Home » Blog » පුංචි ලේඛකයෝ

පුංචි ලේඛකයෝ

by thanushika
0 comments

Night Sky

Stars are bright lights,
Decorating the canvas of endless night.
The moon drifts high, with a glint glow,
Guiding dreams where shadows flow.

සෝබමාන රෑ අහස

තරු දීප්තිමත් ආලෝකයක් විහිදයි,
නිමක් නැති රාත්‍රියේ පිටුව අලංකාර කරයි.
සඳ දිලිසෙන දීප්තියෙන් ඉහළට පාවී යයි,
සෙවණැලි ගලා යන සිහින මඟ පෙන්වයි.

සෑම දවසකම රාත්‍රිය උදා වෙයි. රාත්‍රියේ දී තරු බබළයි. එමෙන්ම සඳ ද දීප්තිමත්ව බබළයි. රාත්‍රිය අඳුරෙන් වැසී ගිය ද භීතියක් නැත. රාත්‍රිය ඉතා සුන්දරයි. රාත්‍රියේදී ආහාර සොයන සතුන් නිශාචර යනුවෙන් හඳුන්වයි. එම සතුන්ට රාත්‍රිය නැතුවම බැරි ය. රැහැයියන්ගේ ශබ්දය ද රාත්‍රිය තවත් සුන්දර කරයි. මෙම කවියේ රාත්‍රියේ සුන්දරත්වය මෙන්ම තරුවල සහ සඳෙහි ඇති ආලෝකය ද මනාව පාඨකයාට පැහැදිලි කරයි.

මෙම කවිය lyrical poem  යන ගණයට අයත් වේ. එනම් මෙම කවියෙන් රාත්‍රිය ගැන ඇති හැඟීම පාඨකයාට ඉස්මතුකර පෙන්වයි. මෙම කවිය මා විසින් රචිත කවියක් වන අතර, මෙහිදී පරිසරයේ සුන්දරත්වය මනාව පාඨකයාට ගෙනහැර දක්වයි.

මෙම කවියෙහි කාව්‍යාලංකාර මනාව යොදා ඇත. එනම් rhyming couplets සහ Metaphor වේ.

Rhyming couplets  යනු විරිත නැත්නම් අනුප්‍රාසයයි. එනම් පද්‍ය එකිනෙකට සම්බන්ධ කරන තාලය යි. Bright-light-night හා flow-glow යන පදවල විරිත මනාව යොදා ඇත. මෙය rhyming couplets නම් වේ.

Metaphor යනු like හෝ as  යොදන්නේ නැතුව යමක් යමකට සමාන කිරීමයි. මෙම කවියෙහි තාරකාවන් ආලෝකයට සමානකර ඇති අතර, රාත්‍රී අහස චිත්‍ර අඳීන පිටුවකට සමානකර ඇත. මෙය metaphor නම් වේ.

මා විසින් රචනා කරන ලද මෙම කවිය රාත්‍රියේ සුන්දරත්වය විද්‍යමාන කරන අපූරු කවියකි.

ආකීෆ් අහමඩ්

———————–

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි”

“මිනිසා කියවීමෙන් සම්පූර්ණ වේ” යන සුප්‍රකට මෙම වැකිය ලොකු කුඩා කා අතරත් ප්‍රචලිත වූවකි. දිනෙන් දින ඇති වන තාක්ෂණික දියුණුව පිටුපස හඹා යන මිනිසාට පොත් කියවීමට කාල වේලාවක් නැති අතර, ඔවුහු තම අරමුණු සාක්ෂාත් කරගැනීමට දිව යති. කෑමට බීමට තරම්වත් විවේකයක් නැති ඔවුනට පොතක් කියවීමට හෝ එය රස විඳීමට හෝ අවස්ථාවක් වෙන් කරගැනීමට හැකියාවක් ඇත්දැයි සිතෙහි විශාල වූ ප්‍රශ්නාර්ථයක් ඇති කරවයි.

