Home » Blog » සංචාරක කුරුල්ලෝ

සංචාරක කුරුල්ලෝ

by thanushika
0 comments

ශීත ඍතුව අතර කාලයේදී ලොව පුරා විශාල පක්ෂීහු ප්‍රමාණයක් විවිධ ප්‍රදේශ කරා සංක්‍රමණය වෙති. මේ සංක්‍රමණය නිසා විශාල පක්ෂීන් ප්‍රමාණයක් මරණයට පවා පත් වෙන අවස්ථා තිබේ. ප්‍රධාන වශයෙන් මේ පක්ෂීන්ගේ සංක්‍රමණය සිදුවන්නේ උතුරු අර්ධගෝලයේ සිට දකුණු අර්ධගෝලය දක්වා වන අතර, ආහාර තිබෙන ප්‍රමාණය, දේශගුණය වැනි හේතූන් මත ඇතැම් සංක්‍රමණ සිදු වේ. ඔවුන්ගේ පියාඹා යෑමේ වේගය සිදුවන්නේ පියාසර වේගය මත ය. දුවේ පුතේ, සමහර අවස්ථාවල අපේ රටේ නොමැති කුරුල්ලන් ඔබට දැක ගැනීමට අවස්ථාව ඇති වන්නේ මේ කුරුල්ලන්ගේ සංක්‍රමණ ක්‍රියාවලිය නිසා ය. වර්ෂයේ සෑම මාසයකම මෙවැනි සංක්‍රමණ සිදු නොවන අතර ඒ සඳහා විශේෂිත මාස තිබේ. ශ්‍රී ලංකාවේ කුරුලු සංගමයේ නාමාවලිය අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ 439ක් සිටිති. මොවුන්ගෙන් විශේෂිතයන් 33ක් අපේ රටට ආවේණික පක්ෂියෝ වෙති. ඒ අනුව සංචාරක කුරුල්ලෝ 189ක් වෙති. ඉතින් දුවේ පුතේ, අද ඔබට කියන්නට සූදානම් වන්නේ සංචාරක කුරුල්ලන් පිළිබඳයි.

අටු වැහි ළිහිණියෝ

මොවුහු කැනේඩියාවේ තුන්ද්‍රා ප්‍රදේශවල සිට ඇන්ටාක්ටිකා දක්වා දීර්ඝ ගමනක් පියාසර කරති. තවත් අටු වැහි ළිහිණියෝ පිරිසක් යුරෝපය, අප්‍රිකාව, අමෙරිකාව, ආසියානු කලාපවලට අයත් ප්‍රදේශවල සිට ද පැමිණෙති. ශීත කාලය ඇරැඹීමත් සමඟ ඔවුහු තමන්ගේ ප්‍රදේශය හැර දමා වෙනත් ප්‍රදේශ කරා යෑමට පටන් ගනිති. ශ්‍රී ලංකාවට පැමිණෙන අටු වැහි ළිහිණියන්ගේ වඩාත් සුප්‍රකට නවාතැන වනුයේ රත්නපුර ප්‍රදේශයයි. ඒ හැරුණුවිට ඔවුහු රත්මලාන ප්‍රදේශයේ ද ලැගුම් ගනිති. නළල සහ උගුර රක්ත වර්ණ දුඹුරු පැහැයකින් දිලෙන අතර, උඩු කය නිල් පැහැති ය. මොහුගේ යටි කය ප්‍රදේශය කළු පැහැති ය. ශ්‍රී ලංකාවේ නවාතැන් කාලය මාස අටකි.

සුදු රෙදි හොරා

යුගල පෙඳයක් ඇති අලංකාර පක්ෂියකු වන සුදු රෙදි හොරා, ශීත ඍතුවේදී හිමාල අඩවියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙයි. මේ පක්ෂියා ඉන්දියාවේ අඩි 5000ක් දක්වා උස් කඳුකරයේ සිට පහත් තැනිතලා දක්වා විහිදී ඇති බිම් පෙදෙස්වල වෙසෙයි. අඟල් දහයේ සිට පහළොව දක්වා දිග යුගල පෙඳයක් ඇති සුදු රෙදි හොරා විශාලත්වයෙන් කොණ්ඩ කුරුල්ලා තරම් වන අතර, පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව තිබේ.

