ආදරයට කරුණාවට අපි කවුරුත් කැමැතියි. වැඩිහිටි අපටත් වඩා කුඩා දරුවන් ආදරයට කරුණාවට ගොඩක් කැමැතියි. ඒ නිසා අපි සෑම විටම කුඩා දරුවන් ගැන සිතන්න අවශ්‍යයි. වර්තමානයේ බොහෝ දරුවන් විවිධ ගැටලු සහ පීඩාවලින් යුතුව තමයි අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ. එහෙත් ගුරුවරු, වැඩිහිටි සෑම දෙනාගේම යුතුකම වන්නේ ඔවුන්ට ආදරයෙන් කරුණාවෙන් නිවැරැදි මාර්ගය පෙන්වා දීමයි. එසේ නොමැති වුවහොත් දරුවන්ගේ අනාගතයට යහපත උදා කරදීමට අපහසු වේ. මේ නිසා අප සෑම විටම දරුවන් කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. කුඩා කාලයේදී දරුවන්ගේ මනසට කාවැද්දෙන බොහෝ දේවල් ඔවුන් වැඩිවියට පත්වීමේදී පවා මනසේ රැඳී තිබේ. මෙයින් සිදුවන්නේ අයහපතකි. මේ නිසාම දරුවන්ගේ මනස තේරුම් ගැනීමට වැඩිහිටියන් උත්සාහ ගත යුතුයි. එලෙස කුඩා දරුවන්ට දයාවෙන් කරුණාවෙන් සලකන ගුරු පිරිසකගෙන් යුතු විදුහල් මාතාවක් පිළිබඳ කතා කරන්නයි මෙවර මිහිර සූදානම. ඒ තංගල්ල බාලිකා විද්‍යාලය පිළිබඳයි. එහි වත්මන් විදුහල්පතිනිය වන විජිතා ප්‍රියංගනී මහත්මිය අදහස් දැක්වූයේ මේ අයුරිනි.
අපේ පාසල ආරම්භ කරලා තියෙන්නේ 1972 වර්ෂයේ ජනවාරි මාසයේදියි. ඒ වන විට අපේ පාසලේ ගැහැනු ළමයින් හයසිය හතළිහක් ඉඳලා තියෙනවා. ඒ වගේම ගුරුවරු විසිහය දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ වන විට ගොඩනැඟිලි තිබිලා තියෙන්නේ තුනක් විතරයි. අඩු පහසුකම් යටතේදී පවා මේ ගුරුවරු තලංගල්ල බාලිකා විදුහල ඉදිරියට ගෙන යෑමට කැපවී සේවය කරලා තියෙනවා කියලා තමයි අපේ ඉතිහාසයෙ සඳහන් වෙලා තිබෙන්නේ. එදා ඔවුන් කළ කැපවීම ඉතා වටිනවා. එනිසා තමයි අද තලංගල්ල බාලිකා විදුහල විශාල දරු පිරිසකට නැණ නුවණ ලබලා දෙන පාසලක් වෙලා තිබෙන්නේ. වර්තමානයේ අපේ පාසලේ දරුවන් දෙදහස් හත්සියය ඉක්මවා සිටින අතර ගුරුවරු සියදෙනෙක් සිටිනවා. ඔවුන් පාසලේ දරුවන් වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා. දුර්වල දරුවන් කෙරෙහි ඔවුන් විශේෂ උනන්දුවක් දක්වනවා. අපේ පාසලේ ශ්‍රේණි තිබෙන්නේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වායි. අ.පො.ස. උසස් පෙළ වාණිජ , විද්‍යා, ගණිත, කලා, තාක්ෂණවේදය යන සෑම අංශයකින්ම තිබෙනවා.”
