ඔයාලා දන්නවාද රුසියානු ජාතික මහා ගත්කරුවකු වන මැක්සිම් ගෝර්කි දරුවන් වෙනුවෙන් සුරංගනා කතා කිහිපයකුත් රචනා කර තිබෙන බව? අද පුංචි ඔයාලාට ඉදිරිපත් කරන්නේ ගෝර්කි විසින් ලියන ලද ‘ද ලිට්ල් ස්පැරෝ’ නමැති සුරංගනා කතාවයි .
මෙහි සිතුවම් ඇඳ තිබෙන්නේ සෝවියට් රුසියානු චිත්‍ර ශිල්පී Yevgeny Charushin විසිනුයි.
එකමත් එක කාලයක දී පුංචි ගේ කුරුල්ලෙක් සිටියා. එයාගේ නම පූදික්. ගබඩා නිවාසයක ජනේලයක් උඩ තමයි පූදික්ගේ නිවෙස පිහිටලා තිබුණේ. පූදික්ගේ නිවෙස වූ උණුසුම් කුරුලු කූඩුව සාදලා තිබුණේ හණ කැටි , පෙඳ පාසි සහ තවත් සිනිඳු ද්‍රව්‍යවලිනුයි .
තවම පුංචි කුරුල්ලෙක් නිසා පූදික් ඒ වනවිට එක වතාවක්වත් ඉගිළිලා තිබුණේ නැහැ. හැබැයි එයා කූඩුවේ ඉඳන් එයාගෙ පුංචි අත්තටු සොලවලා බැලුවා. කූඩුවෙන් එළියට එයාගේ පුංචි හිසත් දාලා බැලුවා. පූදික් හරිම නොඉවසිල්ලෙන් සිටියේ අවට ලෝකය මොනවගේ ද කියලා දැනගන්නයි. ඒක හොඳ ලෝකයක් ද කියලත් පූදික් කල්පනා කළා.
“ට්වීට්! ට්වීට් ! පුතේ ඔයා මොකක් කරන්නද හදන්නේ?”
පූදික් තටු සොලවමින් කූඩුවෙන් පිටතට හිස දමමින් සිටිනවා දැක පූදික්ගේ අම්මා එනම් ගේ කිරිල්ලිය ඇසුවා.
“ට්වීට්! ට්වීට්! පල්ලෙහා හරිම කළුවරයි අම්මා”
පූදික් පිළිතුරු දුන්නා.
ටික වේලාවකින් පූදික්ගෙ තාත්තා ඒ කියන්නේ ගේ කුරුල්ලා පූදික්ට කෑමට කෘමිසතුන් අරගෙන ආවා. ඒවා පූදික්ට දීලා තාත්තා විහිළුකතා කියන්න පටන් ගත්තා.
පූදික් තාත්තා ගෙනාව කෘමි සතුන් ගිල දැම්මා. ඊට පස්සේ කූඩුව අතරින් හිස පිටතට දාලා වටපිට බලන්න පටන් ගත්තා.
“පුතේ! පූදික් පුතේ බලාගෙන ඔයා වැටේවි පහළට” අම්මා පූදික්ට කිව්වා.
“මං එහෙම වැටෙන්නේ නැහැ අම්මා” පූදික් පිළිතුරු දුන්නා.
“පුතේ පහළ ඉන්නවා හරිම නපුරු බළල් රාල කෙනෙක්. ඔයා බිමට වැටුණොත් ඒ බළලා ඔයාව ගිල දමාවි” පූදික්ට එසේ පැවසූ තාත්තා ආපසු පියාඹලා ගියා කෘමි සතුන් දඩයම් කරගෙන එන්නට. මේ විදියට දවස් ගෙවී ගියා. ඒත් තවමත් පූදික්ගේ අත්තටු ඒ තරම් වැඩිලා නැහැ. එක දවසක් මහ හයියෙන් සුළං හැමුවා.
“ට්වීට්! ට්වීට්! ඒ මොකක්ද අම්මා?” පූදික් පුදුමයෙන් ඇසුවා.
“ඒ තමයි සුළඟ” අම්මා පූදික්ට කියාදුන්නා.
“ඒ සුළඟට ඔයාව කූඩුවෙන් බිමට ඇදවැටෙන්නත් පුළුවන් . එතකොට බළල් රාලට ඔයාව මුණගැසෙන්නත් පුළුවන්. ඒ නිසා පුතේ ඔයා සුළං හමනකොට පරෙස්සමට ඉන්න ඕනෑ”
අම්මා පූදික්ට කියාදුන්නා.