සිවුරු හොරා

සිවුරු හොරා, ‘ගිනි හොරා’ යන නමින් ද හඳුන්වයි. සංචාරක කුරුල්ලන් පැමිණෙන කාලපරිච්ඡේදයේදී මේ කුරුල්ලෝ ගෙවත්තට ද පැමිණෙති. මොවුහු අප්‍රේල්, ජූලි මාසවලදී ශ්‍රී ලංකාවේ වුවද බිත්තර දමති. මොහුගේ බඩ පෙදෙස සුදු පැහැයක් ගන්නා අතර, හිස කළු පැහැයක් ගනියි.

රංචු පිටින් සංචාරය කරන කුරුල්ලකු නොවන අතර, ශ්‍රී ලංකාවේ තනිව සංචාරය කරයි. එහෙත් හිමාලයේ සිට පැමිණෙන විට මොවුහු රංචු පිටින් පැමිණෙති.

මලයානු මැටි කොකා

චීනය, පිලිපීනය සහ මලයාසියාව යන රටවල සිට මේ කුරුල්ලෝ පැමිණෙති. නිවෙස්වල ඇති කරන කිකිළියන් තරම් විශාල මලයානු මැටි කොකාට දිගු හොටයක් ඇත. ශරීරය දුඹුරු පැහැයෙන් යුක්ත ය. කුඩා ශරීරය නිසා ඉක්මනින් ගමන් කිරීමේ හැකියාව ඇත. මඩ වගුරුවල ජීවත් වන මේ කුරුල්ලෝ බොහෝ විට තනිව ජීවත්වීමටත්, තනිව සැරිසැරීමටත් කැමැත්තක් දක්වති.ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණෙන මලයානු මැටි කොක්කු ශ්‍රී ලංකාවේ මැටි වගුරුවල ලැගුම් ගනිති.

මහ කුරුමිණි කුරුල්ලා

මේ පක්ෂියා ‘නත්තල් කුරුල්ලා’ යනුවෙන් ද හඳුන්වයි. අගෝස්තු, සැප්තැම්බර් මාසවලදී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වෙයි. මේ කුරුල්ලා ‘රනිල්ලා,’ ‘අම්බෙයා’ යන නම්වලින් ද හඳුන්වයි. කොණ්ඩ කුරුල්ලකු තරම් විශාල මහ කුරුමිණි කුරුල්ලා සංචාරයට ශ්‍රී ලංකාවට පැමිණ සෑම ප්‍රදේශයක් පුරාම විසිරී යයි. සාමාන්‍යයෙන් කණ්ඩායම් වශයෙන් සැරිසරන මේ කුරුල්ලා උස ගස්වල කොළ රහිත අතු රිකිලි මත සිට ඉගිළෙන කෘමියන් අල්ලා ගනියි.

උල් පෙඳ කැස්වටුවා

උල් වූ පෙඳයක් ඇති මෙම වටුවෝ උතුරු හිමාලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙති. අඩි 6000ක් දක්වා උස් බිම් පෙදෙස්වල මොවුහු විසිරී සිටිති. වැව්, කුඹුරු හා වගුරු බිම්වලට කැමැති වටුවෝ දුඹුරු පැහැයක් ගනිති. සාමාන්‍යයෙන් උදයේ සහ සවස් යාමේ මොවුහු එළියට පැමිණෙති. විශාල වශයෙන් පහත් බිම් පෙදෙස්වල මේ කුරුල්ලෝ දක්නට ලැබෙති. මේ පක්ෂීහු සයිබීරියාවේ සිට තිබ්බතන් හා හිමාලය හා ඉන්දියාවේ නැඟෙනහිර වෙරළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙති.

