පරිසරය, සොබාදහම පිළිබඳ ගීත නිර්මාණය කිරීම එතරම්ම සුලබ නොවුණත්, වර්තමානයේ එවැනි නිර්මාණ කිරීම අගය කළ යුතුයි. එවැනි නිර්මාණයක් කෙරෙහි යොමු වුණු පුතකු පිළිබඳ කතාවක් කීමටයි.
මේ සූදානම. ඔහු නමින් නිතිෂ් සදෙව් කවිරත්නයි. ඉතින් අපි ඔහුගේ කතාව විමසා බලමු.
” මගේ නම නිතිෂ් සදෙව් කවිරත්න. මම අධ්‍යාපනය ලබන්නේ මිනුවන්ගොඩ හුණුමුල්ල මහා විද්‍යාලයෙයි. මේ වන විට මම 6 ශ්‍රේණියේ තමයි ඉගෙන ගන්නේ. මම සංගීතය ඉගෙන ගන්න ගොඩක් කැමැතියි. පාසලේදිත් සංගීත විෂය ඉගෙන ගන්නවා. ඒ සඳහා පාසලේ ගුරුවරු මට ගොඩක් උදව් කරනවා. මම 2 ශ්‍රේණියෙ ඉඳලා තමයි සංගීතය ඉගෙන ගන්න යොමු වුණේ. මගේ අම්මාත් තාත්තාත් ඒ වෙනුවෙන් ලොකු සහයෝගයක් ලබාදුන්නා. රන්වල බළකායේ විශාරද ජනක මහතා මෙන්ම මම දැනට සංගීතය ඉගෙන ගන්න විශාරද හේමන්ත ලියන පතිරණ මහතාත් මට ගොඩක් උදව් කළා. මේ හැමදේටම මාව යොමු කළේ මගේ අම්මායි තාත්තායි. ඒ දෙන්නා මගේ දක්ෂතා පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. ඒ වගේම මට සන්නිවේදන කටයුතු ඉගැන්නුව නිලන්ති කරුණාරත්න මිස්වත් මම ආදරයෙන් මතක් කරනවා. නිලන්ති මිස් මට බණ්ඩාර මාමාවත් ඉනෝකා නැන්දාවත් හඳුන්වලා දුන්නා. ඒ අය මට සන්නිවේදන කටයුතු පිළිබඳ පුහුණුවක් ලබාදුන්නා. ඒකත් මට ලොකු ශක්තියක් වුණා. බණ්ඩාර මාමා මගේ සින්දු අහලා මට අලුත් සින්දුවක් ලියලා දෙන්න පොරොන්දු වුණා. ඒ අනුව එයා පරිසරය ගැන සින්දුවක් ලියලා දුන්නා. ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ඒ සින්දුවට තනුවක් දාලා ලස්සන කරලා දුන්නා. ඒ ගැන මට ගොඩක් සතුටයි. ”
නිතිෂ්ගේ සින්දුව පිළිබඳ අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා මෙහෙම කිව්වා. ”දේදුන්නේ පාට වගේ මල් පිපිලා හිනා වෙවි සුළඟේ තාලෙට ගහ කොළ නැටුම් නටනවා” සින්දුව මම ලිව්වේ නිතිෂ්ගේ මවුපියන්ගේ ඉල්ලීම අනුවයි. නිතිෂ් කියන්නේ දක්ෂ දරුවෙක්. නිතිෂ් ඒ වෙන කොට සංගීතය හදාරමින් තමයි හිටියේ. දැන් එයා සංගීත විශාරද විභාගයේ ගායන විශාරද විභාගය පාස් වෙලා ඉන්නේ. ඒ නිසා ඒ දරුවා අනාගතයක් තිබෙන දරුවෙක්. වර්තමාන දරුවන් පරිසරයට ආදරය කරනවා. එලෙස ආදරය කළ යුතු වන්නේ ඇයි කියලාත් අප ඔවුන්ට අවබෝධ කරලා දෙන්න ඕනේ. ඒ අවබෝධය වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් අවවාදයක් විදිහට කියනවාට වඩා ගීත නිර්මාණයකින් එය පැහැදිලි කිරීම ලස්සනයි.
ඒ නිසා මම මේ ගීතය නිර්මාණය කළා. නිතිෂ්ගේ ගායන ස්වභාවයටත් මේ පද ගැළපෙනවා. කියන්න තියෙන අනෙක් කාරණාව තමයි නිතිෂ් මෙම ගීතය අපූරුවට ගායනා කළා. හැටේ දශකය, හැත්තෑවේ දශකය වගේ දශකවල අපූරු ළමා ගීත නිර්මාණය වුණා. අපි ඒ ළමා ගීත රස වින්දා. ඒ නිසා අපේ සිතට සතුටක් ප්රබෝධයක් ලැබුණා. ඒත් වර්තමානයේදී එතරම්ම ළමා ගීත නිර්මාණය වන්නේ නැහැ. ඒක ලොකු අඩුපාඩුවක්. ඒ අඩුපාඩුව යම්තාක් දුරට මඟහරින්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. මම හිතන්නේ ඒ වෙනුවෙන් ගීතයටත් ඒ දරුවාටත් මම සාධාරණයක් ඉටු කළා කියලයි.”
ගී පද රචක ශාන්ත බණ්ඩාර මහතා එලෙස පැවසූ අතර, මේ ගීතය වෙනුවෙන් තනු නිර්මාණය කළ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා නිතිෂ්ගේ දක්ෂතා පිළිබඳ මේ අයුරින් පැහැදිලි කළේ ය. ”වර්තමානයේ බහුල වශයෙන් ළමා ගීත රචනා වෙන්නේ නැහැ. බොහෝ අම්මලා තාත්තලා රියැලිටි සන්දර්ශනවලට දරුවන් යොමු කරනවා. ඒක ලොකු අඩුපාඩුවක්. ඒත් නිතිෂ්ගේ මවුපියන් දෙදෙනාම ඒ දරුවාව ළමා ගීතයක් ගායනා කරන්න යොමු කරලා තිබෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක් ලෙස මම දකිනවා. මේ වගේම ළමා වියේ සිට තම හැකියාවන් දැක්වූ දරුවකු ලෙස හර්ෂණ දිසානායකත් මට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ දරුවාත් ළමා ගීත ගායනයට උනන්දුවක් දැක්වූ දරුවෙක්. ඒ කියන්නේ අපට සම්පතක්. ඒ වගේම නිතිෂ් පුතාත් අපේ රටට සම්පතක් වේවි.”
නිතිෂ් කියන්නේ දේදුන්නේ පාට වගේ ලස්සන දක්ෂතා රැසක් ඇති දරුවෙක්. අපි නිතිෂ් පුතාට මිහිර වෙතින් සුබපතමු.
රූපාන්ති බුලත්සිංහල