යම් පුද්ගලයකු කියවීමට නැඹුරු වන්නේ කුඩා අවධියේදී ය. ඒ සඳහා හොඳම තෝතැන්න පුස්තකාලයයි. පුස්තකාලයක කියැවීමට නම් බොහෝ දෑ ඇත. නවකතා, කෙටිකතා, ප්‍රබන්ධ කතා, පැරැණි සාහිත්‍යය ග්‍රන්ථ, බණ කතා,වාර්තා, ළමා කතන්දර, ළමා ප්‍රබන්ධ, ඉතිහාසාත්මක ග්‍රන්ථ එයින් එක්තරා කාණ්ඩයකි. තව ඕනෑ තරම් පොත් වර්ග තිබේ.

පුස්තකාලයක හෝ පොත් ගුලක ඇති පොත්වල රසය, එහි ඇති සුවඳ, දන්නේ පොත්වලට ආදරය කරන අය පමණක් ය. පොත් කියවන්නාට ඇති ප්‍රතිලාභවලින් බිඳක් දැක්වුවහොත් පහත පරිදි ය. හරබර වූ වදන් මනසෙහි නැඟෙන්නට, විද්වත් ලෙස යම් වූ ස්ථානයක නොබියව කතා කිරීමට හෝ දේශනා පැවැත්වීමට හැකිවීම, පරිසරයට, සතා සිව්පාවන්ට අසීමිතව ආදරය කිරීම හා රැක ගැනීම, විවිධ අභියෝගවලට නොබියව මුහුණ දීමට ඇති හැකියාව ආදිය දැක්විය හැකි ය.

වත්මන් පරපුර වර්තමානය වනවිට කියවීමෙන් ඉවත් වී සිටින බව බොහෝ දෙනා විවිධ චෝදනා එල්ල කරති. නව තාක්ෂණික ලෝකයේ දොරගුළු විවර වීමත් සමඟ දරුවන් තම විඩාව මඟහරවා ගැනීමටත්, වින්දනයක් ලබා ගැනීමටත් රූපවාහිනිය, පරිගණකය, ජංගම දුරකතන ආදියට යොමු වී සිටීම දැකිය හැකි ය. එබැවින් ඔවුන් අතරින් කියවීම නම් වූ සාක්ෂරතාව දුරස් වී යන්නේ නොදැනීමයි.

දරුවකුට යහපත් ආකල්ප, ගුණ ධර්ම, යහපත් පුරුදු ගොඩනැංවීමේදී පොත්පත්වල ඇති කරුණු මඟින් සුවිශාල කර්තව්‍යයක් සිදු කෙරෙන්නේ සිතා ගත නොහැකි අන්දමිනි. ලෝකය පිළිබඳ, මිනිසුන් පිළිබඳ, සමාජය පිළිබඳ නිසි දැනුමක් අවබෝධයක් ලබාගත හැකි වන්නේ කියවීම මඟිනි. වරෙක මාර්ටින් වික්‍රමසිංහ සූරීන් පවසා ඇත්තේ, “පොත් කියවන පුද්ගලයා වසර 1000ක් පමණ අත්දැකීම් තම ජීවිතයට ළගා කරගනියි” යනුවෙනි.

වර්තමාන පාසල් පද්ධතිය ගත් කල දූ දරුවන්ගේ කියවීම නම් වූ සාක්ෂරතාව වර්ධනය කිරීමට වෙනම වූ කාලච්ඡේදයක් වෙන්කර පොත් කියවීමට මඟ හසර පෙන්වා එයින් දූ දරුවන්ගේ රසවින්දනය මෙන්ම ජීවිතයට අවශ්‍ය මහඟු උපදෙස් මාලාවක් ලබා දීමට දරා ඇති උත්සාහය අගනේ ය. දුෂ්කර පළාත්වල අධ්‍යාපනය ලබන

දූ දරුවන්ගේ කියවීම වැඩි දියුණු කිරීමට විවිධ අනුග්‍රාහකයන්ගේ නොමසුරු දායකත්වයෙන් පුස්තකාල ඉදිකර දෙන ආකාරය මාධ්‍ය මඟින් දැකිය හැකි ය.

