එක ලොකු කැලෑවක ලොකු ගහක් තිබුණා. මේ ගහේ ගිරා පවුලක් ජීවත් වුණා. ගිරා අම්මයි තාත්තයි පුතාලා දෙන්නයි තමයි හිටියේ. මේ ගිරා අම්මයි තාත්තයි හරිම හොඳයි. කරුණාවන්තයි. ඒත් ගිරා පුතාලා දෙන්නා හරිම සැරයි. නපුරුයි. එයාලා හැමදාම අනෙක් අයට කරදර හිරිහැර කළා. ඒ නිසා එයාලාට කැලෑ ගමේ කවුරුත් කැමැති නෑ.
දවසක් මේ දෙන්නා අම්මටයි තාත්තටයි හොරෙන් ගමට ගියා. එයාලා දැක්කා ලොකු අඹ ගහක් තිබෙනවා. ඒ ගහේ අඹ පිරිලා. ඉදිලා. කහම කහ පාටයි.
ඒ දෙන්නා හරිම සතුටින් අඹ ගහට පියාඹාගෙන ගියා. ඒ දෙන්නා දැක්කා මේ ගහ උඩ උසම අත්තක කෙළවරට වෙන්න ලෙන් කූඩුවක් තිබෙනවා. ඒ කූඩුවේ පුංචිම පුංචි ලේන් පැටව් තුන් දෙනෙක් හිටියා.
“අයියේ … අයියේ …. අන්න අතන ලේන් කූඩුවක් තියෙනවා” ගිරා මල්ලි කිව්වා.
“ඔව් ඔව් මං දැක්කා. ඒකෙ පැටවු තුන් දෙනෙකුත් ඉන්නවා” ගිරා අයියා උත්තර දුන්නා.
“මට හොඳ උපායක් කල්පනා වුණා. අපි මේ ලේන් පැටව් තුන්දෙනා එළවලා දාමු. එතකොට අපිට පුළුවන් තනියම මේ අඹ සේරම කන්න” ගිරා මල්ලි කිව්වා.
“ඉතින් අපි කොහොමද මේ ලේන් පැටවු එළවන්නේ?” ගිරා අයියා ඇහුවා.
“එයාලා තාම පුංචිනේ. අපි බය කරලා මේ ලේන් පැටවු එළවලා දාමු” ගිරා මල්ලි උත්තර දුන්නා.
එහෙම කතා වුණු ගිරා අයියයි ගිරා මල්ලියි දෙන්නා හෙමින් හෙමින් ලේන් කූඩුව ළඟට කිට්ටු වුණා. එහෙම කිට්ටු වුණු මේ දෙන්නා එක පාරටම මහා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. ඒ සද්දෙට ලේන් පැටවු හොඳටම බය වුණා. එකපාරටම කලබල වුණු ලේන් පැටවු තුන්දෙනා අඹ ගහෙන් බිමට වැටුණා. වේදනාවෙන් පැටවු තුන්දෙනා මහ හයියෙන් අඬන්න පටන් ගත්තා. එයාලගේ සද්දේ ඇහිලා ලේන් අම්මයි ලේන් තාත්තයි දෙන්නම එතැනට දුවගෙන ආවා.
“අනේ මගේ අහිංසක දරුවෝ තුන්දෙනා කොහොමද එයාලා මේ බිමට වැටුණේ?” ලේන් අම්මා අඬ අඬා ඇහුවා.
ලේන් තාත්තා ටිකක් වටපිට සෝදිසි කරලා බැලුවා. එයා දැක්කා අඹ ගහේ උඩම අත්තකට වෙලා හැංගිලා බලන් ඉන්න ගිරා පැටවු දෙන්නා.
“පුතේ මොකද වුණේ ඔයාලා කොහොමද බිමට වැටුණේ ?” ලේන් තාත්තා ඇහුවා.
“එකපාරටම ලොකු සද්දයක් ඇහුණා. අපි හොඳටම බය වුණා. අපි කලබල වෙච්ච නිසා කූඩුවෙන් බිමට වැටුණා” ලේන් පැටවු උත්තර දුන්නා.
ටිකක් වෙලා කල්පනා කරපු ලේන් අම්මටයි තාත්තටයි වෙලා තියෙන දේ වැටහුණා. ලේන් තාත්තා කේන්තියෙන් ගහ උඩට ගියා. ගිහින් මේ නපුරු ගිරා පැටවු දෙන්නව අල්ලා ගත්තා.
“ඔයාලා ඇයි අපේ පැටවු තුන්දෙනාව බය කළේ? එයාලා මොකක්ද ඔයාට කරපු වරද?” ලේන් තාත්තා කේන්තියෙන් ඇසුුවා.
“අනේ අනේ අපි මොකුත් කළේ නෑ. අපි මේ අඹ ගෙඩියක් කන්න ආවා විතරයි”. ගිරා මල්ලි උත්තර දුන්නා.
“වැරැදි කරලා තවත් බොරු කියන්නත් එනවද? ඔයාලාට හොඳ දඬුවමක් දෙනවා. කවදාවත් මේ විදිහේ වැඩ නොකරන්න” ගිරා තාත්තා තරහින් කිව්වා.
“අනේ අපට යන්න දෙන්න. අපට දඬුවම් කරන්න එපා. අපි ආයේ කවදාවත් එහෙම වැඩ කරන්නේ නැහැ” ගිරා අයියා බැගෑපත් වුණා.
හොඳටම බය වුණු ගිරා පැටවු දෙන්නා, හයියෙන් අඬන්න පටන් ගත්තා. ඒක දැකපු ලේන් අම්මටයි තාත්තටයි දුක හිතුණා.
“හරි දරුවනේ අඬන්න එපා. අපි ඔයාලාට යන්න දෙන්නම්. හැබැයි ආයේ කවදාවත් මේ විදියේ නපුරු වැඩ නම් කරන්න එපා. බිමට වැටුණහම ඔයාලාට කොච්චර රිදෙනවද? ඒ වගේ මේ පුංචි පැටවුන්ටත් ගොඩාක් රිදෙන්න ඇති. බලන්න එයාලත් ඔයාලා වගේම හයියෙන් අඬනවා” ගිරා අම්මා කිව්වා.
ඒක අහපු ගිරා පැටවු දෙන්නාට එයාලා කළ වරද තේරුම් ගියා. එයාලා දෙන්නා බිමට බැහැලා පුංචි ලේන් පැටවුන්ගෙන් සමාව ගත්තා. ලේන් පැටවු එක්ක යාළුවෙලා ඇති වෙන්න අඹ කෑව ඒ දෙන්නා සතුටින් කැලෑවට පියාඹලා ගියා. එදා ඉඳලා ඒ දෙන්නා හරිම හොඳ ගිරා දරුවො දෙන්නෙක් වුණා. කවදාවත් කාටවත් නපුරුකම් කළේ නෑ. හැමෝටම ආදරෙන් සැලකුවා. හැමෝම එක්කම සමගියෙන් ජීවත් වුණා.
ටී. ඩබ්ලිව්. මෙතුලි උමල්ජා
5 ශ්‍රේණිය
මො/ මල්වත්තාවල ප්‍රාථමික විද්‍යාලය