පූදික් ඒ විස්තරයට කැමැති වුණේ නැහැ.
එයා මෙහෙම ඇසුවා.
“ඇයි සුළඟට ගස් පැද්දෙන්නේ? අපි ගස් පැද්දෙන එක නවත්වමු. එතකොට සුළඟත් ඈතට යන්න යාවි”
ගේ කුරුලු අම්මා පූදික්ට විවිධ දේවල් ක්‍රියාකරන හැටි කියාදෙන්න උත්සාහ කළා. ඒත් පූදික් ඒ එකක්වත් පිළිගත්තේ නැහැ. ඒවා විශ්වාස කළෙත් නැහැ. ඒ හැම එකකටම පූදික්ට එයාගෙම අදහස් සහ පිළිතුරු තිබුණා.
ඒ වෙලාවෙම එතැන පහළින් මිනිසෙක් ඇවිදගෙන ගියා.
ඔහු ඇවිදින විට අත් දෙක දෙපසට පැද්දුණා.
“අර බළල් රාල මේ යන කෙනාගේ අත් තටුත් ගලවලා දමාවි. එයාගෙ ඇටකටු විතරක් ඉතුරු කරාවි” ඒ දෙස බලා සිටිය පූදික් පැවසුවා.
“පුතේ ඒ මනුස්සයෙක්. මිනිස්සුන්ට අත්තටු නැහැ අපට වගේ”
අම්මා කියාදුන්නා.
“ඒ මොකද?”
පූදික් පුදුමයෙන් ඇසුවා.
“ඒ තමයි එයාලගේ හැටි. එයාලාට තියෙන කකුල් දෙකෙන් එයාලා බිම දිගේ ඇවිදගෙන යනවා” අම්මා පූදික්ට පැහැදිලි කරලා දුන්නා.
“ඒත් ඇයි එයාලාට අත්තටු නැත්තේ?” පූදික් ආයෙමත් ඇසුවා.
“ඉතින් පුතා එයාලාට අත්තටු තිබුණා නම් එයාලා ඉගිළිලා ඇවිත් අපි පස්සේ එළවලා අපව අල්ලා ගනීවි. හරියටම ඔයාගේ තාත්තා කෘමිසතුන් අල්ලා ගන්නවා වගේ”
“ඕහ් ඒකත් එහෙමද? ඒත් මං නම් හිතන්නේ හැමෝටම අත්තටු තියෙන්න ඕනෑ කියලයි. බිම දිගේ කකුල්වලින් ඇවිදගෙන යනවට වැඩිය කොයිතරම් විනෝදයි ද අත්තටු වලින් ඉගිළිලා උඩින් යන එක. මං ලොකු වෙනකොට මං කැමැතියි මිනිස්සු හැමෝටම පියාඹන්න පුළුවන් වෙලා තිබුණොත්”
පූදික් කියාගෙන ගියා.
ඉතින් ඔය විදියට පූදික් අම්මා කියන ඒවා කිසිම දෙයක් විශ්වාස නොකර එයාගෙම අදහස් ඉදිරිපත් කළා. ලොකු අය කියන ඒවා තේරුම් ගන්න තරම් පූදික් තවම පුංචි වැඩියිනේ.
ඉතින් පූදික් හරිම නිර්භීත විදියට කූඩුව අයිනටම ගිහිල්ලා මේ විදියට සින්දුවක් කියන්න පටන් ගත්තා.
“අත්තටු නැති මිනිස්සුනේ
ඔබේ පාද පලක් නැතේ
නුඹලා හරි ලොකු වුණාට
නුඹලා හරි උස වුණාට
පුංචි කෘමියො ඇවිදිල්ලා
නුඹලාවත් සපනවානේ
මේ බලන්න මගේ දිහා
මං නම් හරි පුංචියිනේ
ඒත් මමත් බය නෑනේ
කෘමිසත්තුත් මට බයනේ”
මේ විදියට දඟලලා සින්දුව කියද්දී පූදික් කූඩුවෙන් බිමට වැටුණා. පූදික්ගේ අම්මත් ඒ එක්කම ඉගිළිලා බිමට ආවා.
එතැන අර නපුරු බළල් රාල සිටියා. ඒ බළලාගේ ඇස් කොළ පාටින් දිලිසුණා.
පූදික් හොඳටම බය වුණා. පිහාටු පුම්බාගත් පූදික් වෙව්ලන්න පටන් ගත්තා. පුදික්ගේ අළු පාට පුංචි කකුල් දෙකත් වෙව්ලුවා.