මිනිසාට දැනුම බෙදා හරින අතීතයේ සිට වර්තමානය දක්වා පැමිණෙන මාධ්‍යයක් ලෙස පුවත්පත දැක්විය හැකි ය. පුවත්පත වූ කලී දිනපතා මිනිසාට තොරතුරු, නිවේදන ලබා දෙන්නකි. තාක්ෂණික මෙවලම් සමඟ ලෝකය පැවතියත් වර්තමානය දක්වා ම පැවත එන පුවත්පත මඟින් අපිට වටහා ගතහැක්කේ මෙය කියවා දැනුමත්, තොරතුරුත් මිනිසා ලබා ගන්නා සේම කියවීම ද අඛණ්ඩව සිදු කරන බවයි.

මේ අනුව, මිනිසා අඛණ්ඩව කියවීම සිදු කළ යුතු බවත්, වර්තමාන පරපුරට කියවීම නම් වූ සාක්ෂරතාව ගොඩනඟා ගැනීමට උපකාර කළ යුතු බවත් පැහැදිලි වේ. අනාගත ලෝකයේ දොරගුළු විවර කිරීමට සූදානමින් සිටින දරුවන්ව පොත පතින් ලැබූ දැනුමින් පිරිපුන්, ස්වභාවධර්මයට ආදරය කරන පිරිසක් බවට පත් කළ යුතුයි.

ගඟුලි උමන්දා

12 ශ්‍රේණිය

මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලය

————————–

ගමරාලගේ හේන

එකමත් එක කාලෙක ගමක ගමරාල කෙනකුයි ගම හාමිනේ කෙනෙකුයි ජීවත් වුණා. එයාලාට තිබුණා හොඳ සරුසාර හේනක්. ඒ හේනේ එළවළු, පලතුරු හොඳට වැවිලා තිබුණා. එහි කොමඩු වැලක් තිබුණා. එහි ලොකු කොමඩු ගෙඩියක් හැදිලා තිබුණා. දැන් ගම හාමිනේටයි ගමරාලටයි හරි සතුටුයි. ඉතින් මෙයාලා කොමඩු ගෙඩිය ගෙදර ගෙනල්ලා දෙකට කැපුවා. හරි පුදුමයි. කොමඩු ගෙඩිය ඇතුළේ මැණිකක් තිබුණා. ඒ මැණිකෙන් සුරංගනාවියක් මතුවුණා. සුරංගනාවිය නිදහස් කළාට ස්තූති කළා. ගම හාමිනේටයි ගමරාලටයි වරයක් ලබා දුන්නා. හැබැයි ඒ වරයේ පැවැත්ම ටික කාලයකට කියලා කිව්වා. ඒ නිසා මෙයාලට ඉල්ලන්න වුණේ ටික කලක් පැවැත්මක් තියෙන දෙයක්. ඉතින් ගම හාමිනේයි ගමරාලයි කල්පනා කරලා බලලා ඉල්ලුවේ එයාලාගේ හේන සශ්‍රීක වෙන්න කියලා . එයාලා ඒ වරය ඉල්ලන්න හේතුව ඒක තමයි. මේ නිසා හේනේ පැවැත්ම ටික කාලයක් වුණා. ඉතින් හේන සරුසාර වුණ නිසා මේ දෙන්නා ගොඩක් පොහොසත් වෙලා සතුටින් ජීවත් වුණා.

දුන්‍යා විජේපාල

5 ශ්‍රේණිය

මලියදේව විද්‍යාලය,

කුරුණෑගල

 

———————

දිය ඇල්ලේ කතාව

සුදෝ සුදු වලා ගැබකින් මතු වෙනා
දුහුල් සළු පිළියෙන් සැරසුණා
වන දෙවඟනකගේ සළුවමෙන් අගනා
ඇල්ලක් මතු වී පහළට ඇද හැලෙනා
බළන්ගොඩ සිට බෙරගල හරහා
වැල්ලවායට දිව යන මඟ මඟ බලමින්

කඩිසර ගමනයි
ගස්වැල් වටා එතෙයි
හරි සුන්දර කවියක් ලෙස
පහළට ඇද හැලෙනා

කවිඳු දිලීප විතානගේ

13 ශ්‍රේණිය

කෑ/ දෙහි/ තල්දුව බෞද්ධ

ජාතික පාසල

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department