතුමිය නිෂාදි මිස්ටත්, අපේ පාසලේ විදුහල්පතිතුමාටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.
කුඩා කාලයේ සිට දරුවකු නිවැරැදි මාර්ගයේ පුහුණු කිරීම ඉතා වැදගත් වන්නේ ය. ඒ අනුව සෑම දරුවකුම පුහුණු කරන්නේ නම් මල් වැනි දරුවන්ගේ සුවඳ තවත් වැඩි කළ හැකියි.
රූපාන්ති බුලත්සිංහල