“ආ ඔයාව දැකගන්න ලැබුණු එක සතුටක්” නපුරු විදියට බලමින් බළල් රාල කිව්වා.
එතකොටම පූදික්ගේ අම්මා පූදික්ව පැත්තකට තල්ලු කරලා බළල් රාලගෙ ඉස්සරහට ආවා. අත්තටු පුම්බාගත් අම්මා නිර්භීතව බළල් රාලගේ කොළ පාට ඇස් දිහාට තමන්ගේ හොට දිගු කළා.
“ඉක්මන් කරන්න පූදික්! ඉක්මනට ජනේලෙ උඩට ඉගිළිලා යන්න. ඔව් ඉක්මනට”
අම්මා කෑ ගහලා කිව්වා.
හොඳටම බයවුණු පූදික් ඉබේටම උඩට ඉගිළුණා. පූදික් තමන්ගේ අත්තටු සලමින් ඉහළටම ඉගිළුණා. දැන් ඔන්න පූදික් සුරක්ෂිතයි. එයා දැන් ජනේලය උඩ. ඒත් එක්කම අම්මත් පූදික් ළඟට ඉගිළිලා ආවා. අම්මාට කරදරයක් නම් වෙලා නැහැ. ඒත් එයාගේ වලිග පිහාටුව නම් තිබුණේ නැහැ. අම්මා එයාගෙ හොටෙන් පූදික්ගේ හිස පිටුපසට අනිමින් මෙසේ පැවසුවා.
“පූදික් දැන් තේරුණා නේද?”
“මොකක්ද අම්මා?”
පූදික් ඇසුවා.
“ඔයාට හැමදෙයක්ම එකපාර තේරුම් ගන්න බැහැ කියලා තේරුණා නේද?. ඔයා අද බය වුණා නේද?” අම්මා ඇසුවා.
“ඒක ඇත්ත. මං අද නම් බය වුණා තමයි” පූදික් පිළිතුරු දුන්නා.
මේ අතරේ දී බළල් රාල පහළට වෙලා ගේ කුරුලු අම්මාගේ වලිග පිහාටුව දෙස බලමින් මෙහෙම සිතුවා.
“හ්ම්! හරිම අපූරු ගේ කුරුලු පැටියෙක්”
අම්මගේ නිර්භීතකම නිසා පූදික් බේරුණා. අම්මගේ වලිග පිහාටුව නැතිවුණ එක විතරයි වුණ එකම පාඩුව.
මේ කතන්දරය කිය වූ පුංචි ඔයාලා නම් පූදික් වගේ අම්මා කියන එක අහන්නේ නැතිව දඟවැඩ කරන්න යන්නේ නැහැ නේද? මං හිතනවා එහෙම.
මැක්සිම් ගෝර්කි
අලෙක්සේයි මක්සිමොවිච් පෙෂ්කොව් හෙවත් මැක්සිම් ගෝර්කි උපන්නේ 1868 මාර්තු 28 දින රුසියාවේ නිෂ්නි නොව්ගොරොද්හිදී ය. ළමා වියේදී බොහෝ දුෂ්කරතා මැද ජිවිතය ගෙවද්දී පවා ඔහු පොත් කියවූයේ ය. ඔහු පොත් කියවීමට දැක්වූ රුචිකත්වය සහ පොත් නිසා ජීවිතයට ලැබූ පන්නරය ‘පොතයි මමයි’ කෘතිය තුළ දැක්වේ. තරුණ වියේදී නවකතා , කෙටිකතා සහ නාට්‍ය රචනා කළ ඔහු පස් වතාවක්ම නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා ද නිර්දේශ විය. ඔහු ලියූ නවකතා අතුරින් ලොව ප්‍රකටම වූ නවකතාව වන්නේ අම්මා නවකතාවයි. ෆොමා ගොර්දෙයෙව් නවකතාව ද ඔහුගේ ප්‍රකට නවකතාවකි. ඔහුගේ කෙටිකතා කෘති අතර ඉසර්ගෙයි මැහැල්ල, මකාර් චුද්ර ප්රමුඛ වේ. ඔහුගේ ස්වයං චරිතාපදාන කෘති ත්‍රිත්වය වන ළමා විය, මිනිසුන් අතර, මගේ සරසවි යන කෘති ද පාඨක ප්‍රසාදය ඉහළින්ම දිනාගෙන තිබේ. ගෝර්කි 1936 ජූනි 18 දින මිය ගියත් ඔහුගේ නාමය සාහිත්‍යය ලෝකය තුළ සදා අමරණීය ය.
හර්ෂණී ගමගේ