වන හැලපෙන්දා

සුදු, කළු, අළු සහ දුඹුරු පැහැ මිශ්‍රිත සිරුරක් ඇතිව වලිගය වනමින් යන ඉතා සුලබ සංචාරක කුරුල්ලෙකි. ඉංග්‍රීසි බසින් ෆොරස්ට් වැග්ටේල් නමින් හඳුන්වන වන හැලපෙන්දා වන ගත පක්ෂියකු ලෙස හඳුන්වයි. මොහු කඩිසර කුරුල්ලෙකි. උඩුකය තද කළුවන් දුඹුරු ය. සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවලදී ශ්‍රී ලංකාවට පැමිණෙන වන හැලපෙන්දාගේ නිජ බිම වන්නේ දකුණු කොරියාවයි. එමෙන්ම චීනයේ සහ සයිබීරියාවේ ද මොවුහු වාසය කරති. කුඩා කෘමීන් ආහාරයට ගන්නා වන හැලපෙන්දා ශීත ඍතුව පැමිණීමත් සමඟ සැතැපුම් දහස් ගණනක් ගෙවා ශ්‍රී ලංකාවට පැමිණෙයි.

නිල් පෙඳ බිඟුහරයා

මේ පක්ෂියාගේ පෙඳය නිල්පැහැති ය. බිඟුන් හෙවත් මී මැස්සන් ආහාරයට ගැනීම හේතුවෙන් මේ කුරුල්ලා ‘නිල් පෙඳ බිඟුහරයා’ යනුවෙන් හඳුන්වයි. මේ පක්ෂි විශේෂය ඉතාමත් ශක්තිමත් මෙන් ම ප්‍රබල කුරුලු විශේෂයක් ලෙස හඳුන්වයි. මේ පක්ෂියා ඉතාමත් වර්ණවත් වන අතර, පිහාටුවල බහුලව දක්නට ලැබෙන්නේ කොළ සහ දුඹුරු මිශ්‍ර වර්ණයකි. මේ කුරුල්ලාගේ පෙඳය මැදින් දික් වූ නිල් පැහැති පිහාටු දෙකක් ඇත.

අළු ඔලෙයියා

මේ සංක්‍රමණ කුරුල්ලා කිරලකු තරම් විශාල ය. කෙටි බෙල්ලක් ඇති අතර මධ්‍යම ප්‍රමාණයේ පාද ඇත. උතුරු යුරෝපයේත්, ආසියාතික රටවලත්, අමෙරිකාවෙත් බිත්තර දමයි. සංචාරය කළ පසු ලැගුම් ගන්නේ ශ්‍රී ලංකාවේ උතුරේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ය. මොවුන් පියාසර කරන විට පියාපත් හා සිරුර යා වන ස්ථානයේ කළු ලපය නිසා මේ පක්ෂියා පැහැයෙන් හඳුනා ගැනීමට ඉතාමත් පහසු ය.

අවිච්චියා

උතුරු අර්ධගෝලයට ශීත ඍතුව උදාවීමත් සමඟ අවිච්චියෝ ඉතාමත් වෙහෙසකර ගමන් මඟක් ගෙවාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙති. අවිච්චියා ඉන්දියාව නිජබිම කරගත් පක්ෂියෙකි. හිමාලය කඳු පාමුලත් මධ්‍යම ඉන්දියාවේත් අවිච්චියෝ සුලබ ය. ශීත කාලයේ දී විශාල දුරක් ගෙවා මෙරටට පැමිණීමට අවිච්චියන්ට හැකියාව ඇත. ඔස්ට්‍රේලියාවට ආවේණික අවිච්චියෝ ද සිටිති. මොවුහු ද ශ්‍රී ලංකාවට පැමිණෙති. කොළ, නිල්, කළු, සුදු, කහ, දුඹුරු, රතු, පැහැයෙන් යුත් පිහාටු නිසා අවිච්චියා අලංකාර වෙයි. සාමාන්‍යයෙන් අවිච්චියකු වැඩුණු මයිනකුගේ ප්‍රමාණයෙන් යුක්ත ය.

වන්දනා අබේසේකර


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department