Home » Blog » සිරි සුමන කවටයා තැනූ අපූරු පුදබිම

සිරි සුමන කවටයා තැනූ අපූරු පුදබිම

කවටයාමුණේ රාජමහා විහාරස්ථානය

by thanushika
0 comments

ආදරණීය දුවේ පුතේ, අද දවසේ උරුමයක වගතුගවලින් ඓතිහාසික වටිනාකමක් ඇති මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි කවටයාමුණය රජමහා විහාරස්ථානය පිළිබඳ තොරතුරු සොයා බලමු.

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම විහාරස්ථානය මාතලේ නගරයේ සිට උතුරු දෙසට වන්නට පිහිටා තිබේ. මාතලේ නගරයේ සිට කිලෝමීටර් නවයක් පමණ ගිය පසු හමුවන මාතලේ – දඹුල්ල ප්‍රධාන මාර්ගයටත් මාතලේ – ගල්ලේවෙල මාර්ගයටත් අතර මෙම ඓතිහාසික විහාරස්ථානය පිහිටා තිබේ. බුද්ධ වර්ෂ 655 දී සොළීන්ගේ දේශයට ගිය ගජබා රජතුමා විසින් සොළීන් දොළොස් දහසක් පමණ රැගෙන ලංකාවට නැවතත් පැමිණි අතර, ඔවුන්ගේ කොටසක් මෙම මාතලේ ප්‍රදේශය ආශ්‍රිතව පදිංචි කරවා ඇත. මෙම විහාරස්ථානයට මේ නම ලැබී ඇත්තේ එසේ පදිංචි කරන ලද පිරිස අතර සිටි කවටයා නම් යෝධයා විසින් විහාරස්ථානයේ ඉදිරිපිට ඉදිකරන ලද අමුණ පිහිටි නිසා බව ජනප්‍රවාදයේ සඳහන් වේ. කවටයාගේ අමුණ කවටයාමුණය ලෙස ව්‍යවහාරයට එක්වී ඇත. පළමුවන ගජබා රජුගේ කාලයේ ජීවත් වූ සිරිසුමන කවටයා විසින් මෙම ඓතිහාසික විහාරස්ථානය ඉදිකරන ලදැයි විශ්වාස කරයි. එය හුදෙක් විහාරස්ථානයක් පමණක් නොව රජවරු යුදමය අවස්ථාවලදී සේනා සංවිධානය කිරීම සඳහා යොදා ගන්නා ලද ස්ථානයක් වශයෙන් ද භාවිතකර ඇති බවට ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළිදරව් වේ. එපමණක් නොව විවිධ අවස්ථාවල මාතලේ ප්‍රදේශයට පැමිණ සේනාව එක්රැස් කරන ලද්දේ මෙම ස්ථානයේ ය.

බුද්ධ වර්ෂ 2343 වන විටත් ලඳු කැලෑවක් බවට පත්ව අතහැර දමා තිබූ මෙම විහාරස්ථානය නැවතත් සීලවංශ හිමියන්ගේ මූලිකත්වයෙන් බෞද්ධයන්හට වැඳුම් පිදුම් කිරීමට සුදුසු ආකාරයට සකස් කෙරිණි. එපමණක් නොව මුල් කාලයේ ශිල්ප ශාස්ත්‍රය උගන්වන සිප්හලක් වශයෙන් ද පැවතියේ ය.

එම කාලයේදී සීවලී මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන් කර අඩි පහළොවක් උසැති චෛත්‍යයක් ද නිර්මාණයකර ඇති අතර, දඹදිවින් බෝධීන් වහන්සේ නමක් ද වැඩමවා රෝපණය කරවන ලදි. සීවලී හිමියන්ගෙන් පසු සෝනුත්තර හිමිපාණන් වහන්සේ මෙම විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට පත් වූ අතර, විහාරයෙහි බුද්ධ ප්‍රතිමා වහන්සේ් තැන්පත් කිරීම සඳහා යාපහුවෙන් ධාතුන් වහන්සේලා වැඩම කිරීම එම හිමියන් යටතේ සිදුකර ඇත. මෙහි නීල මහා, නන්දිමිත්‍ර වැනි යෝධයන්ගේ දැවැන්ත පිළිරූ නිර්මාණයකර තිබිණි. වර්තමානය වනවිට අලංකාර විහාර මන්දිරයක් ද ඉදිවී ඇත. එසේම මෙම විහාරස්ථානයේ පවතින තවත් එක් වැදගත්කමක් වන්නේ දකුණු ආසියාවේ විශාලතම භද්‍රාසනාරූඪ බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙම ස්ථානයේ ඉදිවෙමින් පැවතීමයි. වර්තමානය වන විට මෙම විහාරස්ථානය බොහෝ බැතිමතුන්ගේ වන්දනාමානවලට බඳුන්වන විහාරස්ථානයක් වන අතර, අලංකාර පරිසරයක පිහිටීම නිසා නෙතට ප්‍රිය දසුනක් ද වී තිබේ.

 

ලක්නා නිරෝෂිමාලා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department