” අධ්‍යාපනයට පමණක් නොවෙයි සෑම ක්‍රියාවක්ම සමබරව කරගෙන යෑමට හැකියාවක් ඇති දරු පිරිසක් පාසලකින් බිහි විය යුතුයි. ඒ කියන්නේ වර්තමානයේ කාන්තාවන් අභියෝගවලට මුහුණ දිය යුතු පිරිසක් විය යුතුයි. මේ සඳහා ළමා මනස නිරවුල්ව තබා ගත යුතුයි. ඒ සඳහා පිටිවහල ලබා දිය යුතු වන්නේ පාසලෙන්. පොත්පත් කියවා කටපාඩම් කරලා විභාග ලියන දරු පිරිසක් නෙවෙයි. ප්‍රායෝගිකව දේවල් අත්හදා බලන දරු පිරිසක් බිහි කිරීම වැදගත් වෙනවා. මේ සඳහා අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාව, සෞන්දර්ය වැනි ක්ෂේත්‍රයන් ඔස්සේ දරුවන්ට ගමන් කිරීමට මංපෙත් සෑදිය යුතුයි.”
” මේ වන විට අපේ පාසලේ මලල ක්‍රීඩා මෙන්ම අනෙකුත් සෑම ක්‍රීඩාවක්ම තිබෙනවා. චෙස් ක්‍රීඩාවටත් විශාල දරු පිරිසක් මේ වනවිටත් යොමු වෙලා තිබෙනවා. ඒ වගේම කරාතේ ක්‍රීඩා කරන්නත් අපේ දරුවන් ගොඩක් කැමැතියි. බාලිකා පාසලක් වුවත්, ශිෂ්‍යභට කණ්ඩායමට අපේ දරුවන් ඇතුළු වෙන්න ගොඩක් කැමැතියි. ගැහැනු පිරිමි කියලා භේදයක් නැති නිසා අපේ දරුවන් ඉලක්කයට වෙඩි තියන්නත් යොමු වෙලා තියෙනවා. පසුබෑමක් නැහැ. සෑම දෙයකදීම ඉදිරිපත් වෙමින් කැපවීමෙන් වැඩ කටයුතු කරනවා. ඒ වගේම අපේ පාසලේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන්න පුළුවන්.”
” අපේ පාසලේ දැක්ම ගුණ නැණ සපිරි චරිතයෙන් පිරිපුන් දිරිය දියණියක් දැයට දායද කිරීමයි. ඒ වගේම අපේ පාසලේ මෙහෙවර ගැනත් කියන්න ඕනේ. ඒ තමයි. පාසල් සංස්කෘතිය හා විභාග අපේක්ෂා කරමින් විෂයානුබද්ධ හා විෂය සමගාමීව ලබන දැනුම කුසලතාව ආකල්පවලින් සපිරුණු අභියෝගවලට මුහුණු දිය හැකි කාර්යක්ෂම හා සංවේදී පුරවැසියන් බිහි කිරීමයි.”
”සමස්තයක් වශයෙන් ගතහොත් කොරෝනා කාලයේදී දරුවන් සුලබවම ජංගම දුරකතනවලට යොමු වුණා. ඒක විශාල හානියක් ලෙස තමයි මම දකින්නේ. දරුවන් බොහෝ දෙනා පොතපතින් බැහැර කරවීමට ජංගම දුරකතනය හේතු වුණා. ජංගම දුරකතනය නිසාම ඇතැම් දරුවන්ට මානසික ගැටලු ඇති වුණා. ඒත් කොරෝනා කාලයේදී ජංගම දුරකතනය අධ්‍යාපනයට යොදා ගන්නම සිද්ධ වුණා. ඒකට හේතුව වුණේ ඒ කාලයේ පැවැති වාතාවරණයයි. එහෙත් දැන් එවැන්නක් නැහැ. ඒ නිසාම අපි ජංගම දුරකතනවලින් දරුවන් තරමක් දුරස් කළොත් හොඳයි කියලා මට හිතෙනවා. සුවපත් ළමා මනසක් ඇති කිරීම අපේ යුතුකම විය යුතුයි.
ඔවුන්ගේ සියලු බලාපොරොත්තු යුතුකම් එලෙසින්ම ඉටු වේවා යැයි අපි මිහිර වෙතින් සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප – පාසලේ ඡායාරූප සංගමය